ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හය වැනි වරටත් සංවිධානය කරන 'සහසක් නිමැවුම්' ප්‍රදර්ශනය අද (28) උදෑසන 11.00ට විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයේ මූලික පරමාර්ථය රට තුළ නව නිපැයුම් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සහ වාණිජ වටිනාකමකින් යුත් නව නිපැයුම් සමාජගත කිරීම සඳහා අවස්ථාව උදා කරදීම බව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ පවසයි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, සාම්ප්‍රදායික දැනුම, ඉලෙක්ට්‍රොනික, අපනයන ආදේශක සහ නැනෝ තාක්ෂණ වැනි ක්ෂේත්‍ර 14ක් යටතේ නව නිපැයුම් 400ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
මේ අවස්ථාවට ඉන්දියානු නව නිපැයුම් සංගමයෙන් සහ ලෝක නව නිපැයුම් සහ බුද්ධිමය දේපළ සංගමයේ සාමාජිකයන් සහභාගි වන බවත් ආචාර්ය එදිරිසිංහ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රදර්ශනය හෙට (29දා) සහ අනිද්දා (30දා) යන දෙදින තුළද පැවැත්වේ.