ඊයෙ රජත පුස්තක සම්මාන උළෙලෙ ප්‍රධාන දේශනය කළ මහාචාර්ය සරත් විජේසූරිය පාසැල් අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වපු අදහස් ටික වැදගත්. සිංහල භාෂාව සහ සාහිත්‍ය, ළමයින්ට නීරස වෙන විදියට විෂයය නිර්දේශ හදල තියෙන විදිය ඔහු පැහැදිලි කළා. වැඩිය ඕනෙ නෑ. සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පොතේ මුල් පාඩම විතරක් අරන් බැලුවත් ඒක පැහැදිලියි. සතර කන් මන්ත්‍රණය කියල උම්මග්ග ජාතකයෙන් දීර්ඝ කොටසක් ඒ පාඩමට ඇතුළත්. මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකේ සෝෂල් මීඩියා එක්ක ගනුදෙනු කරන ළමයි සාහිත්‍ය පාඩම පටන් ගන්නෙම ඈනුම් ඇර ඇර.
ඒකෙන් කියන්නෙ පුරාතන සාහිත්‍ය ඕනෙ නෑ කියල එහෙම නෙවෙයි. ඕනෙ. ඒකෙ කිසිම සැකයක් නෑ. හැබැයි ඒවා උපක්‍රමශීලීව, නිර්මාණශීලීව, ළමයින්ට රහක් දැනෙන විදියට ඇතුළත් කරන්න ඕනෙ. විශේෂයෙන් හය, හත, අට වගේ පොඩි පන්තිවල ළමයින්ට ඒ භාෂා ශෛලිය එක පාරට ග්‍රහණය කරගන්න අමාරුයි. අන්න ඒ වගේ අවස්ථාවල තමයි අධ්‍යාපන මනෝ විද්‍යාත්මකව උපක්‍රමශීලී වෙන්න ඕනෙ. නිර්මාණශීලී වෙන්න ඕනෙ. ඒ ඒ වයස් මට්ටම්වලට ගැළපෙන විදියටයි කියැවීම් සහ අභ්‍යාස සකස් වෙන්න ඕනෙ. එහෙම නැතුව අරකෙන් ටිකයි, මේකෙන් ටිකයි, ආ දැන් ඔක්කොම හරි කියල හදන විෂයය නිර්දේශ කසායවලින් වෙන්නෙ සාහිත්‍ය බඩඑළිය යන එක විතරයි.
අනිත් එක යාවත්කාලීන නොවීම. සිංහල කවිය තාම නන්දන වීරසිංහගෙන් මෙහාට ඇවිත් නෑ. වෙන කාගෙවත් නෙවෙයි, අජිත් තිලකසේනගෙ කෙටිකතාවක් උසස් පෙළ සිංහලට ඇතුළත් කරන්න හදල වුණ අලකලංචිය මතකයිනෙ. නූතන කවිය, කෙටිකතාව, නවකතාව, තීරුලිපිය, අලුත් භාෂා සාහිත්‍ය ප්‍රවණතා ගැන කිසිම සංවාදයක් නෑ. ඉතිං ළමයින්ට භාෂාව, සාහිත්‍ය ගැන ආසාවක් දැනෙයිද?
ඒවා හදන්න මහන්සි වෙනවට වඩා ලේසියි දැන් ළමයි කියවන්නෙ නෑ යැයි යැයි යැයි ගගා ඉන්න එක. අනික කියවනවා කියල කියන්නෙ ඉස්සර වගේ පොතක පිටු ටික පෙරළලා බලන එක විතරක් නෙවෙයි. දැන් තව අලුත්, අපූරු, නිර්මාණශීලී අවකාශ කොච්චර තියෙනවද? හැබැයි අපි ඒ අවකාශ ඔක්කොම වහල ළමයි අර පරණ, පුරුදු පිදුරු ගාලටම දක්කලා උන් කියවන්නෙ නෑ කියල හෙණ සම්භාව්‍ය ආතල් එකක් ගන්නවා. අනේ මන්දා !
රටේ අධ්‍යාපනය අවුල් කියල හැමෝම පිළිගන්නවා. සමහරු ඒක කියන්නෙත් නිකං රැල්ලට වගේ. හැබැයි කරන්න ඕනෙ මොකද්ද කියල කාටවත් හරි අදහසක් නෑ. ඒ වෙනුවට අපිට තාම ඕනෙ හොඳ සිරිමත්ලා ටිකක් ඉස්කෝලවලින් එළියට දාන්න විතරයි. එහෙම එළියට දාපු සිරිමත් පුරවැසියන්ගෙන් පිරුණ රට දැන් තියෙන තැන කොහොමද? කාටවත් ඇත්තටම මේක ගොඩ දාන්න උවමනාවක් නැද්ද මන්දා !
කොහොම වුණත් මේ කිසි එකක්, එකකින් එකක් වෙන්වුණ හුදෙකලා කාරණා නෙවෙයි. ඊයෙ කතාව මතු කරපු සරත් විජේසූරියගේ ඉඳල මහාචාර්යවරු, ආචාර්යවරු, ගුරුවරු, පුරවැසියො අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනෙ. ඒ ස්වයං විවේචනයත් එක්කම ඉස්සරහට වෙන්න ඕනෙ මොකද්ද කියල විධිමත් සංවාදයක් ඇති කරගන්න එක සහ ඒ වෙනුවෙන් වඩා වැඩි ජවයකින් යුතුව ක්‍රියාශීලී වෙන එකයි මේ මොහොතෙ වැදගත්.
කසුන් සමරතුංග