තමන්ට ලිංගික අපහාසයක් සිදු කළ බවට චෝදනා නඟන රංගන ශිල්පිනියකගෙන් ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සමාව ඉල්ලා තිබේ.
93 හැවිරිදි හිටපු ජනපති සිය රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් ස්පර්ශ කළ බව හෙදර් ලින්ඩ් චෝදනා කර තිබුණේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමිනි.
ජනපතිවරයා එම අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සහ කළ බව මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.
“ජනපති බුෂ් කිසිදු අවස්ථාවක- කුමන තත්වයක් යටතේ වුවත්- කිසිවකුටත් දැනුවත්ව සිත් තැවුලක් ඇති නොකරන” බවත් “විහිළුවක් කිරීමට ඔහු දැරූ උත්සාහය මඟින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක් වුයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින” බවත් එරට ප්‍රකාශන ආයතන කිහිපයකට යැවූ නිවේදනයේ සඳහන් වී ඇත.
හෙදර් ලින්ඩ් පසුව සිය චෝදනාව ඇතුලත් ඉන්ස්ටර් ග්‍රෑම් සටහන මකා දමා තිබුණි.
සුළි කුණාටුවලින් විපතට පත් වූවන් වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකදී හිටපු ජනාධිපති බරක් ඔබාමා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලා ගෙන සිටින අවස්ථාව දුටු අවස්ථාවේ තමන් කම්පනයට පත් වූ බව ඇය පවසයි.
"මමත් ඒ වගේම ඡායාරූපයකට පෙනී සිටි වෙලාවේ ඔහු මට ලිංගික අතවර කළා. මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ බාබරාත් ලඟින් ඉන්න අතරේ පිටුපසින් අත දාල මාව ස්පර්ශ කළා," ඉන්ස්ටර්ග්‍රෑම් හි ඇය මෙලෙස සිය පණිවුඩය සටහන් කොට තිබුණු බව ඩේලි මේල් පත්‍රය පවසයි.
" මට කැත විහිළු කළා. ඊට පස්සේ අපි ෆොටෝ එකක් ගන්න කොට එකපාරටම ආයෙත් මාව ස්පර්ශ කළා."