ප්‍රංශයේ නීස් නුවර ඊයේ (මැයි 20) නිමාව දුටු තෙවැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (3rd Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන ලද හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography In Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට , ප්‍රියන්ත කළුඅරච්චිගේ 'රතු සමනළ හීනයක්' (Red Butterfly Dream) සිනමාපටයේ කැමරාව මෙහෙයවූ විශ්වජිත් කරුණාරත්න (Vishwajith Karunarathne) සමත්විය.
මෙරට දැඩි ආන්දෝලනයට ලක් වූ සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' (Flying Fish) සිනමාපටය හරහා දීර්ඝ වෘත්තාන්ත සිනමාපට කැමරාකරණයට එක්වූ විශ්වජිත් කරුණාරත්න, සිය කුළුදුල් සිනමාපටය තුලින්ම විදහා දැක්වූ අද්විතීය කැමරා නිපුණත්වය වෙනුවෙන් 2012 වර්ෂයේ හොංකොං රාජ්‍යයෙහි පැවති 06 වෙනි ආසියානු සිනමා සම්මාන උළෙලේදී 'හොඳම කැමරා ශිල්පියා' සඳහා වූ අවසන් නිර්දේශිත නාමයන් 05 අතරට එක්වීමට සමත්විය.
තියුණු තරඟයකින් පසුව අන්තර්ජාතික සම්මානයක් දෝත දැරීමට තිබු අවස්ථාව ඔහුට එහිදී අහිමිව ගියද ,එය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සිනමා වෘත්තිකයකු ආසියානු සිනමා සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතරට එක්වූ පළමු සහ එකම අවස්ථාව විය. එලෙසින් 2012 වර්ෂයේදී හොංකොංහිදී අහිමිව ගිය 'හොඳම කැමරා ශිල්පියා' සඳහා වූ අන්තර්ජාතික ඇගයීම වසර 05 කට පසුව ඊයේ දින ප්‍රංශයේදී ඔහු සතුවීම කැපීපෙනේ.
මෙකී ජයග්රහණයත්ස මගින් 70 වසරක සිංහල සිනමාවේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක (Full-Length Feature Film) කැමරා අධ්‍යක්ෂණය උදෙසා අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලද ශ්‍රී ලංකාවේ සිව්වන කැමරා අධ්‍යක්ෂක ලෙසින් වර්තාපොත් අතරට එක්වීමට විශ්වජිත් කරුණාරත්න සමත්විය. එසේම මෙය ශ්‍රී ලාංකේය කැමරා ශිල්පියෙකු දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් උදෙසා ලද 08 වන අන්තර්ජාතික සිනමා සම්මානය වේ.
ජාත්‍යන්තර ඇගයීම් ලද 'රතු සමනළ හීනයක්' සහ 'ඉගිල්ලෙන මාළුවෝ' සිනමා නිර්මාණයන්ට අමතරව, මෙරට තිරගත වූ තුෂාර තෙන්නකෝන්ගේ 'වරිග පොජ්ජ' සහ ශමීර රංගනගේ 'මෝටර් බයිසිකල්' යන සිනමා නිර්මාණයන් ද්විත්වයෙහිද කැමරාව අධ්‍යක්ෂණය කිරීමේ වගකිම ඔහු සතු විය. එසේම පසු නිෂ්පාදන අදියරෙහි පවතින කසුන් පතිරණගේ 'නයිට් රයිඩර්' සහ ජගත් මනුවර්ණගේ 'මුරුග සන්නිය' යන සිනමාපට ද්විත්වයද ඔහුගේ කැමරාව හසුරාලීමේ නිපුණත්වයෙන් හැඩවිය.
(1947- 2017 මැයි) දෙස් විදෙස් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට උදෙසා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය කැමරා ශිල්පින්.....
1. චන්න දේශප්‍රිය- සම්මාන 04 (සුළං කිරිල්ලි, සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, චත්‍රක්)
2. තිශුල ඩි. තඹවිට- සම්මාන 02 (බඹර වළල්ල)
3. විශ්ව බාලසුරිය- සම්මාන 01 (සෙවනැලි)
4. විශ්වජිත් කරුණාරත්න- සම්මාන 01 (රතු සමනළ හීනයක්)
- උදිත ලක්මාල් -