lan englan tam

පුවත්

'මේ ගසට ගල් ගසන්න' සහෘද සම්භාෂණය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ලක්ෂාන් මධුරංගගේ කවිය සම්බන්ධයෙන් අපගේ අදහස සටහන් කරන්නට පෙරාතුව සමකාලීන සමාජ ආර්ථිකය විනිවිදිමින් ඔහු දක්වන මහා අපේක්ෂාව, ඔහුට සමකාලිකව ජීවත්වන ජනයාගේ පීඩාවෙන් වියුක්ත කරන්නටද නොහැකිය. ඒ කවි තුළ විචාරය කෙරෙන නොබිඳෙන සුලු ධෛර්ය යනු ඒසා මිනිස් ප්රජාවකගේ අනාගතවාදී අපේක්ෂාවයි. ලංකාවේ වාසය කරන මිලියන 22ක් ජනයා පමණක් නොව, වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අපේ කාලයේ මිනිස් පැතුමයි.

 මෑතකාලීනව කාව්ය කෘති සහ කවිය සම්බන්ධ පැන නැගුණ සංවාද අතරේ අඛණ්ඩව එන සංවාදයක් ලෙස කලාවේ සර්වකාලීනත්වය, විශ්වීයත්වය සහ(එරෙහිව) නිර්මාණයේ සමකාලික අදාළත්වය ප්රධාන එකක්. මේ ගැන න්යායිකව කෙරුණු සංවාද ගණනාවක් අපේ කලා විචාරය තුළත් තියෙනවා.

ඊයේ 'විදර්ශන' පොත් පියසේදී ලක්ෂාන් මධුරංග වික්රමරත්නගේ 'මේ ගසට ගල් ගසන්න' කාව්ය එකතුව සම්බන්ධ පැවති සම්භාෂනයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් පළ කළ අදහස් සමග ඒ ගැන නැවත සංවාදයක් මතුකර ගන්න පුළුවන්. ලක්ෂාන්ගේ කවිය සම්බන්ධ අදහස් පළ කිරීමේදී ආචාර්ය විජේසිරිවර්ධන පුෂ්කින්ගේ කාව්යයේ අනර්ඝත්වය ගැන කළ සඳහන සම්බන්ධයෙන් අදහසක් කෙටියෙන් සටහන් කරන්නට උත්සාහ කරමි. පුෂ්කින්ගේ කවි පිළිබඳ ඔහු පළ කළ අදහසට කිසිවකුට විරුද්ධ විය නොහැකියි. නමුත් පුෂ්කින් කියැවිය යුත්තේ රුසියාව තුළයි.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් හඳුන්වන්නේ රුසියානු මහා කවියා ලෙසයි. නමුත් කවියකු ලෙස සම්භාවනවාවට පත් වීමට ඔහුට හිමි වූ ජීවිතය ඔහු විසින් උපයාගත්තක් නොවෙන බව අවිවාදිතය. සාර් පවුලේ සමීප රදළයකුගේ පවුලේ පුත්රයකු වන මහා කවි පුෂ්කින් ලියුවේ රැසියාවේ මිලියන ගණනක් ජනතාව ප්රවේණි දාසයන්ව කැඹුරුමෙන් රුසියානු රදළයන්ට ගොඩ ගැසූ මහා ධනයේ අනුහස සහිතවයි. එවැනි මහා ධනස්කන්ධයක් සහිත පසුබිමක සුව පහසුව කවි ලියන්නට, විවේකී ජීවන පැවැත්මක් නොවී නම් පුෂ්කින් වැන්නකු රුසියාවේ බිහි වේදැයි සැක සහිතය.
පුෂ්කින් ජීවත් වූ කාලයේ රදළයන් විසින් පෞද්ගලිකව වහල්භාවයේ තබා ගත් ප්රවේනිදාසයන් සහ දාසියන් මිලියන 23ක් සිටි අතර රුසියානු රාජ්ය සතු ව තවත් මිලියන 18ක් දාසයන් සේවය කර තිබෙනවා. එපමණක් නොව, සාර්ට පමණක් හිමි ප්රවේනි දාසයන් ලක්ෂ 9ක් සිටි බව අමතක කරමින් ඔහුගේ කවිය ශ්රේෂ්ඨත්වයට පත් වූ සමාජ ආර්ථිකය, පුෂ්කින්ගේ නිර්මාණවල අනර්ඝත්වය තුළ අමතක කරන්නට නොහැකිය.
මුහුණු පොතේද යම් යම් සංවාද තුළ ලක්ෂාන්ගේ නිර්මාණ පළ වුණා සහ ඒ ගැන සංවාද කෙරෙමින් තිබෙනවා. කොහොමටත් ඒ සංවාදය වැදගත්. නිර්මානයක් සමාජගත වූ පසුව හුදු විඳීමකින් ඔබ්බට එය කිරා මැන බැලීම, විච්ඡේදනය කිරීම විසින් නිර්මානකරුවා වැය කළ ශ්රමයට ඇත්ත ඵලයක් ලැබී තිබෙනවාද, එහි සමාජ අගය කුමක්ද යන්න විමසා බැලිය හැකියි.
සමකාලීන සමාජ ආර්ථික දේහයෙන් ගලවා කිසිදු කලාවක්, කිසිදු ඉතිහාසයක් විග්රහ කිරීම මිනිස් ඉතිහාසයේ මහා දැනුම් සම්භාරයක් සමීප කරගන්නට පහසුකම් ඇති අපට තරම් නොවේ. ඒ සඳහා අවශ්ය වන්නේද මානව ප්රේමයයි. පුෂ්කින්ගේ අනර්ඝ කවියේ අනාගතවාදී උත්තරභාවය ඒ සා මහා වේදනාවන් විඳි පාගා දමන ලද මිනිස් සේනාවක් තුළින් බිහි කළ බව අමතක කරන්නට නොහැකිය.
සිනමාව, කවිය, නවකතා, කෙටිකතා ආදී වශයෙන් කලාත්මක ක්ෂේත්රවල වෙහෙසවන නිර්මාණකරුවන් සම්බන්ධ කරන අදහස් දැක්වීමේදී ඔවුන් විසින් අනුභූතිය බවට පත් කරගන්නා අත්දැකීම්, මගහැර ඔවුන්ව විනිශ්චයට ලක් කිරීම සැළකිය හැක්කේ ඒ නිර්මාණකරුවන්ගේ ශ්රමයට කරන මදිපුංචිකමක් ලෙසයි. මේ සටහන මුහුණු පොතේ තබද්දි මට මතක් කරන්න වුවමනා වුණේ යම් යම් නිර්මාණ සහ නිර්මාණකරුවන් සම්බන්ධයෙන් මුහුණු පොතේ අදහස් දක්වන සමහර සහෘදයන් ඒ ගැන සැළකිල්ලක් දක්වනවාද යන කාරණයයි. ඊයේ පැවති සංවාදයේදී අදහස් දක්වපු සුනිල් විජේසිරිවර්ධන, සුනිල් සෙනෙවි හා විදර්ශන වැනි සහෘදයන් මේ සීමාව ඉක්මවා යන්න, නැත්නම් බොහෝ දුරට මගහැර ගන්න සමත් වුණා කියන අදහස මේ සමග ලියා තැබිය යුතුයි.
 
චන්දන සිරිමල්වත්ත
Back to top
Go to bottom

Popular News