රටම අයිති කරගත්තු සින්දුව ඒක ලියපු කුමාරට අහිමි උන කතාව
.කිව්ල කැලේ කුමාර කවිරාජ සාහිත්‍ය ක්ෂේත්රයට සැළකිය යුතු වැඩක් කරපු මිනිහෙක්.එත් ඌ කිසිම ඇගයීමකට ලක්වුණේ නැතිවම මැරිලා ගියා. දැන් ඔයගොල්ලේ හිතයි ඇයි මම කුමාරට ඌ කිව්වේ කියල.ඌ අපේ එකෙක්. සමකාලීන යාලුවෙක් හින්ද එහෙම ලියන්නේ .ඌ හොඳ ගමනක් යන්න ඕනෑවටත් වඩා දක්ෂකම් තිබුණු එකෙක්.සින්දු ලිව්වා.නවකතා ලිව්වා.කෙටිකථා ලිව්වා.ඒත් ඌට ඒවාට සමාජයෙන් ප්‍රමාණවත් වටිනාකමක් ලැබුනේ නෑ .
අපි දෙන්නම ආනමඩුවේ ඉඳන් නිර්මාණ කරපු අය.සේකරගේ කවිවලට පෙම්බැඳපු අය.
කුමරගෙයි මගෙයි සමානකම් කීපයක් තිබුණා .අපි දෙන්නම ආනමඩුවේ. දෙන්නම ආනමඩුවට සංක්‍රමණය වෙච්ච අය. මම ඉන්නේ ආනමඩුවේමයි ග කුමාර හිටියේ කිව්ලේග කිව්ල තියෙන්නේ ආනමඩුවේ පුත්තලම් පාරේ ගල්කුලමෙන් හැරිල හැතැප්ම හය හතක් ගියාමයි. ඒ හින්ද තමයී ඌ කිව්ල කැලේ කුමාර කවිරාජ උනේ. අපි දෙන්නම සේකරගේ කවිවලට පෙම් බැඳපු අය. ඒ සමානකම අනිත් ඔක්කොටම වඩා ලොකුයි.
කුමාර මැරෙන්න කලින් හොඳටම අසනීපවෙලා සතිගණනක් ඉස්පිරිතාලේ හිටියා සිහියක් පතක් නැතිව. එත් හොඳවෙලා ගෙදර ආවා.අයෙමත් පොතක් ලියන්න කඩදාසි එහෙම ලෑස්තිකරගෙන ඉඳල තියෙන්නේ. එත් දෛවය ඌට ඉඩ දුන්නේ නැහැ.
කුමාරට නරනම නරක පුරුද්දකුත් තිබුණා
ඌ හරි හොඳ එකා උනාට නරකම පුරුද්දකුත් තිබුණා . ඒ තමයි ඕනවට වඩා බීපු එක . මම ඌ ට කොච්චරවත් කිව්වා 'යකෝ ඔච්චර බොන්ඩ එපා' කියලා. එත් ඌ ඇහුවේම නැහැ. ඌ ට හොඳ බිරිදක් (දයානි) හිටියා.දරුවෝ දෙන්නෙකුත් හිටියා. මල ගෙදර ගිය වෙලාවේ දයානි මට අඬ අඬා කිව්වේ, "මට සිඩ්නි මහත්තය මගේ ස්වාමිපුරුෂයා නැතිවීමට වඩා දුක කවිරාජ කියන නිර්මාණකරුවා නැතිවෙච්ච එක ගැන" යි කියල . දයනිත් ලස්සන ළමා පොතක් ලියපු ලේඛිකාවක්.
කුමාර පොත් ගොඩක් ලිව්වා
කුමාර කලින් ළමා පොතක් ලියලා ඊටපස්සේ කලකිරිලා නිහඬවෙලා හිටියේ. මම ඒ පොත අයෙමත් පළ කෙරුව. ඊට පස්සේ ඌ අයෙමත් ලියන්න පටන්ගත්තා . මමම උගේ පොත් පහක්ම පළකලා.පුල්ලියාගේ යාලුවෝ. ජන කවියයි ගැමි දිවියයි., අකුරු පෙරහැර. , ගිරග්ග සමජ්ජ. හා පැංචායි මී පුංචයි. ඊට පස්සේ කුමාරගේ තවත් පොත් කීපයක් ගොඩගේත් පළ කළා.එකක් සංස්කෘතික අමත්යාන්්සෙන් කරපු තරගෙකින් දිනලා ඒ අයම පලකලා . අක් වැස්ස, තුත්තිරි,ධම්මපද කාව්‍ය,දුම්බර නෑනා,සේකරට ගමෙන් ලියුමක් පස්සේ ලියපුවා.
සේකරට ගමෙන් ලියුමක් කවි පොත ප්රබුද්ධ වගේම කාව්‍ය ආක්‍යානයක්. කුමාරට සේකර ගැන තිබුණු බැඳීම සහ සේකරගෙන් තිබුණු බලපෑම මේ පොත ලියන්නට හේතු වෙන්නැති.කුමාරත් සේකර වගේම උඩුගං බලා ගිය මිනිහෙක් කියල මේ පොත කියවන කොට තේරෙනවා,
කවුරුත් දන්නා සින්දුවේ කවුරුත් නොදන්නා කතාව,
කව්රුත් නොදන්නවා උනාට අද රටේ ඕනෑම කෙනෙක් ආදරය කරන සින්දුවක් තියෙනවා කුමාර ලියපු.එත් ඒ සින්දුව යන්නේ කුමාරගේ නමින් නෙමෙයි. උගේ නම මේ රටේ තව කල්පයක් පවතින්න පුළුවන් නිර්මාණයක් ඒක. ඒ සින්දුවේ අතීත කතාව ලියල ඉන්නම්කො ඉස්සරවෙලාම. ඌ ඒ සින්දුව ලියල තියෙන්නේ කවියක් හැටියට. ඒක මුලින්ම යොමු කරලා තියෙන්නේ රජරට සේවයට. රජරට සේවයේ මීබිඳු වැඩසටහන කෙරුවේ රන්ජිත් රූපසිංහ. පියෙකුගෙන් පැමිණිල්ලක් නමින් ලියැවුණු ඒ කවිය ගායනා කරලා තියෙන්නේ කරුණරත්න දිවුල්ගනේ. ඒ වෙනකොට දිවුල්ගනේ ජනප්‍රිය ගායකයෙක් නෙමෙයි.ඒ ඔහුගේත් පටන්ගැන්ම. කවිය ගායනා කරපු දිවුල්ගනේට එකේ එකපදයක් තදේටම වැදිලා තියෙනවා. දිවුල්ගනේ ඒ කවිය රන්ජිත්ගෙන් ඉල්ලගෙන තියෙනවා කවදාහරි ගයන්න හිතාගෙන. ඔය අතරේ තමයි කුමාර ඒ කවිය සින්දුවක් හැටියට රටේ ජනප්‍රිය ගායකයෙකුට යවල තියෙන්නේ තවත් සින්දු කීපයක් එක්ක. ඒ ගායකයා ඒ සින්දු කීපයක්ම ගයලා. රන්ජිත්ට ඒ සින්දුව ඇහිලා ඊට පස්සේ දිවුල්ගනේට කියපුවම දිවුල්ගනේ තම ඒ සින්දුව ගයන අදහස අතහැරියාලු.
වැරදීමකින්ද දන්නැහැ වැටිලා තියෙන්නේ වෙන ඇත්තියකගේ නමක්
කුමාරගේ සින්දුව අර ජනප්‍රිය ගායකයා ගයන කළාට වැරදීමකින්ද දන්නැහැ නමවැටිලා තියෙන්නේ ගායකයාගේ සමීපතම ඇත්තියකගේ. කුමාරත් මේ වැරැද්ද නිවැරදි නොකළේ ඇයි කියන එක අස්සේ ලොකු කතාවක් තියෙනවා. අර සමහර අසරණ අම්මල ඉන්නේ තමන් වදාපු දරුවාව වෙනත් අයට හදාගන්ඩ දෙන්නේ තමන්ට අහිමි උනත් කමක් නැහැ දරුවට හොඳක් උනානම් ඇති කියල හිතල. කුමාරගේ කතාවත් ඒ වගේ වෙන්නැති.
කුමාරට වෙච්ච හරි ,කරගත්ත හරි මේ අසාධාරණය ගැන පුදුම කැක්කුමත් තිබූන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රජරට සේවයේ රන්ජිත් රූපසිංහ. අනික් කෙනා තමයි ටෙරන්ස් වනිගසිංහ. මේ දෙන්නටම ඕනෑ වුණා මේක හෙළි කරන්න. ඒත් කුමාර කැමති උනේම නැහැ. කුමාරගේ නම බබළවන්න තිබුණු සිංදුව ඒක . ඒ ජාතියේ සිංදුවකට සිංහල ගීත ඉතිහාසයේ මුලින්ම ලියවුනේ ඒක. ඊට පස්සේ තමයි තවත්අය ලිව්වේ.
මහගම සේකරටත් එහෙම වෙලා තියෙනවලු
ඔය වගේ වැඩක් මහගම සේකරටත් වෙලා තියෙනවලු. සේකර සත්සමුදුර ට ලිව්වේ සිනිදු සුදු මුතු තලාවේ විතරක් නොවෙයිලුනෙ. අනිත් සිංදුවල රචකයා හැටියට සඳහන් වෙන්නේ වෙන නමක්ලු. ඕව අපිට ලැබුන නොනිල ආරංචි.ඉතින් කුමාර, සේකරට ගමෙන් ලියුමක් ලියනකොට කවි කැල්ලක් හරි ලියන්න තිබුනනේ අනේ සේකර ඔයාට වෙච්චදේම මටත් උනා කියල. ඒ ලිව්වෙත් නැහැ. දුක හිතේ තියගෙනම කුමාරත් මැරිලා ගියා. උගේ යාලුවෝ වෙලා හිටපු අපිට කුමාරගේ මේ සින්දුව ගැන කැක්කුමක් තිබුණා. රන්ජිත් නම් ප්‍රසිද්ධ දේශනාවලත් මේ කතාව කියල තියෙනවා. කුමාර හෙළි නොකරපු ඇත්ත අපි කියන්නේ මොන රුදවටද කියල කෙනෙක් හිතන්න පුළුවන්නේ .ඒ හින්ද කුමාරට මේ වගේ අසාදාරණයක් උණු බව විතරක් ලියල නවතිනවා අපෙත් හිත නිදහස් කරගන්න ඕන නිසා. ඉතුරු හරිය ඔයගොල්ලෝ පුලුවන්නම් හොයාගන්න. රන්ජිත් රූපසිංහ මේකේ සුළ මුල දන්නවා. දිවුල්ගනේටත් අමතක වෙන්න හේතුවක් නම් නැහැ.
සිඩ්නි මාකස් ඩයස්
උපුටාගැන්ම සිඩ්නි මාකස් ඩයස්ගේ ෆේස්බුක් පිටුවෙනි https://www.facebook.com/sydneymarcus.dias.9/posts/2916509275073093
මිරර්ආර්ට්ස් පසු සටහන
ලෝකේ ඉතිහාසෙ ඉඳන්ම නිර්මාණ මංකොල්ල කෑම තිබිලා තියෙනවා. මේ මෑතකදි සත්‍යජිත් රේ ගෙ චිත්‍රපට කතාවක මුල් බීජයක් ස්ටීවන් ස්පීල්බර්ග් කරලා තියෙනවා කියලා කියපු වීඩියෝවක් මිරර්ආර්ට්ස් වල පලකළා. ඉතිහාසෙ අපි නොදන්න ඒ වගේ දේවල් කොයි තරම්ද?ප්‍රසිද්ධ මනිස්සු එහෙම දේවල් කරනවා. සිඩ්නි මාකස් ඩයස් මේ ලියලා තියෙන ගීත මංකොල්ල කෑම ප්‍රසිද්ධ රහසක්. මේ ලිපිය ෆේස්බුක් එකට ලියලා දාලා තියෙන එක යටින් පළ කර තියෙන අදහස් වල ගීතය කුමක්ද යන්න ඉතා පැහැදිළියි. මේ ගීතය අම්මා සඳකි ගීතය යනුවෙන් එහි ලියලා තියෙනවා .ලංකාවේ ගීත රසිකයින් බොහෝ දෙනකේ දන්නවා මේ ගීතය ගායනා කරන්නෙ කව්ද ගීතයේ රචනාව හැටියට නම යන්නේ කාගෙද කියලා. ඉතින් මේ වගේ නිර්මාණකරුවන්ට සිදුවුන අසාදාරණකම් කොතෙක් වේද?ඒ අසාදාරණකම් කරන්නේද කලාවෙහි රසිකයින් විසින් ඉහළට ඔසවා තබන අය විසින්ම වීම ඛේදජනක සත්‍යයක්. "අම්මා සඳකි" ගීතයේ සැබෑ අයිතිකරු පද රචකයා වන්නේ කුමාර කවිරාජ බව මෙහි අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.
ඉතිහාසයේදී සිදුවූ මෙවැනි මංකොල්ලකෑම් නිසිලෙස හෙළිදරව් කොට නිර්මාණය කළ මුල් අයිතිකරුවාට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට වර්තමානයේ හෝ හැකි වන්නේනම් එය එවැනි නිර්මාණකරුවන්ට යහපතක්වනු ඇත. සිවිල් බලය ගොඩ නගාගෙන ඇති නිර්මාණ මංකොල්ලකන එවන් පිරිස් හෙළිදරව් කිරීම හෙට දවසේ හොරකම් වලට වැට බැඳිමක් කළහැකි වනු ඇත.
පහත සඳහන් වන්නේ ගීතයේ සැබෑ නිර්මාණකරුවා කව්ද යන්න සිඩිනිගේ ලිපියට පළකරන ලද අදහස් ය.
නම් ටී .එම්.ගයන්නේ පද රචනා ව ඔහුගේ බිරිඳ ලෙස දක්වමින් අම්මා සදකි.......
ගීතය
මේ තොරතුරු ලියනවට ඔබතුමාට බොහොම පින්. ඉක්මනින් ආණමඩුවේ දී ඔබතුමා දැකගන්න කතාකරන්න ලැබේවියි පතනවා.
https://mirrorarts.lk/ar/featured/6465-amma-sandaki-song-writer#sigProIde17ab9ae14