සිය දීර්ඝ වෘත්තාන්ත සිනමා නිර්මාණයන් උදෙසා අන්තර්ජාතික සිනමා සම්මානයන් වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමා අධ්යක්ෂවරයා ලෙසින් වාර්තා පොත් අතරට එක්ව තිබූ සෝමරත්න දිසානායක, තමන් සතු වාර්තාව යළිත් වරක් අලුත් කරමින් සිය සිනමා ගමන් මගේ 29 වෙනි අන්තර්ජාතික සිනමා සම්මානයට හිමිකම් කීමට පසුගිය දින (2017.12.09) නිමාව දුටු දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී (Delhi International Film Festival) සමත් විය.
ඒ උළෙලේ තිරගත වූ විශිෂ්ටතම සිනමා නිර්මාණය වෙනුවෙන් පිරිනැමෙන ‘Best Film’ සම්මානයෙන් ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ‘Underpants Thief’ පිදුම් ලැබීමත් සමගිනි.
ඉන්දියාවේ ‘The Social Circle’ සංවිධානයේ මූලිකත්වයෙන් 2012 වර්ෂයේදී ආරම්භ වූ දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ 06 වෙනි අදියර මෙම වර්ෂයේදී ක්‍රියාත්මක වූ අතර, එලෙසින් නිමා වූ අදියරයන් හය අතුරින් අදියරයන් ත්‍රිත්වයකදීම උළෙලේ හොඳම සිනමා පටය උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම කැපීපෙනේ.
ඒ අනුව සෝමරත්න දිසානායකගේ ‘Underpants Thief’ සිනමාපටයට පෙරාතුරුව, 2013 වර්ෂයේ පැවති 02 අදියරේදී සමන් වීරමන්ගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමාපටයත්, 2015 වර්ෂයේ පැවති 04 අදියරේදී දේවින්ද කෝන්ගහගේ ‘භවතරණ’ සිනමාපටයත් දිල්ලි උළෙලේ හොඳම සිනමාපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය.
එසේම 2012 සහ 2014 වර්ෂයන් ද්විත්වය හැර අන් සෑම වසරකදීම උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට උදෙසා හිමිව තිබීමද විශේෂත්වයකි. ඒ අනුව 2013 වර්ෂයේදී ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’, 2015 වර්ෂයේදී ‘භවතරණ’ , 2016 වර්ෂයේදී උදයකාන්ත වර්ණසූරියගේ ‘මධුර චාරිකා’ , 2017 වර්ෂයේදී ‘Underpants Thief’ හා දුමින්ද සංජීවගේ ‘දිසිදි පත්’ (Withered Leaf) උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට සමත් වූ අතර, 2015 වර්ෂයේදී කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙසොයුරන්ගේ ‘ප්‍රේමය නම්’ සහ 2016 වර්ෂයේදී ප්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ උළෙලේ තරඟකාරී නොවන අංශය යටතේ තිරගතවුනි.
2000 වර්ෂයේ ‘සරෝජා’ සිනමාපටය තුලින් දේශීය සිනමා වංශ කතාවට ඇතුල් වූ සෝමරත්න දිසානායකගේ 09 වෙනි සිනමා නිර්මාණය ලෙසින් ‘Underpants Thief’ සිනමාපටය වාර්තාපොත් අතරට එක්ව අති අතර, එහිදී ‘සරිගම’ සිනමාපටය හැර ඔහු අතින් නිමවූ අනෙකුත් සියළුම සිනමා නිර්මාණයන් අන්තර්ජාතික සම්මානයට පාත්රව තිබීම විශේෂත්වයකි.
මානසික ව්‍යාධියෙන් පෙළෙන තරුණයෙකු පිළිබඳ කතාවක් රැගත් ‘Underpants Thief’ සිනමාපටය, පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය, කැළුම් විජේසුරිය ඇතුළු ප්‍රවීන හා නවක නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන අතර සිනමාපටයේ කැමරාකරණය විශ්ව බාලසූරියගෙනි.
මිට අමතරව අජිත් රාමනායකගේ සංස්කරණ දායකත්වයද , රෝහණ වීරසිංහගේ සංගීත අධ්යක්ෂණ දායකත්වයද මේ සඳහා හිමිව ඇත. රේණුකා බාලසුරියගේ 11 වෙනි සිනමා නිමැවුම ලෙසින් දොරට වදින වන ‘Underpants Thief’ සිනමාපටය මේ වසරේ ඔක්තෝම්බර් මස පැවති 22 වෙනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමටද සමත්විය.
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි