'සුපර්ණා' ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළේ තිරගත වේ
ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උලෙළක් ලෙසින් සැලකෙන එස්තෝනියාවේ ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළ (Tallinn Black Night Film Festival) නියෝජනය කිරීමට සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ 'සුපර්ණා' සිනමාපටය පසුගිය 24 වෙනිදා සමත් විය. උලෙළට නිළ වශයෙන් ඇතුලත්ව ඇති තරගකාරී අංශ 04 අතුරින් 'Rebels with a Cause Competition' නම් වූ අංශය යටතේ 'සුපර්ණා' චිත්‍රපටය උලෙළ නියෝජනය කරනු ලබයි. මුල් කාලීනව තරගකාරී නොවන අංශයක් ලෙස ක්‍රියාත්මක වූ "Rebels with a Cause" අංශය , පළමු වරට 2018 වර්ෂයේ පටන් නිළ තරගකාරී අංශයක් ලෙසින් ක්‍රියාත්මක වේ. ඒ අනුව "සුපර්ණා" ඇතුළුව ලොව පූරා වෙසෙන ස්වාධීන සිනමාකරුවන් විසින් තැනූ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 15ක්, එකී අංශය යටතේ පිරිනමන "Rebel with a Cause" නම් වූ සම්මානය සදහා තරග වදී. පසුගිය 15 වෙනිදා ආරම්භ වූ සිනමා උලෙළ එළඹෙන දෙසැම්බර් 01 වෙනි දිනෙන් අවසන් වන අතර, "සුපර්ණා" යලිත් වරක් එළඹෙන 28 වෙනිදා රාත්‍රී 9.15ට උලෙළේ දී තිරගත වේ.
ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළේ පළමු අදියර 1997 වර්ෂයේදී පැවැත්වූ අතර, 2004 වර්ෂයේ පැවැති 08 වෙනි අදියරේදී තිරගත වූ සුදත් මහදිවුල්වැවගේ "සුදු කළු සහ අළු" මෙම උලෙළ නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය වේ. "සුපර්ණා" එහි තිරගත වූ 11 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය වේ. මෙකී සිනාමාපට ද්විත්වයට අමතරව සමනළ තටු (සෝමරත්න දිසානායක), සංකාරා ( ප්‍රසන්න ජයකොඩි), මචං ( උබර්තෝ පැසිලොනි) , ඉගිල්ලෙන මාළුවෝ ( සංජීව පුෂ්පකුමාර), විසි අට ( ප්‍රසන්න ජයකොඩි), පුතෙකුට ( සුරංග කටුගම්පළ) යන චිත්‍රපට තරගකාරී නොවන (Non- Competitive) අංශයන් යටතේ ද, අහසින් වැටෙයි (විමුක්ති ජයසුන්දර) ඇගේ ඇස අග (අසෝක හදගම) සහ අසන්ධිමිත්තා (අසෝක හදගම) යන චිත්‍රපට තරගකාරී අංශයන් යටතේ ද උලෙළ නියෝජනය කළේය.
උලෙළේ අන්තර්ගත නිළ තරගකාරී අංශයන් 04 (Official Selection Competition/First Feature Competition / Estonian Film Competition/Rebels with a Cause Competition) අතුරින්, උලෙළේ ප්‍රමුඛතම සහ වඩාත් තරගකාරිම අංශය " Official Selection Competition" වේ. ඒ අනුව ටැලින් බ්ලැක් නයිට් උලෙළ ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උලෙළක් ලෙසින් නම් කිරීමට පෙරාතුව එම අංශය නියෝජනය කිරීමට "අහසින් වැටෙයි" සිනමාපටය 2009 දී සමත්විය. එසේම 2014 වර්ෂයේදී මෙම උලෙළ ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උලෙළක් ලෙසින් නම් කිරීමෙන් අනතුරුව පෙරකී ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට "ඇගේ ඇස අග" 2015 දී සහ "අසන්ධිමිත්තා" 2018 දී සමත්ව ඇත. එනමුදු උලෙළේ දෙවැනියට ප්‍රමුඛතම අංශය ලෙසින් සැලකෙන 'First Feature Competition' අංශය නියෝජනය කිරීමට කිසිදු ශ්‍රී ලාංකේය සිනමාපටයක් මේ දක්වා සමත්ව නොමැත. එසේම මේ දක්වා මෙම සිනමා උලෙළ තුල සම්මානයකින් පිදුම් ලැබීමට කිසිදු ශ්‍රී ලාංකේය සිනමාපටයක් සමත්ව නොතිබීම ද විශේෂත්වයකි.
සුජීව ප්රියාල්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් දොරට වඩින 'සුපර්ණා' දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර, වීණා ජයකොඩි, සංජීව උපේන්ද්‍ර, ජනක් ප්‍රේමලාල්, කෙනෙරා වීරතුංග, විශ්වජිත් ගුණසේකර, බුද්ධික ජයරත්න, රයන් වැන්රයන්, හයිසින්ත් විජේරත්න, මාලි ජයවීර, රංජිත් රූබසිංහ, වසන්ත විට්ටච්චි යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් ද, ධනුෂ්ක ගුණතිලකගේ කැමරාකරණයෙන් ද, ප්‍රවීන් ජයරත්නත් සංස්කරණයෙන් ද, පබළු විජේගුණවර්ධනගේ සංගීතයෙන් ද හැඩවේ. ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළ 'සුපර්ණා' තිරගත වන දෙවැනි අන්තර්ජාතික සිනමා උලෙළ වන අතර, එය පළමු වරට 2019 වර්ෂයේ බංගලිදේශයේ පැවති 17 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත විය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
සබැඳි පුවත්
“සුපර්ණා” යුරෝපා මංගල දැක්ම ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ දී
https://mirrorarts.lk/ar/news/6065-suparna-euro-prem-191125#sigProIdbf43ed32d0