ශ්‍රී ලංකාවේ ඉහල ආදයක්මක් ඉපැයූ සිනමාපටයක් වන ගාමණී චිත්‍රපටයේ භික්ෂුන් වහන්සේගේ චරිතයට රංගන දායකත්වය සැපයීමට සිදුවීම පිළිබඳව ආත්ම ලැජ්ජාවකින් පසුවන වන බව ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි පවසා තිබේ.
ඔහු පළ කළ සම්පුර්ණ අදහස පහතින්,
"වෑඩිහිටියෙක් ලෙස,වයස හතලිහක් විතර වෙන කාලෙ මගේ ජීවිතයේ අරමුණ උනේ වෘත්තීය නලුවෙක් හා කාගෙවත් උවමනාවට නොලියන ලේඛකයෙක් වෙන්න.මූලිකම වුනේ සාර්ථක රංගන ශිල්පියෙක් වෙන්න.වෘත්තීය නලුවෙක් කියන්නෙ රඟපෑමෙන් සල්ලි හම්බ කරනව කියන එක නෙවි.කෙටියෙන් කිවුවොත් ,සතතාභ්‍යාසයේ තත්පරවෙන නලුවෙක් වීම.මෙතැනදී මුදල් වැදගත් වෙනව.මම මුදල කියල හිතුවෙ ගණන නෙවි....වටිනාකම.එහෙත් ලංකාව වගේ ආර්ථික පැත්තෙන් හුඟක් දුප්පත්,මතවාදීව ප්රගතිශීලි වීම ඉතාමත් දුර්වල රටක වෘත්තීය නලුවෙක් වීම පුක මහගෙන බඩසුද්ධ වෙන්න කෂාය බොනව වගේ වැඩක්.
අදටත් මාව අගය කරන බොහෝමයක් ප්‍රේක්ෂකයන් ඉතාමත් ඉහළින් වර්ණනා කරන චරිතයක් තමයි “ගාමණී” චිත්‍රපටයට මම රඟපෑව බෞද්ධ භික්ෂුව ගේ චරිතය.එහි සහාය අධ්‍යක්ෂක අසෝක අතාවුදහෙට්ටි මාව එම චිත්‍රපටයට එකතුකර ගන්නට ලොකු උත්සාහයක් ගත්ත.මම කියන්න යන දෙයට ඔහුගේ අබැටක සම්බන්ධයක් නැහැ.
”ගාමණී” පිටපත ලියල අධ්‍යක්ෂණය කලේ නාවුක හමුදාවේ සේවය කල rear admiral සරත් වීරසේකර.එයා මූලික වී සංවිධානය කල සිවිල් ආරක්ෂක හමුදාවේ උත්පත්ති කතාව තමයි එහි තේමාව.ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ,කරුවලගස්වැව,එතරම් සශ්‍රීක නොවූ පන්සලක චිත්‍රපටය රූපගත කලේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කල සරත් වීරසේකර නාවුක හමුදාවේ සේවය කරන කාලෙ ඉඳල ඔහු ඊනියා දේශප්‍රේමියෙක් හා ජාතිවාදියෙක් බව මම දැනගෙන හිටිය.මගේ වටිනාකම මුදලින් ලැබුන හෙයින් මං රඟපාන්න කැමති උනා.තිරනාටකය කියෙව්වෙ නෑ.(කියවලා තිබුනත් ලැබෙන මුදල ගැන හිතල මම ඒ චරිතය රඟපානව) ජාතිවාදී සරත් වීරසේකරට කියන්න ඕන වෙලා තිබුනු ඔක්කොම අලුගුත්තේරු ජාතිවාදී අදහස් භික්ෂුව ගෙ දෙබස් ලෙස ලියවිල තිබුන.ඉතිං බුදුබණ විධියට අර්ථකථනය කරමින්, මරාදැම්ම්ත් මම නො අදහන මතවාදය මගේ මුවින් කිවුව.එක තැනක භික්ෂුව කියනව මෙහෙම(මේ වචනම නොවුනත් අදහස මේක) “මිණීමැරීම පාරාජිකාවක්....භික්ෂූත්වය....... නැතිවෙනව....ඒත් ආත්මාරක්ෂාව සඳහා එහෙම කරාට කමක් නෑ කියල බුදුන් වහන්සේ දේශනාකරල තියෙනව”.දෙමලුන්ගෙන් තම්බින්ගෙන් බුද්ධාගමයි රටයි බේරා ගන්න වලිකන සිංහල බෞද්ධයින් දොහොත්මුදුන් තබා මේ චිත්‍රපටය බලල රුපියල් ලක්ෂ 1000කට වඩා ආදායම තරකරා.
SIDNEY POITIER නම් වූ සුවිශේෂ රංගධරයා තදින්ම මුදල් අවශ්‍ය අවස්ථාවකවත්,නො සිතූ වටිනාකමක් ලැබිලත් තම මතවාදයට එරෙහි චරිතයක් රඟපෑම ප්‍රතික්ෂේප කලා. එවැනි උතුම් තීරණ ගන්න බැරි රටක නලුවෙක් උනු මට POITIER කෙනෙක් වෙන්න හීණයක් දකින්නටවත් බැහැ.මට මෙහෙම ලියන්න හිතුනෙ තවම මම නො නැරඹූ හඳගම,විමුක්ති,ප්‍රසන්න හැදූ “තුන්දෙනෙක්” ගැන ලියූ අදහස් කියවීමෙන් හටගත් ආත්ම ලැජ්ජාව නිසා.”
WJcolumn