'මාතර ආච්චි' චිත්‍රපටයේ 'සඳකඩ පහණක' ගීතය හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි, සුභාවිත ගීතයේ මුදුන්මල්කඩ ලෙසින් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් හැඳින්විය හැකිය. අදවන විට ඔහු ගීත නිර්මාණ ඉදිරිපත් කිරීමේදී තරමක් නිහඬ බවක් උසුලයි. ඒ සම්බන්ධව හා වත්මන් සංගීත ක්ෂේත්රය පිළිබඳව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.
Q නවක තොරතුරු මොනවාද?
අලුතින් කියන්න තරමි විශේෂ දෙයක් නැහැ 'සඳකඩ පහණ' ප්‍රසංග මාලාව රට වටේ අරන් යන කටයුත්තේ තමයි නිරතවෙලා ඉන්නේ.
Q ඔබ අද ගීත නිර්මාණ ඉදිරිපත් නොකරන්නේ ඇයි?
අද සංයුක්ත තැටි කරනවා ගොඩක් අඩුයි. තනි තනි ගීත තමයි බොහෝ වෙලාවට ඉදිරිපත් කරන්නේ. එයට හේතුව තමයි අන්තර්ජාලයට අපගේ ගීත නිදහස් කරලා ඕන කෙනෙක්ට ලබාගත හැකි තත්ත්වයක් උදාකරලා තියෙනවා. මේ නිසා සංයුක්ත තැටි කළාට වැඩක් නැහැ. එයයි තියෙන ගැටලුව.
Q මේ සඳහා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගතහැකියි නේද?
තාම එහෙම දෙයක් ඇතිවෙලා නැහැ. එය එහෙම වෙන්න ඕන කියලා මමත් විශ්වාස කරනවා.
Q වත්මන් සංගීත ක්ෂේත්රය පිළිබඳව ප්‍රවීණයෙක් විදියට ඔබට හැඟෙන්නෙ කොයිවිදියටද?
70 -80 දශකවල බිහිවුණ ගීත අද බිහිවෙනවා ගොඩක් අඩුයි. ඉඳලා හිටලා තමයි එවැනි ගීත බිහිවන්නේ. එවැනි ගීතවල අඩුවක් මම දකිනවා.
Q නවකයන්ගේ ආගමනය සහ නව තාක්ෂණය නිසා ප්‍රවීණයන් සංගීතක්ෂේත්රයෙන් ඈත් වී ඇති බවට ඇතැමුන් පවසනවා. ඔබත් මෙයට එකඟද?
ඔව්බොහෝ වෙලාවට තාක්ෂණයත් එක්තරා හේතුවක් වෙනවා. මොකද ළිදෙන් වතුර බාල්දියක් ඇදගෙන නාන එකෙයි, නාන කාමරේ නාන කෙනාගෙයි වෙනස වගේ තමයි මම දකින්නේ. උදාහරණයක් විදියට ඒ දවස්වල ගීත පටිගත කළේ සංගීතය සමගයි.
නමුත් අද නව තාක්ෂණයත් එක්ක හඬ වෙනමයි, සංගීතය වෙනමයි පටිගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. පහසුයි තමයි. නමුත් පහසු වුණාට ගීතයක් පටිගත කිරීමේක්රියාවලියේ ක්‍රමනුකූලව ශිල්පියෙක් වශයෙන් ලැබෙන අත්දැකීම් සමුදාය නොලැබී යන තත්ත්වයක් මම දකිනවා.
Q ගුවන්විදුලි නාළිකා මුදල් පරමාර්ථයෙන් යම් යම් ගීත ජනප්‍රිය කිරීමට පෙළඹී ඇති බවට චෝදනාවක් තියෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස?
ඒ වගේ කතාබහක් තියෙනවා. නමුත් මම දන්නෙ නැහැ එය කෙතරම්දුරට ඇත්තක්ද කියලා. මමත් අනුමාන කරනවා එහෙමත් ඇති කියලා.මේ තුළින් දක්ෂ පුද්ගලයා යට යෑමක් සිදුවෙනවා. සල්ලි තියෙන කෙනා පමණක් උඩට එනවා. එය සාධාරණයි කියලා මම හිතන්නෙ නැහැ.
Q අමරදේව මාස්ටර් නික්මයෑමත් සමග සංගීත ක්ෂේත්රයේ යම් හිදැසක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය ඔබ ඇතුළු ප්‍රවීණයන්ට පිරවිය හැකිද?
කොහෙත්ම බැහැ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත සහ අමරදේව කියන මේ පුද්ගල නාමයන් එක්තරා යුගයක් නිර්මාණය කරපු යුග පුරුෂයන් ලෙසින් තමයි මම නම් කරන්නේ. තනි පුද්ගලයෙක් ලෙසින් සංගීත ක්ෂේත්රයට මහා විශාල සේවයක් කරපු තිදෙනෙක්. ඉතින් එතකොට ඒ හිදැස පුරවන්න එතනට කිට්ටු වෙන්න තවම කවුරුත් නැහැ.
Q ඔබ රඟපෑම පැත්තට යොමු වෙන බවට පසුගිය කාලයේ යම් කතාබහක් තිබුණා එහි සත්‍ය අසත්‍යතාවය කෙසේද?
නෑ එහෙම නැහැ. මගේ බලාපොරොත්තුවකුත් නැහැ. එය කටකතාවක් පමණයි.
Q ප්‍රවීණ ශිල්පීන් බොහොමයක් අද අසරණව සිටිනවා.මේ අය පිළිබඳව සොයා බලන්න රජය හෝ වෙනත් ආයතනයක් නොමැතිවීම සංගීත ක්ෂේත්රයේ ඛේදවාචකයක් නේද?
පසුගිය කාලයේ එහෙම තත්ත්වයක් තිබුණා. දැන් ඒකට කටයුතු කෙරීගෙන යනවා. කලාකරුවන්ම සංවිධාන බිහිකරගෙන අසරණ කලාකරුවන් රැක ගැනීමේ සටනක නියැළෙනවා. රජය පැත්තෙන් එයට හයියක් වෙනවා නම් වටිනවා. නමුත් එය නිසියාකාරව සිදුවෙන්නේ නැහැ.
Q අද බොහොමයක් ශිල්පීන් රිගින් ටෝන් ආයතනවල ඉල්ලීමට ගීත කරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොයි විදියටද?
ගීත නිර්මාණයක් කියන්නේ බොහොම පිවිතුරු දෙයක්. ගීතයක් අර්ථ රස, භාවරස කියන ගුණාංගයන්ගෙන් පරිපූර්ණ විය යුතුයි. එතැනදී මුදල් පර්මාර්ථයෙන් ගීත නිර්මාණ කරනවා නම් අර රස ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ඉලක්ක කරගෙන ගීත නිර්මාණය කළාට වැඩක් නැහැ.
Q ඉදිරි සංගීත වැඩකටයුතු මොනවාද?
මගේ අනන්‍යතාවයක් තියෙනවනේ. ඒ අනන්‍යතාවය ඔස්සේ හොඳ ගීත ටිකක් තෝරගෙන ඉදිරියේදී සංයුක්ත තැටියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
Q ක්ෂේත්රයට පිවිසීමට සිටින නවකයන්ට ප්‍රවීණයෙක් විදියට ලබාදිය හැකි උපදෙස කුමක්ද?
සමාජය නමැති විෂම රෝගයට කලාව කියන්නේ ඖෂධයක්. එයින් සංගීතය හරි ප්‍රබලයි. ඒ ගීතයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන සමාජයට වටිනාකමක් වන අයුරින් අර්ථ රස, භාව රස අනුව ගීත ගයන්න පෙළඹෙනවා නම් වටිනවා. එහෙම කරද්දී මුදල් පසුපස හඹාගෙන යන්න අවශ්‍ය නැහැ. මුදල් ලැබෙනවා. අපේ රටේ හොඳ රසික පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණ කීයක් හරි දීලා මිලදී ගන්න. ඒ නිසා හොඳ නිර්මාණ කරන්න කියලා තමයි මම ඒ අයට කියන්නේ.
Q සඳකඩ පහණප්රසංග මාලාව තව කොතෙක් කලක් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවාද?
අපි මේ වෙනස් වෙන ලෝකෙක තමයි උපත ලබා තිබෙන්නේ. වයසට යනවා, ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා නිශ්චිත කාල වකවානුවක් කියන්න බැහැ. පුළුවන්තාක්කල් ගීත ගායනයේ නියැළෙන්න තමයි අදහස් කරලා තියෙන්නේ.