ඉන්දියාව තුල ක්‍රියාත්මක අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින් විශාලතම සංචාරක සිනමා උළෙල (Travelling Film Festival) ලෙසට සැලකෙන ජාග්රන් සිනමා උළලේ (Jagran Film Festival) 10 වෙනි අදියර අද ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ෆෝට් ශ්‍රවණාගාරයේදී ආරම්භ වන අතර, මෙහිදී ජාග්රන් සිනමා උළෙල නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකීය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වෙමින් විසාකේස චන්ද්‍රසේකරන්ගේ "පාංශු" චිත්‍රපටය අද රාත්‍රි 8.25 ට උළෙලේදී තිරගත වේ.
විදේශීය සිනමාපට උදෙසා වෙන්වූ 'ජගත් පැනොරාමා'' (World Panorama) නම් වූ අන්තර්ජාතික තරඟකාරී අංශය (International Competition) යටතේ ජාග්රන් උළෙල නියෝජනය කිරීමට "පාංශු" චිත්‍රපටය සුදුසුකම් ලබා ඇති අතර, "පාංශු" චිත්‍රපටයට අමතරව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, ඉරානය, ජපානය, චීනය, තායිවානය, බංගලදේශය සහ කසකස්තානය ආදී රටවල් නියෝජනය කරමින් තවත් සිනමාපට 14ක් , උළෙලේ පිරිනමන හොඳම විදේශීය වෘතාන්ත සිනමාපටයට හිමි සම්මානය (Best Foreign Feature Film) වෙනුවෙන් තරග වදී.
අදින් ඇරඹෙන සිනමා උළෙලේ නවදිල්ලි අදියර එළැඹෙන 21 වෙනි දිනෙන් අවසන් වන අතර, එතැන් පටන් සැප්තැම්බර් 29 වැනිදා දක්වා ජාග්රන් සිනමා උළෙල ලක්නව්, අල්ලාහාබාද්, පට්නා, රංචි, බෝපාල්, අග්‍රා, රයිපූර්, මුම්බායි ආදී නගර දාහතක් පුරා සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ අයුරින් ඉන්දියාවේ නගර 18කදී මෙම සිනමා උළෙල පැවැත්වෙන බැවින්, බොලිවුඩයේ සුපිරිතම නළු නිළියන් වැඩිම පිරිසකගේ සහභාගිත්වය සනිටුහන්වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට ජාග්රන් සිනමා උළෙල සැලකේ. ජාග්රන් සිනමා උළෙල, "පාංශු" සිනමාපටය නියෝජනය කරන 08 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි