මං ඉන්නකල් කොයිතරම් පාඩු ලැබුවත් සුජිකලා නම් නවත්වන්නෑ.
වෙසක් කාඩ් මට බිස්නස් එකක් ම නෙවෙයි
රාජගෝපල් බාලසුන්දරම් / සභාපති - සුජිකලා වෙසක් පත්
වෙසක් කාඩ් කලාව නැති කරගන්න එක හරි තියාගන්න එක හරි තියෙන්නෙ බෞද්ධයන්ගෙ අතේ. වෙසක් කාඩ් එකක් යවන පුරුද්ද ළමයින්ට ඇති කරන්න ඕනෑ දෙමවුපියෝ.
මෙරට වෙසක් කාඩ් කලාවේ බල අධිකාරිය එකල තිබුණේ දෙමළ ව්‍යාපාරිකයන් අතේ බව බොහෝ දෙනාගේ මතයකි. එහෙත් ලාභය අඩු ව්‍යාපාර සඳහා සිංහල ව්‍යාපාරිකයන් අත නොගැසූ හේතුව ඒ පිටුපස තිබූ ප්‍රධාන සාධකය බව බොහෝ අය නොදනිත්. ලාභය අඩුවීගෙන යන බව දැන දැනත් වෙසක් කාඩ් ව්‍යාපාරය අත් නොහළ කලෙයිමගල් සහ සුජිකලා අපට සැපයූවේ ‘සංහිඳියාව’ට ආදර්ශයකි. අද කලෙයිමගල් නම් ව්‍යාපාරයක් මෙරට නැත. ඇත්තේ ඉපැරැණි සුජිකලා සහ ඉන් පසුව බිහිවූ තවත් ව්‍යාපාර කිහිපයක් පමණි. සුජිකලා හැදූ බාලසුන්දරම් මහතා, මේ ආවර්ජනය කරන්නේ ඒ සොඳුරු අතීතයයි.
සිංහල බෞද්ධයන්ට වෙසක් කාඩ් හදන ඔබ දෙමළ...
ඒක තමයි අපේ බැඳීමත්. 1973 පටන් අද දක්වා නොනවත්වාම වෙසක් කාඩ් හදන එකම කොම්පැනිය, ‘සුජිකලා’. අද වෙනකොට පාඩු පිට වුණත් මං කාඩ් හදනවා. මොකද සුජිකලා නම පවත්වගෙන යන්න ඕනෙ නිසා.
ඒ කාලෙ පටන් වෙසක් කාඩ් හැදුවෙ දෙමළ කොම්පැනි නේද...
ඔව්. කලෙයිමගල් තමයි ඒ කාලෙ වැඩිම කාඩ් ගහපු කොම්පැනිය. ලක්ෂ විසිපහ තිහ කාඩ් ගහපු කාලයක් ඒක. ඒ කාඩ් වැඩිපුරම ගියේ දකුණු පළාතට. යාපනේට, රට මැදට වැඩි ඉල්ලුමක් නැහැ. වැඩිම කාඩ් යැවුවේ දකුණේ මිනිස්සු. වැඩිම කවි එව්වෙත් දකුණෙ අය.
එතකොට කොහොමද සුජිකලා බිහිවෙන්නේ...
1973 වෙනකොට වෙසක් කාඩ් කර්මාන්තය ගැන මං හැමදේම දන්නවා. මිනිස්සු හඳුනනවා. මාකට් එක දන්නවා. මට ඕනෙ වුණා මගේම බිස්නස් එකක් පටන්ගන්න. එකතු කරපු මුදලකුත් අතේ තිබුණා. මං කලෙයිමගල් එකෙන් අයින් වෙන්න තීරණය කළා. මුදලාලි මට අවවාද කළා. ‘අයින් වෙනවානම් තමන්ගෙම බිස්නස් එකක් කරන්න. අනුන් යටතේ තවත් වැඩ කරන්න එපා ඔයා දක්ෂයි...’ එයා හරි හොඳ මනුස්සයෙක්. ඩීමන් මා එක්ක එනවටත් එයා තරහ වුණේ නැහැ. අන්තිමේ ඛෙත්තාරාමේ බෝධිරාජ මාවතේ පොඩි තැනක් කුලියට අරන් ඩීමනුත් මාත් සල්ලි දාලා ‘සුජිකලා’ ආරම්භ කළා.
ඔබට තිබුණනේ ඔබේ වෙසක් කාඩ් ව්‍යාපාරයට දෙමළ නමක් දාන්න...
මම කලෙයිමගල් එකෙන් අයින් වෙනකොට ඩීමනුත් මාත් එක්ක ආවා. අපි දෙන්නා කතා කරලා තමයි ‘සුජීකලා’ නම හැදුවේ. නම ළඟින්ම ‘සරස්වතී’ දේවිගේ රූපෙ ලෝගෝ එක විදිහට දැම්මා. ඒක සිංහල - දෙමළ අපි දෙගොල්ලටම පොදු නමක්. ඒ නමට මිනිස්සු ආසා කළා. නම ජනප්‍රිය වුණා ‘සුජිකලා වෙසක් කාඩ්’ නමින්ම තමයි ඒ කාලෙ මිනිස්සු ඉල්ලුවෙත්. සත පහෙන් දහයෙන් පටන් ගත්තම වැඩිම කාඩ් එකේ මිල වුණේ රුපියල් දෙකයි.
කොයිතරම් ප්‍රාග්ධනයක් වැය කළාද...
මට මතක නැහැ. පොඩි ගානක්. ඒ කාලෙ ඩීමන්ගෙ පිටු 96ක පොකට් සයිස් කතා පොතක් සත 75 යි. එහෙත් සේරම අච්චු ගැහුවේ කලෙයිමගල් ප්‍රෙස් එකේමයි. එයා පොත් ලියපු සල්ලි දැම්මා. මාත් එකතු කරපු සේරම සල්ලි දැම්මා. පොඩි මැෂිමක් තියාගෙන වැඩේ පටන්ගත්තා. පිටිනුත් අච්චු ගැස්සුවා. පස්සෙ බැංකු ණයක් අරගෙන ලොකු ජර්මන් මැෂිමක් ගත්තා.
කොහෙන්ද කාඩ් බෝඩ් ගෙනාවේ...
ඉන්දියාවෙන් චීනෙන් කොළ ගෙන්වන බායිලගෙන්, වාලච්චෙනෙ කඩදාසි කම්හලේ හදපු කොළේ කාඩ්වලට හරි ගියේ නැහැ. සුදු බ්‍රිස්ටල් කාඩ් බෝඩ් රීම් හැටියට තමයි ගත්තෙ. ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමයට තමයි කාඩ් හැදුවේ.
හැමදාම වෙසක් නැහැනේ, අනික් කාලවල මොකද කළේ...
වෙසක් එකට කාඩ් ලක්ෂ පහළොවක් විසිපහක් ගහපු කාල තිබුණා. ඉස්කෝල ළමයි අතර හුවමාරු වෙච්චි පොඩි කාඩ්වලට තමයි ලොකුම ඉල්ලුමක් තිබුණෙ.
ඒ කාලෙ අද කවිවලට වඩා වෙනස්ද...
අද කාඩ්වල ලියැවෙන්නෙ පොදු කවියක් විතරයිනේ. ඉස්සර අම්මට - තාත්තට, නැන්දට - මාමට, පෙම්වතාට - පෙම්වතියට, දුවට - පුතාට, ආච්චිට - සීයට, යාළුවට - යෙහෙළියට... වෙන වෙනම කවි ලියැවුණා. වෙන වෙනම කාඩ් ගැහුවා. එහෙම කවි වර්ග 40ක් ලියැවුණා. කාඩ් වර්ග 40ක් ගැහුවා. අද කවි සහ කාඩ්, කාටත් එකයි.
අද වෙසක් කාඩ් කලාවෙන් මිනිස්සු ඈත්වෙලා නේද...
මොබයිල් ෆෝන් ආවත් හරි SMS නිසා කාඩ් කලාව විනාශ වුණා. හැමෝම ෆෝන්වලින් කාඩ් යවනවා. නත්තල් කාඩ් ඉල්ලුම එහෙම පිටින්ම නැතිවෙලා. අලුත් අවුරුදු කාඩ්වලටත් ඒ ආනිසංසෙමයි. වෙසක් කාඩ් විතරයි යාන්තම්හරි රැකිලා තියෙන්නෙ.
එතකොට දීපාවලි කාඩ් ගැහුවෙ නැද්ද...
මොකද නැත්තෙ. 83ට කලින් දීපාවලි සහ පොංගල් කාඩ්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. යාපනේට වතුකරයට කාඩ් ලක්ෂ ගණනින් යවපු කාලයක් තිබුණා. අද ඒ කාඩ් කවුරුවත් ගහන්නෙත් නැහැ. කවුරුවත් අහන්නෙවත් නැහැ. එහෙම කාඩ් තිබුණා කියලා අද දෙමළ පරම්පරාව දන්නවද දන්නෙත් නැහැ.
සුජිකලා වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වූ කාලය මතකද...
1973 ඉඳන් 1990 විතර වෙනකල් රෑ මැදියමෙත් මං වැඩ කළා. බිස්නස් එක මගේ කියලා සේවකයෝ කරනකල් බලා හිටියෙ නැහැ. මාත් මැෂිමෙ වැඩ කළා. කාඩ් නැව්වා. පාර්සල් කළා. ඩීමන් මහත්තයත් මැරෙනකල්ම මාත් එක්ක වැඩ කළා. ඔය 73 - 90 කාලෙ තමයි අපි මැරීගෙන වැඩ කළේ. වෙසක් කාලෙට කාඩ් ලක්ෂ දහය පහළොව ගහපු කාලයක් ඒක.
වෙසක් කාඩ්වලට චිත්‍ර වෙනුවට ෆොටෝ ආපු කාලය මතකද...
ඒ කාලෙ චිත්රවලට තමයි මිනිස්සු ආසා කළේ. දීපාවලි සහ පොංගල්වලට නම් දෙයියන්ගෙ පොටෝ පින්තූර ඇතුළත් කළා. නමුත් වෙසක් කාඩ්වල තිබුණෙ බෞද්ධ කතා, ජාතක කතාවල එන ලස්සන සිදුවීම් චිත්‍රයට නඟලා. චිත්‍ර ශිල්පීන්ටත් හරියට වැඩ තිබුණා. පස්සෙ පස්සෙ බුද්ධ රූපවල ෆොටෝ ආවා. අපි පාවිච්චි කළේ පොඩි ළමයි මල් පූජා කරන ෆොටෝ සහ බුද්ධ රූපවල ෆොටෝ විතරයි.
ඒ වුණාට පස්සෙ කාලෙක නොගැළපෙන පිංතූර ප්‍රේම ජවනිකා, ජෝඩු පිංතූර වෙසක් කාඩ් කලාව ගිලගත්තනේ...
එහෙම කාලයකුත් උදාවුණා. හැබැයි කලෙයිමගල්වත් සුජිකලාවත් කිසි දවසක ජෝඩු පිංතූර කාඩ්වලට යෙදුවෙ නැහැ. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. ඒ ඔය ප්‍රේම ජෝඩු ඉන්න කාඩ් වැඩිපුරම විකිණුණේ තරුණ තරුණියන් අතර. එතැන වෙසක් හෝ බුද්ධාලම්භන ප්‍රීතියක් තිබුණෙ නැහැ, නමුත් හොඳට විකිණුණා.
කලෙයිමගල් සමාගමට මොකද වුණේ...
ඒ කාලෙ වැඩිම කැලැන්ඩර් - ඩයරි ගහපු වෙසක් කාඩ් ගහලා වාර්තා තබපු කලෙයිමගල් සමාගම, මුදලාලිගෙ මරණෙත් එක්කම අභාවයට ගියා. එයාගේ දරුවො, බිස්නස් එකට ආවෙ නැහැ, ඒ අය ඉන්දියාවේ. අද ඒ නම, මතකයක් විතරයි.
ඇයි ඒ දවස්වල වෙසක් කාඩ් ව්‍යාපාරය සිංහල ව්‍යාපාරිකයන් අත නොගැහුවේ...
මේක හුඟක් මහන්සි වෙන්න ඕනෙ ව්‍යාපාරයක්. හැබැයි වැඩි ලාබ නැහැ, ඊළඟට රට වටේ ගිහින් ඕඩර්ස් ගන්න ඕනේ. ඒවා බස්වල කෝච්චිවල දාලා ඈත පළාත්වලට ඩිලිවරි කරන්න ඕනේ. ඔක්කොම බැලුවම මහන්සිය වැඩියි. ලාබේ අඩුයි. ඒ නිසා වෙන්න ඇති.
දැන් කොයිතරම් වෙසක් කාඩ් ප්‍රින්ට් කරනව ද...
නම පවතින්න කරනවා මිස දැන් කාඩ් ගහන එක පාඩුයි. ඇත්තටම මේක කරන්නෙ ඇඟේ තියෙන ආසාවට. මගෙන් පස්සෙ මේක කරන්න කෙනෙකුත් නැහැ.
ඇයි ඔබේ දරුවෝ...
මට ඉන්නෙ එක පුතයි. එයා ඉන්දියාවෙ කෙමිකල් ඉංජිනියර් කෙනෙක්. මේ බිස්නස් එක පාඩු ලබන නිසා මං කරනවටත් එයා කැමැති නැහැ. දැන් මං අසනීපෙන්.
එතකොට ‘සුජිකලා’ නම...
මං ඉන්නකල් බිස්නස් එක කරනවා. මට හිතුණොත් හොඳ කෙනෙක් හම්බ වුණොත් සිංහල කෙනකුට හරි කමක් නැහැ, මේ නම දෙනවා. මට ඕනෙ මේ නම පවතින්නයි.
ඇයි ඔබ ව්‍යාපාරය පුළුල් නොකළේ...
මේක හොඳට කෙරුණු ව්‍යාපාරයක්. මං කොහොමටත් වැඩි තණ්හාවට කැමැති කෙනෙක් නෙවෙයි. අනික හොඳ සේවකයෝ හොයාගන්න තියෙන අමාරුව. සමහර සේවකයෝ තීන්ත ටින් පවා හොරකම් කළා. කොයිතරම් හොඳින් සැලකුවත් හොරකම් කරන සේවකයෝ හිටියොත් ව්‍යාපාරයක් වැටෙනවා.
ඔබේ ගනුදෙනුව හැමදාම තිබුණෙ සිංහල සමාජෙත් එක්ක. එහෙම නේද...
ඔව්. 83 කලබල කාලෙත් මං හිටියේ කොළඹ. මට කිසි කරදරයක් කළේ නැහැ. හාමුදුරුවරු මගේ යාළුවෝ. ඉන්දියාවට ගියාම මං නිතර බුද්ධගයාවට යනවා. මට කියවන්න බැරි වුණාට හැම කවියක්ම මං කාටහරි කියලා දැනගන්නවා. මං දෙමළ වුණාට ආගම හින්දු වුණාට සිංහල බෞද්ධකමට මං කැමැතියි.
මේක ඔබට බිස්නස් එකක් වගේද...
කාඩ් එක ගහලා ඉවර වෙනකල් මට බිස්නස් එකක්. ප්‍රින්ට් කරලා ඉවර වුණාම මං ඒක පෙරළලා බලලා අතපත ගාලා හුඟක් සතුටු වෙනවා. බුද්ධාගමේ මිනිස්සු වෙසක් කාඩ් යවන්න ඕනේ. ඒවා පෙරළලා අතගා බලන්න ඕනේ. ඒ කවි කියවන්න ඕනේ. මේ දේවල්වලින් ඒ අය ඈත්වෙන එක මට දුකයි.
ඔබේ ගම්පළාත කොහේද...
බදුල්ලෙ, නෙල්බැද්ද වතුයායෙ. තාත්තා වත්තක ගිණුම් වැඩ කළා. අම්මත් වත්තෙ වැඩ කළා. අයියලා හතර දෙනෙක් අක්කලා දෙන්නෙක් ළඟට මං. මට පස්සෙ නංගි. ගෙදර අගහිඟකම් තිබුණා. ඒ නිසා කිසි දේකට ගෙදරින් සල්ලි ඉල්ලන්න මට හිතුණෙ නැහැ. ඉල්ලුවත් දෙන්න, ඒ අයට තිබුණෙත් නැහැ.
එතකොට ඔබ පාසල් ගියේ...
මේ අගහිඟකම් නිසාම අවුරුදු හයේදී වැල්ලවත්තට බැඳලා හිටපු මගේ අක්කා මාව ගෙදරින් එක්ක ආවා. මං ගියේ කොටහේනේ ජිංතුපිටියේ සෙන්ට්‍රල් කොලේජ් එකට. අක්කලාට ගෑස්පහ හන්දියේ කඩයක් තිබුණා. ඒ කඩේට එන ගමන් මාව ඉස්කෝලෙට ඇරලුවා.
ඔබ හොඳින් ඉගෙන ගත්තද...
මං පස්වැනි පන්තියෙන් ඉස්කෝල ගමන නැවැත්වූවා. මට ඕනෙ වුණේ කීයක් හරි හම්බ කරන්න. මං පොඩි පොඩි වැඩ කළා. මං යාළුවෙක් ළඟට ගිහින් පින්තූර රාමු කරන්න ඉගෙන ගත්තා. ඊළඟට ගෙදර ගෙනැත් සරස්වතී රූප, කතරගම දෙයියන්ගෙ පින්තූර රාමු කළා. ඒවා අරන් ඉරිදා - සෙනසුරාදා පොළවල්වලට ගියා.
හොඳින් ඉගෙන ගෙන උඩට යන්න අරමුණක් සිහිනයක් තිබුණෙම නැද්ද...
හීන තිබුණට සල්ලි තිබුණෙ නැහැ. අක්කලා මට කන්න බොන්න දෙන්නෙ උගන්වන්නෙ අමාරුවෙන් බව මම දැක්කා. ඉගෙන ගන්න ආසා වුණත් ඉස්කෝලෙ ගමන අත්හැරලා පේව්මන්ට් එකට බැස්සෙ ඒ නිසා.
අවුරුදු දොළහක දහතුනක පුංචි කොල්ලෙක්. හම්බ කළාට ඉතිරි කරන්න දැනගෙන හිටියද...
දුර පළාත්වල, පොළවල්වලටත් යන්න පුරුදු වුණාම මං සෑහෙන්න හම්බ කළා. ඒ සල්ලි මං නැවතිලා හිටි අක්කලගෙ ගෙදර, අක්කවත් නොදන්න තැනක හංගලා ටික ටික එකතු කළා. ඒ සල්ලි ටින් එක තමයි මගේ බැංකුව. ටික ටික ලොකු වෙනකොට අම්මටත් සල්ලි යැවුවා. සල්ලිවල වටිනාකම දැනෙන්න ගත්තම මං වැඩියෙන් වැඩ කළා. පුළුවන් හැම දවසකම මස්සිනාගෙ පත්තර කඩේ පත්තර, ගෙවල්වලට බෙදුවෙත් මං. ඒකෙනුත් පොඩි ගානක් හම්බ වුණා.
එතකොට ‘වෙසක් කාඩ්’ කර්මාන්තයට හිත යන්නෙ කොහොමද...
මං හැමදාම කලෙයිමගල් මුදලාලිගෙ ගෙදරටත් පත්තරේ බෙදුවා. එතකොට මට අවුරුදු දහඅටක් විතර ඇති. මගේ කඩිසරකම දැකලා මුදලාලි පැහැදුණා. එයා ළඟට වැඩට එන්න කිව්වා. ඒ කාලෙ කලෙයිමගල් තමයි ලංකාවටම වෙසක් කාඩ් හැදුවේ.
මොනවද ඔබ ඒ කර්මාන්තය ගැන දැනගෙන හිටියේ...
මොකුත් නැහැ. මං මුලින්ම දුන්නෙ ප්‍රෙස් එකේ අච්චු ගහන කාඩ්, නවන්න. පාර්සල් බඳින්න. ටික ටික මං හැම අංශයේම වැඩ අල්ලා ගත්තා. එතැනට ආපු කවියෝ, චිත්‍ර ශිල්පියෝ අඳුරගත්තා. ඒ හැමෝම වගේ සිංහල අය.
කවුද ඒ කාලෙ කලෙයිමගල් ආපු ප්‍රසිද්ධ කවියෝ චිත්‍ර ශිල්පියෝ.
..
මට දැන් වයස හැත්තෑවක්. කරුණාරත්න අබේසේකරගේ නම මතකයි. අනෙක් නම් දැන් මතක නැහැ. කවි හුඟක් තැපෑලෙන් ආවා. ප්‍රසිද්ධ කවින්ට සල්ලි ගෙවුවට, තැපෑලෙන් එන අයට ගෙවීමක් කළේ නැහැ. මොකද ඒ අයට ඕනෙ වුණේ කවිය පළ කරවා ගන්න. පස්සෙ ඒ කවිවලින්ම නමක් හදාගත්තු අයත් හිටියා.
ඒවා තේරුවෙ, මාරක කතා ලියපු ප්‍රසිද්ධ ලේඛක ඩීමන් ආනන්ද මහත්තයා. මම එන්නත් කලින් ඉඳලම ඩීමන් කලෙයිමගල් එකේ වැඩ කරමින් හිටියේ. එයයි මායි බොහොම හිතවත් වුණා.
එයාගේ යාළුවා විජය කුමාරතුංග. අපි දෙන්නා නිතර විජයගෙ ගෙදර ගියා. ගේ ඇතුළෙ එහෙ මෙහෙ ගියාට චන්ද්‍රිකා නෝනා නම් අපි එක්ක කතාබහ කළේ නැහැ. ඒ වුණාට අපි විජය එක්ක කෑවා බිව්වා. හුඟ වෙලා කතා කර කර හිටියා. විජය හරි හොඳ කෙනෙක්.
අද පවතින වෙසක් කාඩ් කලාව ගැන ඔබ සතුටුද...
නැහැ. ඒ කාලෙ බෞද්ධ කතාවක් තමයි හැම වෙලාවෙම කාඩ්වල චිත්‍රයට නැඟුණේ. ඒ චිත්රවල රේඛාවක පවා වර්ණවල පවා හරි ලස්සනක් තිබුණා. දැන් කොම්පියුටරේ දිග ඇර ගත්තම ෆොටෝ, පින්තූර සියයක් හරි ඩවුන් ලෝඩ් කර ගත්තැකි. ඒකෙන්ම වර්ණ වෙනස් කළෑකි. බුද්ධ රූප වෙනුවට ප්‍රේම ජවනිකා දාගත්තෑකි. නමුත් එදා කාඩ් එකක මම දැකපු ලස්සන, ගැඹුර එතැන නැහැ. හැම දේම වෙනස් වෙලා. තව ඉස්සරහට මේ තියෙන ටිකත් නැතිවෙලා යාවි. හැබැයි මං ඉන්නකල් කොයිතරම් පාඩු ලැබුවත් සුජිකලා නම් නවත්වන්නෑ. මේ කලාව නැති කරගන්න එක හරි තියාගන්න එක හරි තියෙන්නෙ බෞද්ධයන්ගෙ අතේ. ළමයින්ට වෙසක් කාඩ් යවන පුරුද්ද ඇතිකරන්න ඕනෑ දෙමවුපියෝ.
ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද...
මං වතුකරයෙ දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. මං කොළඹ ඇවිත් ජීවත්වීමේ කලාව ඉගෙන ගත්තා. සිංහල බෞද්ධයන්ට වෙසක් කාඩ් හදන කලාවත් ඉගෙන ගත්තා. මගේ මුළු ජීවිතයම වගේ ගෙවුණෙ වෙසක් කාඩ් වෙනුවෙන්. මේක හරිම සුන්දර බිස්නස් එකක්. හැබැයි සල්ලිම හොයන අයට නෙවෙයි. ජාතිය ආගම කුලමල කරදර මට කවදාවත් තිබුණෙ නැහැ. මොකද ඕනෑම ජාතියක ආගමක සුන්දරකම දකින්න මට පුළුවන් වෙච්චි නිසා.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප විමල් කරුණාතිලක