“රංගන ශිල්පීන්ට ගරු කරන්න බැරි සම්මාන උළෙලකට ඇයි මම යන්නේ?” හේෂාන් මනුලගෙන් චෝදනාවක්
2019 දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්රියතම රංගන ශිල්පියා සම්මානය සඳහා නිර්දේශ වී සිටින රංගන සහ නිරූපණ ශිල්පී හේෂාන් මනුල තමන්ට SMS මනාපය පළ නොකරන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වෘත්තීයභාවයකින් තොරව රංගන ශිල්පීන්ට සැලකුම් ලැබීම නිසා මෙම ඉල්ලීම කරන බවයි අද (26) මුහුණුපොතෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ.
“මගේ මිතුරන්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා... මට මනාපය පළ කරන්න SMS පණිවිඩ යවන්න එපා
මේවසරේ දී ජනප්රිය රංගන ශිල්පි සම්මානය සඳහා මා ද නිර්දේශ වී තිබෙනවා. කොහොම වුණත් ඊයේ වෙනකම් මට මේ දේ දැනගන්න ලැබුනේ නැහැ. මම ප්රමාදය ගැන ඇහුවම සියල්ලන්ටම දැනුම් දෙන්නේ දැන් කියලයි ඔවුන් කිව්වේ. සම්මානයකට නිර්දේශ වෙලා ඉන්නවා කියලා උත්සවයට දින තුනකට කලින් රංගන ශිල්පින්ට දැනුම් දුන්නම තකහනියේ ඔවුන් සුදානම් වෙන්නේ කොහොම ද? රංගන ශිල්පින් කියන්නේ වෘත්තිමය ශිල්පින් පිරිසක් මිසක් සෝබනකාරයෝ පිරිසක් නෙවෙයි. කිසිම වෘත්තීයභාවයක් නැති, මෙවැනි කෙටි දැනුම්දීමකින් සම්මාන උළෙලට සහභාගී වෙන්න මම මගේ අනිත් වැඩ නවත්වන්නේ නැහැ. රංගන ශිල්පීන්ට ගරු කරන්න බැරි උළෙලට ඇයි මම යන්නේ?”
එසේම ආරාධනා පත්ර ලබාදීමට යාමේදී ද ඉතාමත් නොසැලකිලි අන්දමින් කටයුතු සිදු වූ බවත් මෙවැනි වෘත්තීයනොවන ක්රියා සැබවින්ම ලජ්ජාවට කරුණක් බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබෙනවා.