ශ්‍රී ලාංකේය රසික ආදරය දිනාගත් ප්‍රවීන ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනී හට මෙතෙක් මෙරට කලාකරුවෙක්ට නොලැබුණු අන්දමේ සම්මානයක් හිමිව තිබෙනවා.
ඊයේ(18) දින කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තේරීමේ සම්මාන උළලේදී www.niroshavirajini.lk නම් ඇයගේ නිල වෙබ් අඩවිය මෙසේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවා.
මෙරට කලාකරුවෙකුගේ වෙබ් අඩවියක් සඳහා සම්මානයක් හිමි වු පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
තමන් ලැබූ සම්මානය සම්බන්ධයෙන් අදහස් දැනගන්න මිරර් ආට් අපි, ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනී සමඟ සම්බන්ධ වුණා,
“හොඳම වෙබ් අඩවිය 2018 Media sports and entertainment කියන අංශයෙන් මට ලෝකඩ සම්මානය හිමි වුණා. වෙබ් සයිට් වලට සම්මාන ලබා දෙන බව වත් දැනගෙන හිටියේ නැති වෙලාවක අපේක්ෂා කරපු නැති විදියට තමයි මට මේ සම්මානය හිමිවෙන්නේ. කලාකරුවෙක් මෙවැනි සම්මානයක් සඳහා නිර්දේශ වුණු පළමු අවස්ථාව විදියට මේ අවස්ථාව සලකනවා.
ජනතා මනාපයෙන් තේරී පත්වන වෙබ් අඩවි විනිශ්චය මණ්ඩලයකින් නැවත වතාවක් තේරී පත්වෙලා තමයි මේ සම්මාන ලබා දෙන්නේ. මගෙත් එක්ක තරග කළේ පුවත් වෙබ් අඩවි දෙකක්. සාමාන්‍යයෙන් ජනතාව ගොඩක් උනන්දු වෙන්නේ ප්රවෘත්ති බලන්න. මිට අවුරුදු එකහමාරකට විතර කලින් මේ වෙබ් අඩවිය එළිදක්වන කොට මම විශේෂ උත්සවයක් හෝ අඩුම තරමින් මාධ්‍යයට වත් දැනුම් දුන්නේ නැහැ. වෙබ් අඩවිය ගැන එහෙම විශේෂ ප්‍රචාරණයක් නොකරත් සම්මානයක් ලැබුන එක ගැනත් සතුටුයි. ඒ වගේම මට තියෙන ලොකුම සතුට තමයි මගේ රසිකයින් මා ගැන දැනගන්න ගොඩක් උනන්දුවක් දැක්වීම ගැන. ඒක තමයි සම්මානයත් එක්ක මගේ හිතට දැනෙන ලොකුම සතුට.
තව මගේ වෙබ් අඩවිය කලාත්මක විදියට ගොඩනැගු එහි කටයුතු පවත්වාගෙන යන විශ්මිත ආයතනයට ස්තුති විය යුතුයි.”
තමන්ගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අලුත් ආරංචි කිහිපයක්ම ඇය මිරර් ආට් වෙත පැවසුවා.
“මේ දවස් වල ගීත පටිගත කිරීම් විශාල ප්‍රමාණයක් සිදු කළා. වීඩියෝ එක්කම එළිදක්වන්න තමයි බලපොරොත්තුව.මොකද අද වෙනකොට ගොඩ දෙනෙක් රූප මාධ්‍ය එක්ක තමයි ගැවසෙන්නේ. යූ ටියුබ්, රූපවාහිනී ඉලක්ක කරන කොට වීඩියෝව අත්‍යවශ්‍යයි. ඉතින් මේ හැමදේම එක්ක වෘත්තිමය ජීවිතයත් පවුල් ජීවිතයත් සමබර කරගෙන ගොඩක් කාර්යබහුල ජිවිතයක් ගෙවනවා කියලා තමයි මගේ රසිකයින්ට කියන්නේ තියෙන්නේ.”
8 වැනි වරටත් පැවැත්වුණු හොඳම වෙබ් අඩවි තේරීමේ තරගාවලිය සංවිධාන කරනු ලැබුවේ LK Domain Registry ආයතනය මඟිනි.