මේ වෙලාවෙ කාන්තාවන් සම්බන්ධව රටේ ජනාධිපතිවරයා යම් යම් නීති රීති මාලාවක් පනවමින් ඉන්න බව පෙනෙනවා. නමුත් ඒ විදියට කාන්තාවන්ට මත්පැන් පානය කරන්න බැහැ කියල නීතියක් එනව නම් ඒක හරිම පටු අදහසක් බව ප්‍රවීන නළු තුමිඳු දොඩම්තැන්න පවසයි.
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීම සම්බන්ධයෙන් mirrorarts කළ අදහස් වීමසිමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
ඒහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය,
ඒ විදියට සංස්කෘතික සීමා පනවන එක නොකළ යුතු දෙයක් විදියටයි මම දකින්නෙ. දැන් කතෝලික සංස්කෘතික පසුබිම ගත්තොත් ඒ සංස්කෘතිය ගොඩ නැගෙන්නෙ ආගමත් එක්ක. ඒ සංස්කෘතිය ඇතුළෙ වයින් කියන දේ සාමාන්‍ය කාන්තාවො පවා පාවිච්චි කරනවා. වයින් කියන්නෙත් මත්වෙන දෙයක්. ඉතින් මේ වගේ සංස්කෘතික භාවිතාවන් ඇතුළෙ මත්වීම සම්බන්ධව ඉඩ කඩකුත් තියෙනවා .
පිරිමියාට මත්වෙන්න අයිතියක් තියෙනවා නම් කාන්තාව මත්පැන් ගැනීම වරදක් හෝ නීතියෙන් තහනම් කළ යුතු කාරණයක් විදියට සැලකීම, මගේ පුද්ගලික මතයට අනුව හරිම පටු කියවීමක්.
කාන්තාවන්ට පිරිමින් සමඟ ලිංගිකව එකතු විය හැකි නම්,ඔවුන්ට මත්පැන් පානය කරන්නත් පුළුවන්. ඒක කාන්තා ශරීරයට අදාළ ප්‍රමාණයට පාවිච්චි කිරීම ඇය සතු කාරණයක්. ඒ සඳහා සංස්කෘතික පරිසරයක් කාන්තාවො බිව්වට පස්සෙ හැදේවි. පිරිමින්ගේ මත්පැන් පානය පිළිබඳවත් සාමාජීයව හැදුන සාමාජීය වාරණ තියෙනවා. සාමාජීය මායිම් හැදිල තියෙනවා. ස්ත්‍රීන් මත්පැන් පානයට යොමු වුනොත් ඔවුන්ට ආවේණික වුණු සාමාජීය සීමා මායිම් මානයන් නිර්මාණය වෙයි. සමාජ සංස්කෘතීන් හි පැවැත්ම සිද්ධවෙන්නෙ ඒ විදියටයි. පිරිමින්ට බොන්න පුළුවන් වුණත් මේ සමාජයේ සියලුම පිරිමි බොන්නෙ නැහැනෙ. කාන්තාවන්ටත් එවැනි ත්ත්වයක් නිර්මාණය වෙයි.
ඇත්තටම මෙතෙක් කලක් කාන්තාවන්ට නෛතික වශයෙන් තහනමක් මත්පැන් පානය කිරීම සම්බන්ධව පැනවිලා තිබීම ගැන මම කනගාටු වෙනවා .ඒක හරි පටු දැක්මක්. මංගල සමරවීර ඇමතිවරයා ඒක වෙනස් කළා නම් ඒ ගැන ඉතාම සතුටුයි. නමුත් ජනාධිපතිවරයා එය නැවත අහෝසි කිරීම පිළිබඳව මට එතුමා පිළිබඳව කනගාටුවක් ඇතිවෙනවා.
දිල්