සුදත් දේවප්‍රියගේ නවතම ටෙලි සිත්තම “සුළඟ මහමෙරක”
80 දශකයේ අග සිදු වූ තරුණ කැරැල්ලෙන් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන වසන්ත යළි ගමට එයි. නොකළ වරදකට සිරගතව සිටි වසන්ත යළි මොලෑව නම් තම ගමට එනවිට ඔහුට සිය එකම සොයුරා සොයා යන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ද හමුවෙයි. ඇය නදී ය.වසන්ත ගමට ආ විට තරුණ කැරැල්ල නිසා තම දෙවන සොයුරා අතුරුදහන් කර ඇති බව තේරුම් ගනියි. මේ නිසාම වසන්තගේ මව සියදිවි හානිකරගෙන ඇත. පියා වන අප්පුහාමි, බිරිඳගේ වියෝවීම හා දෙටු පුතුගේ අතුරුදහන් වීම මත මනෝ ව්‍යාධියකට හසුව සිටියි. අනුලාවතී වසන්තගේ පවුලේ ලොකු අක්කා වන අතර ඇය පවුලේ වගකීම භාරගෙන කටයුතු කරයි. විවාහයක් ගැන සිතීමටත් වාසනාවක් නොලැබූ ඇය මොලෑව ගමේ කණිටු පාසලේ මුල් ගුරු වූ සෝමසිරිට (වෙස්වලාගත් නමකි) සිතින් පෙම් කරයි. මාලි වසන්තගේ සොයුරියක් වන අතර ඇය උත්සහ කරන්නේ තරුණ රැල්ල නිසාත්, නොදියුණු වූ ගමක් වීම නිසාත් පිඩාවට පත් මොලෑව ගමින් පැන යාමටයි. වසන්තගේ මල්ලි වන රුවන් උතුරු නැගෙනහිර යුද්ධයට යාමට හමුදාවට බැඳෙන්න වෑයම් කරයි. මහතුන් හා බිරිඳ ජයලතා වසන්තගේ නැන්දා සහ මාමා වෙති. මහතුන් පොලිසිය හා එක්ව පවුල් කෝන්තර පිරිමසා ගන්නට වසන්තගේ අතුරුදහන් කළ මද්දු මල්ලිව පාවා දුන් බව කියවේ. ඒ නිසාම වසන්තලා සහ මහතුන් මාමාගේ පවුල අතර බලවත් වෛරයක් හටගෙන තිබේ. ගමට ආ වසන්ත රැකියාවක් සඳහා වෙහෙසෙයි. යළි විශ්වවිද්‍යාලයට නොයාමට තීරණය කරන ඔහු විවිධ කලාත්මක රූප කපා විකුණන්නට වෙහෙසෙයි. එහෙත් වසල වෙළඳ කුලය හා තරග කිරීමට ඔහුට පහසු නොම වෙයි. ගමේ කැලෑව කපන ඇන්ටනි කැලයට වී කසිප්පු පෙරීමටත්, ඇත් දළ හා අලි ජාවාරමටත් මුල පුරයි. මෙකි දුක්ඛ දෝමනස්සයන්ට මැදිව ජීවිතය ජය ගන්නට තැත් කරන තරුණ, මැදියම්, මහලු මිනිසුන්ගේ කතාන්දරය “සුළඟ මහමෙරක” නම් වෙයි.
පසුගිය ජූලි 14 වැනිදා සිට විකාශය ආරම්භ කළ “සුළඟ මහමෙරක” සුදත් දේවප්‍රියගේ නවතම ටෙලි නිර්මාණය යි.
හේමසිරි ලියනගේ, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, දමිතා අබේරත්න, ධර්මප්‍රිය ඩයස්, සුමිත් රත්නායක, ලක්ෂ්මි දමයන්ති, ආනන්ද අතුකෝරල, වොල්ගා කල්පනී, තරින්දි ප්‍රනාන්දු, ආනන්ද කුමාර උන්නැහේ, නිලංක දහනායක, චන්දිමා කරුණාදාස මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
“සුළඟ මහමෙරක” සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබට නැරඹිය හැකි ය.