මොනාලිසා තැන මාරු කරයි
මදහස නංවන ඇගේ මුහුණ ලොව බොහෝ දෙනෙක් දන්නා හඳුනන එකකි. අවස්ථා කිහිපයකදී පමණක් රටින් පිට යාමට ඉඩ ලද ඇය එකම කුටියක අවුරුදු 14 ක් විසුවා ය.
අපි මේ කතා කරන්නේ 2005 පටන් ප්‍රංශයේ පැරිස් නුවර ලුව්ර කලාගාරයේ එකම කුටියක තබා ඇති ලියනාඩෝ ඩාවින්සිගේ අග්‍රගණ්‍ය කලා කෘතිය “මොනාලීසා” ගැනයි.
කෙසේ වෙතත් මොනාලිසා සිත්තම ලුව්ර කලාගාරයේ Salle des Etats කුටියෙන් එම කලාගාරයේම පිහිටි වෙනත් කුටියකට රැගෙන යාමට ඊයේ (16) දිනයේ දී කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අලුත්වැඩියා කටයුතු සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද (17) පටන් එළඹෙන ඔක්තෝබරය දක්වා මොනාලිසාගේ නව නිවහන වන්නේ Galerie Medicis ය.
එසේම Salle des Etats කුටියේම පිහිටි තවත් සිත්තමක් වන “Veronese’s Wedding Feast at Cana” අලුත්වැඩියා කටයුතු සිදුවන කාලයේ ආරක්ෂිත වැස්මක් තුළ රඳවනු ඇත.