දිලීප ජයකොඩිගේ 42 වැන්න “ආර්යා” නමින් එළියට
දිලීප ජයකොඩි රචිත නවතම ස්වතන්ත්ර කෘතිය “ආර්යා” එළඹෙන 17 වැනිදා සහෘදගත කිරීමට නියමිත ය.
අවසානයන් දෙකක් ඇති මෙම නවකතාව එළිදැක්වීමේ උළෙල එදින සවස 2.30 සිට කොළඹ මහවැලි කේන්ද්රයේ දී පැවැත්වේ.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණි,
“මා නිර්මාණකරයට පිවිසෙන්නේ වසර 2005 දී "දාස භාර්යා" පරිවර්තනය කරමින්. ඒ, මීට වසර 14 කට පෙරයි. එදා මෙදාතුර මා අතින් පරිවර්තනය වූ පොත් ගණන 35කි. ස්වතන්ත්ර නිර්මාණයන් 6කි. මුලුපොත් ගණන 41කි.
"ආර්යා" මගේ 42 වන නිර්මාණයයි.
පෙර කී එකදු පොතක් සඳහාවත් "බුක් ලෝන්ච්" එකක් නොතිබිණ. ඒ සඳහා මටද උනන්දුවක් නොතිබිණ.පණ්ඩිත් අමරදේවයන් පවසන පරිදි මම ද අලස සුවයට පෙම් බැඳීම එයට හේතුවයි. "බුක් ලෝන්ච්"මහා කරදර වැඩය.ඒවාට දුවන්නට පනින්නට ඕනෑය. හෝල් "බුක්" කිරීමේ පටන්, අවසානයේ ලබා දෙන සංග්රහය දක්වා සැලසුම් කළ යුතු දේවල් දහසකි. ඊට මීට වඩා කකුල් දෙකත් උඩ තබාගන පොතක් බැලීම, චිත්රපටයක් බැලීම ආස්වාදජනකය.
නමුත් මෙවර ඒ සියල්ල දුව පැන කිරීමට දුක්ගන්නාරාළ කෙනෙකු ප්රමුඛත්වය ගෙන සිටී. ඒ, මෙහි ප්රකාශක මියුසස් අධිපති කවීෂ නඳුන් කග්ගොඩආරච්චිය.ඔහුට මිතුරු මිතුරියන් පිරිසකගේද සහාය ලැබේ. ඒ නිසාම "ආර්යා" සඳහා ඔන්න "බුක් ලෝන්ච්" එකක් සූදානම්ය.
මේ, ඒ සඳහා ඔබ වෙනුවෙන් නිම කළ ඇරයුම් පතයි.
එදිනට ඔබ හමුවීමේ, දැකබලාගන කතාබහ කිරීමේ, "ආර්යා" දොරට වැඩීමේ සතුට ඔබ හා බෙදා හදාගැනීමේ "පෙරේත කමකින්" මම පෙළෙමි.
එය සන්සිඳුවන්නට ඔබ එහි එතැයි ද සිතමි.
එහෙනම් මගේ ආදරණීය මිතුරු මිතුරියනි..එදාට හමුවෙමු..!”