අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.
ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.
බොනිපස් පෙරේරා - රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් - වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා - අමරදේව වීම හෝ බවට පත් වීම හෝ ඔගස්ටා පුෂ්පරාණි - අසංකා මොණරවිල බවට පත් වීම හරහා මෙවැනි ගැටළුවක් නිරූපණය නොවන අතර ඒවා අයත් වන්නේ සිනමා හා කලානුරූපී අවශ්‍යතා කැටගරියට ය.
නමුත් ඩේසි රාසම්මා ඩැනියල්ස් - රුක්මණී දේවි ම වීම , නෙයි සීතා බංසජායා - G S B රාණි ම වීම , එම්. එම්. හනීෆා - ශෂී විජේන්ද්‍ර ම වීම , ග්‍රේස් ස්කෝමත් - අචලා අලස් ම වීම සහ රොෂාන් මාසිලාමනී - රොෂාන් රණවන ම වීම හරහා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවක් ඉටු කෙරෙන අතර එය සිනමා හා කලානුරූපී අවශ්‍යතාවයෙන් සපුරා වෙනස් වේ. නමුත් ඒ කිසිවක් මතුපිටට නොපෙනේ.
පසුගිය වසර කීපය තුළ ලාංකේය සමාජය තුළ ගිහි ප්‍රජාව අවුළුවන චීවරධාරීන් දෙස ඇස් කන් අවදියෙන් තබා සිටියේ නම් එදා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවය අද අයිතිවාසිකමක් ලෙස දක්නා මෙවැනි භික්ෂූන්ගේ අනතුරුදායක බව ඔබට වැටහෙනු ඇත.
අපට කටපාඩම් කරන බුදු බණට අනුව "නච්ච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී " යනුවෙන් ශික්ෂාපදයක් ඇති අතර නැටීම් - ගී ගැයීම් - බෙර ආදී වැයීම් ද විහිළු දසුන් දැකීමෙන්ද වැළකෙන්නට පවසන්නේ ගිහියන්ට පමණක් විය හැකිය. චීවරය ලා සිටින භික්ෂූන් වහන්සේලාට අවුරුදු කුමරාගේ පෙර සමේ සිට අවුරුදු කුමරියගේ කන්‍යා පටලය දක්වාම පරීක්ෂා කරන්නට අවසර ඇතුවා විය හැකිය. එය අපට ප්‍රශ්නයක් නොවේ.
නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි - පැවිදි සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන්ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති - කුල - මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය.
අවුරුදු කුමාරයාගේ සරම අස්සේ සිටින අන්‍ය ජන වර්ගිකයාට වඩා ජාතිවාදී භික්ෂූන්ගේ චීවරය අස්සේ සිටින සැඟවුණු අමුත්තා භයානකය.
- සහන් කසීර වික්‍රමසිංහ -