ජනාධිපති සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන් අද (17) දින සිය උපන්දිනය සමරයි.
සිය උපන්දිනය සමරන දිනයේ ඔහුගේ ෆේස්බුක් ගිණුමට බොහෝ දෙනෙකු සුබ පතන මොහොතක අමරසිංහයන් ජීවිතයේ ගැඹුරු යථාර්ථය පසක් කෙරෙන කාව්‍යයක් පළ කර තිබුණේ මෙසේය.
"මම" , මම සහ හැම
සිංහල උළු හෙවිල්ලපු මුල්
ඉස්කෝලේ
සරසවි දේවි වූවා මට
පොඩි කාලේ
රස කවි රස කතා අස අස
එක ලීලේ
හෙළ බස් මිහිර විඳ ගත්තෙමි
ඇගෙ දෑලේ
හිඳ එක වහල යට හෙළ
නොහෙළ සිසු කැල
නැණ ලද ගුරු බිමකි මගෙ
දෙවැනි විදුහල
ළය ලෙය හැමගෙ එක ලෙස
දැනුණු එය තුළ
ඇති වෙද හෙළ නොහෙළ
වෙනසකට අනුබල
මව් බස නොහඳුනන හදකට
කිසි කලෙක
ඒ බස උපන් බිම මුල් බැස
ගත නොහැක
පරඬැල සේ එහද පා වී
යනු නිසැක
සරසවි විදුලකර මට
දුන් උපදෙසක
සැඟවුණු කුසලතා වඩවන
දරු පෙමිනේ
ඔබ හද ගැබෙනි මා යළි
මෙලොවට පිපුණේ
මාගේ දෙවැනි මව වී
වැජඹුණු ගුවනේ
වරමකි ගුවන් විදුලිය මගෙ
දිවි ගමනේ
කනට මිහිර දෙන කට හඬම
ඇසු තැන
හදට සුවය දෙන රස බසම
විඳි තැන
නෙතින නොව සිතින නෙක
රූප දුටු තැන
ඔබමය ඉසුරු පුද කළ
මහරු නිදහන
අංකුරයක් ලෙසින් ඔබ
වෙත පැමිණියෙමී
කිංකරයෙක් වුණේ ඔබෙ
පිනිනැයි දනිමී
එපින් පල තවම අපමණ
ලෙස විඳිමී
මට හිමි නම පමණි
අන් හැම ඔබට හිමී
මාටින් විකුම්සිහ මහ පඬි
මිණ හැඳින
කුලුපග වීමි ළඟ ඇසුරක
පල ලෙසින
නිවහල් සිතුම් දුන් ඔබ
මසිතට නිතින
ඇදුරෙකි පියෙකි සොයුරෙකි
මිතුරෙකි කලණ
ඇසුරෙන් නිබඳ මානවසිහ
අරවින්ද
මහදෙහි පිරුණි සකු සාහිත
මකරන්ද
ඔබමය රහස සකුවට මා
සිත බැන්ද
කවියකි ඔබ නමද කිවිඳුනි
මන නන්ද
ඔබ නළු කැලෙහි රඟමින්
කල් ගෙවන සඳ
මා විඳි මිහිර සිහිවෙයි ඔබ
ඇසුරෙ හිඳ
මහැදුරු සරත් සඳ දිළි යස
කිරණ කඳ
බැස නොයනා සඳකි මා හද
අඹර මැද
සකි සඳ අමරදෙව් අමයුරු
රස සයුර
කලඹා ලමින් සඳ රඳවා
අවරඹර
ඔබ හා මිතු කැලද මී
මිහිරද අතර
ගෙවු කල දවස් අස්වැසුමකි
දිවි කතර
පෑන හා තනිව කුටියේ
හිඳින කල
සිත සතපන එරුව අද නැත
පෙමිනි දළ
හැම දේ හිමිව දිවි අග ගත
වුවද කල
අහිමි සේ දැනේ ඒ හිමි
සියලු පල
අනාතව සිටින කල මා
රැකි නාතා
සිහි කර දුන් පෙමින මට මේ
ලොව බීතා
මා අවිනීත වන කල
ඇය සුවිනීතා
මා පිය සුතන් සමගින් මා
වැඩු මාතා
කොහි සිට එනුද කොතැනට
යනුද නොදනිමී
පසිඳුරු ගොදුරු බුදිමින්
තවම හිඳිනෙමී
කෙලෙසුන් මුලින උදුරනු
බැරිව වවනෙමී
"මම" නැති කරන සිත මම
තවම නොලදිමී
රූ සද ඈ ගොදුරු ඇති කල
සතර අත
පසිඳුරනට මිසක මට "මම"
වසඟ නැත
මට අවනත නොවන "මම"
නැති කරන තැත
දිරි ගෙන දැරිය යුතු තව
එය බැරිව ඇත
විඳිමින රිසි ලෙසින කම් රස
සිදුහත්හූ
සිත දැන බුදු වුණේ නිවමිනි
බව සත්හූ
නිරතුරු වසන තුරු සමගින
රස දත්හූ
කෙලෙසින කෙලෙස් නසනුද
අප වැනි සත්හූ
අපි හැම දෙනම සඟවා ගෙන
සිටිමු "මම"
එබැවින් නොම දකිමු කවුදැයි
සැබවි "මම"
හෙළි කළ කල පමණි ඒ
බොරු නොවන "මම"
සැබවිම රුවින් දැකියැකි අපෙ
නියම "මම"