බොලිවුඩ් සිනමා නළු නානා පටේකාර්ට එරෙහිව ඉදිරිපත්ව තිබුණ ලිංගික අතවර චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුණි.
ජනප්‍රිය සිනමාවේදියාට එරෙහි ලිංගික අතවර චෝදනා අත්හැර දමනු ලැබුණේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති බව පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුවය.
නානා පටේකාර්ට එරෙහිව ලිංගික අතවර චෝදනා නගා තිබුණේ බොලිවුඩ් නිළියක වන ටනු ශ්‍රී දත්තා විසිනි.
2008 වසරේ සිනමා රූගත කිරීමේ දර්ශන තලයකදී පටේකාර් තමාට අතවර සිදුකළ බවට ටනු ශ්‍රී දත්තා චෝදනා කරන්නීය.
එහෙත් නානා පටේකාර් තමාට එරෙහි එකී චෝදනා දිගින් දිගටම බැහැර කරමින් සිටියේය
එම චෝදනා පළමු වරට ඉදිරිපත් වීමෙන් කලකට පසුව ඒවා 2018 වසරේ යළිත් මතුපිටට පැමිණියේ, ටනු ශ්‍රී දත්තා නිළිය විසින් නානා පටේකාර්ට එරෙහි ඇයගේ චෝදනා #MeToo ව්‍යාපාරයට එක් කරනු ලැබීමෙනි.
සිය අකැමැත්ත ප්‍රකාශ කළ නමුත්, ගීයකට ඇතුළත් කරනු ලැබීම සඳහා ඔවුන් දෙදෙනා අතර සරාගී රංගනයක යෙදෙන ලෙස නානා පටේකාර් ඇයගෙන් ඉල්ලා සිටි බව ටනු ශ්‍රී දත්තා ප්‍රකාශ කරයි.
එදා විසි හතර වැනි වියේ පසු වූ තමා විසින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවේ පටේකාර් තමාට තර්ජනය කළ බවත් සිනමා නිළිය පවසන්නීය.
නානා පටේකාර් එකී සියලු චෝදනා බැහැර කර තිබුණි.
"ලිංගික අතවර කියන යෙදුම මගින් දත්තා අදහස් කළේ මොනවද? අපි දර්ශන තලයේ සිටි අවස්ථාවේ දෙසීයකට අධික මිනිස්සු අපි ඉස්සරහ හිටිය" නානා පටේකාර් පසුව මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
මේ අතර 'ට්විටර්' පණිවුඩ මගින් අඩු තරමින් කාන්තාවන් දෙදෙනකුවත් ටනු ශ්‍රී දත්තා වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් එම චෝදනා තහවුරු කෙරෙන සාක්ෂි ලැබී නැති බව මුම්බායි පොලිසිය පවසයි.
"එබැවින් අදාළ විභාගය පෙරට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි" පොලිසිය ප්‍රකාශ කළ බව ANI මාධ්‍ය ආයතනය වාර්තා කරයි.
ටනු ශ්‍රී දත්තා සිනමා නිළිය නානා පටේකාර්ට එරෙහිව පළමු වරට චෝදනා කළේ මෙයින් වසර දහයකට පෙරය.
2018 වසරේ සිදු වූ සාකච්ඡාවක දී ඒ පිළිබඳව දත්තාගෙන් විමසීමක් කළ විට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.
"මෙයින් අවුරුදු දහයකට ඉස්සර මම මුහුණ දුන්න තත්ත්වය පිළිගැනීමකින් තොරව, එවැනි පිළිගැනීමක් ලැබෙන තෙක් ඉන්දියාව තුළ මොනම වැඩ පිළිවෙලක්වත් පෙරට යන්නේ කොහොමද?"
එහෙත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රකට නිළියන් ද ඇතුළුව බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ කීප දෙනකුගේ අවධානය පසුව එම කාරණය සම්බන්ධයෙන් යොමු විය.
නිව්ස්බීට්(Radio 1 Newsbeat) ගුවන් විදුලියට ප්‍රකාශයක් කරමින් ටනු ශ්‍රී දත්තා මෙසේ කීවාය.
"හරිම හිරිකිතයි. මොකද?ඔහු මගේ ඇඟ පුරාම අත යැව්වා"
නානා පටේකාර්ගේ හැසිරීමට විරෝධය පළ කරමින්, දර්ශන තලයෙන් ඉවත් ගිය තමාට " වෘත්තීය භාවයක් නොමැත්තියක්, පිස්සි, බොරුවට රඟපාන්නී සහ කුපිත රැජිණ" වගේ යෙදුම් වලින් මාව හඳුන්වන්න පටන් ගත්තා" ටනු ශ්‍රී දත්තා වැඩි දුරටත් සඳහන් කළාය.
මෙම පැමිණිල්ල විභාගයට ගැනීම නැවත ආරම්භ කරන මේන් ඉල්ලා සිටිමින්, ටනු ශ්‍රී දත්තා මුම්බායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයි ඇයගේ නීතිවේදියා පවසයි.
BBC සිංහල