මෙරටදී උපත ලැබූ විශ්ව සම්භාවනීය ලේඛක මයිකල් ඔන්ඩච්චි විසින් රචිත “ද ඉන්ග්ලිෂ් පේෂන්ට්” කෘතිය, මෙතුවක් කාලයකට මෑන් බුකර් සම්මානය දිනා ගත් විශිෂ්ටතම ග්රන්ථය ලෙස රන් සම්මාන දිනා ගැනීමට සමත් වි තිබේ.
මෑන් බුකර් සම්මානයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් 8 ඉරිදා ලන්ඩනයේ පැවත්වී උත්සවයක දී මෙම කෘතිය ඇගයීමට පාත්ර වි ඇත්තේ ජනතා මනාපයෙනි.
ඒ අනුව තවත් විශිෂ්ට නවකතා හතරක් පරදවමින් ඡන්ද 9000 ක් ලබා ගත් “ද ඉන්ග්ලිෂ් පේෂන්ට්”, මෑන් බුකර් රන් සම්මානය තමන් සතු කරගෙන ඇත.
පසුගිය දශක 5 තුල බුකර් ඇගයීම ලැබූ කෘති 51 අතුරින් ජුරි මණ්ඩලයක් විසින් තෝරා ගත් ග්රන්ථ 5 ක් මනාප පළ කිරීම සඳහා විවෘත වි තිබුණි.
වී.එස්. නායිපොල් ගේ “ඉන් අ ෆ්රී ස්ටේට්”, පෙනිලෝප් ලිව්ලි ගේ “මූන් ටයිගර්”, හිලරි මැන්ටෙල් ගේ “වුල්ෆ් හෝල්” සහ ජෝර්ජ් සන්ඩර්ස් ගේ “ලින්කන් ඉන් ද බාඩෝ” අවසන් වටයට තේරුණු සෙසු කෘති වේ.
දෙවැනි ලෝක යුද සමයේ පැවති ආදර අන්දරයක්, ගැටුම් මුල් කරගනිමින් මයිකල් ඔන්ඩච්චි විසින් රචිත මෙම කෘතිය මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ 1992 වසරේදී ය.
මෙම කෘතිය මුල්කරගනිමින් නිර්මාණය කරන ලද සිනමාපටය 1996 දී ඇකඩමි සම්මාන නවයක් දිනාගැනීමට සමත් විය. ඒ සඳහා ප්රධාන රංගන දායකත්වය සැපයුවේ රැල්ෆ් ෆියෙන් සහ ජුලියට් බිනොෂ් ය.