අනෝමාට ප්‍රංශ රජයෙන් ගෞරව සම්මානයක්
සිනමාව උදෙසා කළ මෙහෙවර අගයමින් සිනමාවේදිනි අනෝමා රාජකරුණා හට ප්‍රංශ රජයෙන් ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා.
එරට සංස්කෘතික අමාත්‍යංශය විසින් පිරිනමන Officier De L’ordre Des Arts Et Des Letters ගෞරව තනතුරෙන් ඒ අනුව ඇය පසුගියදා පිදුම් ලැබුවා ය.
කලාව, සාහිත්‍ය උදෙසා සුවිශේෂී මෙහෙවරක් කළ හෝ අදාළ ක්ෂේත්රවල උන්නතිය උදෙසා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකුට ප්‍රංශ රජය විසින් ගෞරව පදවි පිරිනැමීම ආරම්භ කරන ලද්දේ 1957 දී ය. ඒ අනුව පිරිනැමෙන පදවි වන්නේ පිළිවෙලින් Commandeur(කමාන්ඩර්), Officier(නිලධාරී) සහ Chevalier(නයිට්) යන පදවි යි. මූලික වශයෙන් ප්‍රංශ පුරවැසියන්ට ලබාදෙන මෙම ගෞරවය ලොව වෙනත් රටවල කලාකරුවන්ට ද පිරිනැමේ.
ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ද 2003 දී Officier De L’ordre Des Arts Et Des Letters ගෞරව සම්මානයට පාත්‍ර විය. එම පදවියෙන් පිදුම් ලැබූ ලොව ප්‍රකට අනෙකුත් කලාකරුවන් අතරට එල්ටන් ජෝන්(1993), ශාරුක් ඛාන්(2007), අයිශ්වර්යා රායි (2009) ඇතුලත් වේ.
කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබාම සිනමාව නගරයෙන් ගමට රැගෙන යමින්, තරුණ සිනමාකරුවන්ට ක්ෂේත්රයට මඟ විවර කරමින්, සිනමා උලෙළ රැසක් සංවිධානය සඳහා උර දෙමින් මෙරට සිනමාවේ අභිවෘද්ධිය උදෙසා නිහඬ සේවයක් කරන අනෝමා රාජකරුණා නම් කලාකාරිනියට මිරර් ආට්ස් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන අතර ඉදිරි කටයුතු සාර්ථක වේවා යි පතන්නෙමු!
https://mirrorarts.lk/ar/news/6078-anoma-rajakaruna-merit-191129#sigProIdaeb2739bcd