ප්රවීන සිනමා අධ්යක්ෂ සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය “බිම්බා දේවි හෙවත් යශෝධරා” මේ වනවිට දින 100 ඉක්මවමින් EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා 74 ක තිරගත වෙමින් තිබේ.
සිනමාපටය තිරගත කෙරෙන අවසාන දිනය වන්නේ එළඹෙන අගෝස්තු 9 වැනිදා ය.
දින 100 ක් ඉක්මවමින් “බිම්බා දේවි හෙවත් යශෝධරා” සිනමාපටය ප්රදර්ශනය වීම සම්බන්ධයෙන් සුනිල් ආරියරත්නයන් සති අන්ත පුවත්පතක් වෙත මෙසේ අදහස් දක්වා තිබුණි,
‘‘සිංහල සිනමාවේ අර්බුදයක් තිබෙන වෙලාවේ චිත්රපටයක් දින සියය ඉක්මවනවා කියන්නේ ජයග්රහණයක්. මෑත කාලයේ දිගින් දිගටම චිත්රපට ආසාර්ථක වෙද්දි ඇතැම් සිනමාහල් වසා දමන තත්ත්වයක් තමයි ඇති වෙමින් තිබුණේ. එවැනි අවස්ථාවක අපේ චිත්රපටය දිගින් දිගට සාර්ථක වෙමින් ගිය නිසා සිනමාහල් පාඩු පියව ගන්න, ණය තුරුස් ගෙවා ගන්න, එම ශාලා ප්රතිසංස්කරණය කරගන්න පවා කටයුතු කරගෙන තිබෙනවා. එයින් නැවත සිංහල සිනමාවේ ප්රබෝධයක් ඇති වුණා කිව්වොත් මා නිවැරැදියි. මේ වෙන කොට ආදායම ලක්ෂ 2000 ඉක්මවලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෑත කාලයේ චිත්රපටක් පෙන්වද්දී හවුස් ෆුල් කියලා බෝඩ් එකක් දැක්කෙම නැහැ. කොළඹින් පිටත. ගාල්ල, මාතර, කෑගල්ල, යටියන්තොට, කිරිඳිවැල වගේ බොහෝමයක් ප්රදේශවල දර්ශන වාර හවුස් ෆුල් වුණා.”