මේ දිනවල විකාශය වන ‘ දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයේ ‘චුට්ටේ’ ට බොහෝ ප්‍රේක්ෂක ආදරය ලැබී තිබේ. එසේම මීට පෙර විකාශය වූ ‘ඉරගිනි මද්දහන’ හි ‘සිසිර’ට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් වූ ප්‍රේක්ෂකයාගේ වෛරයයි. ආදරය හා වෛරය යන දෙකම ප්රේක්ෂකයන්ගෙන් ලද නව පරපුරේ දක්ෂ යොවුන් රංගන ශිල්පියකු වන දිනේෂ් විජේසිංහ‘චුට්ටේ‘ චරිතය ගැන කීවේ මෙවැන්නකි.
‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නේ තරංගා දිසානායකගේ දොරකඩ දෙවොල නවකතාව ඇසුරින්. මේ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ අයියා තමයි මට ආරාධනා කළේ. ලලිත් අයියා චුට්ටේගේ චරිතය ගැන මට පැහැදිලි කර දුන්නහම ඒ චරිතය රඟපාන්න ලොකු ආසාවක් ඇතිවුණා. මමත් ගමක හැදුණු වැඩුණු කොල්ලෙක් නිසා ‘චුට්ටේ‘ වැනි චරිත අපට බොහෝ සෙයින් සමීපයි. චුට්ටේගේ හැසිරීම්, චරිත ලක්ෂණ අපි ඕනතරම් අත්දැකලා තියෙනවා. එවැනි චරිත සමඟ කුඩා කල අපේ ගනුදෙනුවක් තිබුණ නිසා මට චුට්ටේ චරිතය හොඳටම දැනුණා. මේ දවස්වල සමාජ මාධ්‍යයේත් මේ චරිතය ගැන කතා වෙනවා.
‘ඉරගිනි මද්දහන’ ටෙලි නාට්‍යයේ ‘සිසිර’ යනු ඊට හාත්පසින්ම වෙනස් ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක්වන රස්තියාදුකාර, වංචනික චරිතයක්.“
දිනේෂ් විජේසිංහ එකී චරිතය තුළ සජීවීව ජීවත්වූ නිසාම ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට පාත්රවිය.
වෙනස් ආකාරයේ රංගනයන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙන් සිටින දිනේෂ්, ඉරගිනි මද්දහනේ සිසිර තුළින් සිය රංගන වපසරිය වෙනස්ම මානයකට රැගෙන යෑමට සමත් විය.
“ඉරගිනි මද්දහනේ සිසිර කියන්නේ කළු චරිතයක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වෙමින් ඔවුන්ගෙන් අසීමිතව බැණුම් අහන චරිතයක්. මේ චරිතය තුළින් ප්‍රේක්ෂක ආදරය යටපත් වී ප්‍රේක්ෂක දෝෂාරෝපණය ඉහළටම මතුව ආවා. සිසිර නිසා මගේ රංගනය පිළිබඳ වෙනස්ම කතාබහක් ඇතිවුණා. විවිධාකාර චරිත ලක්ෂණ සහිත චරිත නිරූපණයට ලැබිම රංගන ශිල්පියකුට ලැබෙන හොඳ අවස්ථාවක්. මෙහිදී ප්‍රේක්ෂකයන්ගේ ආදරයට හෝ වෛරයට ලක් වෙනවා ද යන්න නෙමෙයි වැදගත් වන්නේ. රංගන ශිල්පියාට කොතෙක්දුරට එයට සාධාරණයක් කළ හැකි ද යන්නයි. ඒ අනුව සිසිර නිසා මට වෙනස්ම මානයක රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන අවංකවම සතුටුයි.“
චරිතයක් නිරූපණයට භාර ගැනීමේදී තමන් වඩාත් සැලකිලිමත් වන බව පවසන දර්ශන, එකී චරිත තුළ කළ යුතු දේ හා තමන්ට කළ හැකි දේ පිළිබඳ අවධානය යොමු කරන බවත් නිර්මාණය කුමන තත්ත්වයේ නිර්මාණයක් ද යන්න පිළිබඳවත් මූලික වශයෙන් සොයා බලන බැව් ඔහු පැවසීය.
-Rasaduna -




