දැවැන්තයකු අභියස....
රජරට ගුවන් විදුලියේ සේවය කළ ප්‍රවීන කලා ශිල්පින් අගයමින් සේවා උපහාර උත්සවයක් පසුගිය 15 වැනිදා එම ගුවන් විදුලි සේවයේ දී පැවැත්වුණා.
ඊට සහභාගී වූ ශිල්පින්ගේ සිත රජරට සේවා කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබූ එක් සිතුවමක් අසල නැවතී තිබුණා. ඒ රජරට කලාපයෙන් නිර්මාණකරුවන් රැසක් බිහිකිරීමට දායක වූ විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ ආලේඛ්‍ය සිතුවමක්.
මේ සිතුවමේ නිර්මාණ ශිල්පියා වන්නේ ප්‍රවීන රංගන ශිල්පී මහින්ද පතිරගේ යි. තමන් ඇඳි මෙම සිතුවම ඉදිරිපිට සිට ඡායාරූපයකට පෙනී සිටින්නට ඔහුට අවස්ථාව උදා වී තිබුණේ පළමු වරට වන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදිනී සීතා රන්ජනී සිය මුහුණු පොතෙහි මෙසේ සටහනක් පළ කර තිබුණා.
“පසුබිම් පින්තූරයේ සිටින මේ දැවැන්තයා රජරට කලාපයෙන් ගායක ගායිකාවන් රැසක් බිහිකරන්නට දායක වූ කෙනෙක්. රජරට ගුවන් විදුලියේ කාර්යාලයේ තබා ඇති විශාරද ගුණදාස කපුගේ මේ විශාල පින්තූරය සිතුවම් කළ ශිල්පියා කවුරුත් හඳුනන්නේ රංගන ශිල්පියෙක් ලෙසයි. ඔහු ද රජරට සේවයේ ශිල්පියෙකු ලෙස කටයුතු කොට අද ජාතික තලයේ රංග ශිල්පියෙකු ලෙස වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරිය දිග්විජය කළ කෙනෙක්. ඔහු මහින්ද පතිරගේ. සිතුවමේ ශිල්පියාටත් පළමුවරට ඒ ඉදිරියේ සිට ඡායාරූප ගන්නට හැකි වුණා අනෙක් බොහෝ අය ඒ ඉදිරිපිට නැවතී ඒ දැවැන්තයා දෙස බලා සිටි නිසා.”