ITN සභාපති සමන් අතාවුදහෙට්ටි
මීට වසර 38කට පෙර මෙරටට අලුත් අවුරුද්ද උදා වූයේ වෙන කිසිදාක නොවූ විරූ නැවුම් අත්දැකීමක් එක් කරමිනි. ඒ අප රටේ පුරෝගාමී රූපවාහිනී මධ්‍යස්ථානය ලෙස සැලකෙන ස්වාධීන රූපවාහිනී සේවය 1979 අප්‍රේල් 13 වැනිදා ආරම්භ කිරීමත් සමඟය. කිලෝ වොට් එකක සම්ප්‍රේෂණාගාරයක් සහ අඩි 65ක ඇන්ටනා කුලුනකින් කොළඹ අවට සැතපුම් 15ක් තරම් කෙටි දුරක වෙසෙන ග්රාහකයන් පිරිසකට පමණි එය නැරඹීමට හැකි වූයේ. කෙටි කලකින් සම්ප්‍රේෂණයේ සහ තාක්ෂණයේ විශාල වර්ධනයක් සමඟ රටේ වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන නාළිකාව බවට පත්වූ ITN නාළිකාවේ 38 වැනි සංවත්සරයේදී අනාගත සුබ නිමිති දකින්නේ කෙසේදැයි වත්මන් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් මෙසේ විමසමු.
• රූපවාහිනී මාධ්‍ය ආරම්භය සමඟ සසඳන විට වසර 38ක් යනු නාළිකාවකට දිගු කාලයක්. ඒ සංවත්සරය වෙනුවෙන් ITN නාළිකාව අනාගතයට තැබූ පියවර කෙසේද?
ITN එක හැමවිටම අලුත් දේවල් කරන නාළිකාවක්. අපේ ගමන දෙස බැලූ විට අත් කරගත් ජයග්‍රහණ මෙන්ම දුර්වලතා තිබෙනවා. අප උත්සාහ කරන්නේ ඒ අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න වගේම ලැබූ ජයග්‍රහණ වැඩි කරගැනීමටයි.
• මේ වන විට රූපවාහිනී නාළිකා විශාල සංඛ්‍යාවක් අප රටේ ක්‍රියාත්මක වනවා. ITN මෙරට පළමුවැනි නාළිකාව ලෙස මෙයට මුහුණ දෙන්නේ කෙසේද?
ITN වගේ නාළිකාවක් හුදු වාණිජ පරමාර්ථ මතම පවත්වාගෙන යන්න බෑ. මොකද: ජාතික නාළිකාවක් ලෙස අප දැරිය යුතු වගකීම් සම්භාරය එක අතකින් දරනවා. අනෙක් අතට වාණිජමය අතින් අප යම් සාර්ථකත්වයක් දැරිය යුතුයි, නාළිකාව පවත්වාගෙන යෑමට. මොකද: රජයේ නාළිකාවක් යැයි කීවත් රජයෙන් කිසිම ප්රතිපාදනයක් මේ ආයතනය පවත්වාගෙන යන්න ලැබෙන්නේ නෑ. ITNඑක පවතින්නේ එය විසින් හම්බ කරගන්න මුදල් මඟින් පමණයි. ඒ මුදල්වලින් කොටසක් අපි රජයටත් ගෙවනවා.
ඒ වගේම පසුගිය වකවානුවේ මේ ආයතනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබුණේ. එයින් මේ ආයතනය මුදාගෙන යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් අපට සිදු වෙලා තිබෙනවා.
• මේ වන විට ඒ දේශපාලනික බලපෑම්වලින් ආයතනය මුදාගන්නට හැකියාව ඔබට ලැබී තිබෙනවාද?
අප එය මේ වන විට කර ඇති බව නාළිකාව නරඹන ප්‍රේක්ෂකයන්ට දැනී තිබෙනවා. එහෙත් එය එක දවසින් කළ හැකි දෙයකුත් නොවේ. අනෙක දේශපාලනිකකරණය පමණක් නොවේ, මේ ආයතනය එක්තරා ආකාරයක පෞද්ගලිකකරණයකටත් ලක් වී තිබුණා. එය අප දකින සාමාන්‍ය ආයතන පෞද්ගලිකකරණය නොවේ. මේ ආයතනවල රැකියා දීමේදී, උසස්වීම් දීමේදී හා බඳවාගැනීම්වලදී එක්කෝ දේශපාලනය නැත් නම් පෞද්ගලික හිතවත්කම් බලපා තිබුණා. එවැනි ආයතනය තුළ ඇති දේශපාලනිකකරණය හා පෞද්ගලිකකරණය යන කරුණු දෙකම අප ඉවත් කරමින් සිටිනවා.
• ITN ආයතනයට ගුවන්විදුලි නාළිකාත් අයිතියි?
ඔව්. අපට රූපවාහිනී සේවා දෙකක් සහ ගුවන්විදුලි සේවා දෙකක් තිබෙනවා. 'ITN' නාළිකාව සහ 'වසන්තම් ටීවී' යන රූපවාහිනී නාළිකා - එය ඇතුළත අප 'ප්‍රයිම් ටීවී' කියලා ඉංග්‍රීසි ප්රවෘත්ති විකාශයකුත් කරගෙන යනවා අවස්ථාවේ හැටියට. ඒ වගේම 'ITN fm' සහ 'වසන්තම් fm' ගුවන්විදුලි නාළිකා. ඒ හතර ගැනම අපේ අවධානය එක විධියට යොමු වෙනවා.
• කතාවක් තිබුණා ITN, සේවකයන්ගේ වැටුප් ආදිය ගෙවන්න බැරි තරම් පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා කියලා?
මම දැනුම්වත්ව සේවකයන්ගේ වැටුප්වලට බලපෑමක් වෙලා නෑ. හැබැයි ITNඑකේ අාර්ථිකය පිළිබඳ විශාල ගැටලුවක් තිබුණා. 2014න් පසු ITN ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබුණා. එයට හේතු ගණනාවක් තිබුණා. අප ආපසු ඒ තත්ත්වයට තිරිංගයක් දාලා පහළ වැටීමේ ප්‍රවණතාව වළක්වාගෙන තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ආපසු ආදායම් ඉහළ දැමීමේ ප්‍රවණතාවක්. දේශපාලනීකරණය මතින් වාණිජ සාර්ථකත්වයකට යෑමට අප උත්සාහ කරන්නේත් නෑ. අනෙක නාළිකාවක් ලෙස අප අලුතින් අනුගමනය කරන ප්‍රතිපත්ති වගයක් තිබෙනවා. ඒවා ජනප්‍රිය ප්‍රතිපත්ති නොවේ. අප ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනවා. ලංකාවේ එය ජනප්‍රිය ප්‍රතිපත්තියක් නොවේ. අප ප්රජාතන්ත්රවාදය, මානව නිදහස වෙනුවෙන් වගේම මාධ්‍ය ආචාරධර්ම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒවා සියල්ල ජනප්‍රිය මාතෘකා නොවේ. ITNඑකේ කිසිම විටෙක අර්බුදයට ලක් වූ කුඩා දරුදැරියන්ගේ රූප, ලේ, මළ මිනී වැනි දේ පෙන්වන්නේ නෑ. මේවා අන්තර්ජාතික මාධ්‍ය ආචාරධර්ම; හැබැයි ජනප්‍රිය නෑ. මොකද: අපේ ජනතාවට එය ආගන්තුකයි. මේ කරන උඩුගං බලා යෑමේදී අලුත් මාධ්‍ය සදාචාරයක් අලුත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන්න යෑම අමාරු කාර්යයක්. ඉතින් එහි මුල් කාලයේ ජනතාව මේ ක්‍රමයට ඇබ්බැහි වන තුරු අපේ වාණිජ පරමාර්ථවලට අභියෝග තිබෙනවා. ඒත් මුදල් හම්බ කරන්න කියලා නාළිකාවක ආත්මය පාවා දෙන්න අපි සූදානම් නෑ.
• අනෙක් නාළිකා සමඟ තරගයේදී මෙය ITN ආයතනයට කොයි ආකාරයෙන් බලපායිද?
අල්ලපුගෙදර මනුස්සයා වැරැද්දක් කරලා වාසියකුත් ගන්නවා කියලා දන්නවා නම් අපි තීරණය කරන්න ඕනෑ ඒ වැරැද්දම අපි කරනවාද? නැත්නම් නිවැරැදි දේ කරනවාද? කියලා. අප බලාපොරොත්තු වන්නේ නිවැරැදි දේ කරමින් ජාතික වගකීම ඉටු කිරීමයි.
• තාක්ෂණික වශයෙන් ඉදිරියේදී ඔබ ගන්නා පියවර?
ඉදිරි වසර දෙක-තුන ඇතුළත ඇති වන ඩිජිටල්කරණය සමඟ සෑම නාළිකාවක්ම රටේ සෑම තැනකටම පෙනෙන්න ගන්නවා; පැරැණි සම්ප්‍රේෂණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගන්නවා. ඒ සඳහා අප සූදානම් වෙමින් ඉන්නේ. අපේ නව ගොඩනැඟිල්ල, එය හදන්න පටන් ගන්නා කාලයේ තිබූ ඉහළම තාක්ෂණයෙන් යුතු මැදිරියකින් සමන්විතයි. ඒත් නවීන තාක්ෂණය කියන දේ ලොව පුරා දවසින් දවස වෙනස් වෙනවා. එත් ඩිජිටල්කරණය ආ පසු අපට මේ තාක්ෂණය පූර්ණ වශයෙන් භාවිත කරන්න පුළුවන්. දැනට අප මෙහි වැඩසටහනක් කළත් එය විකාශය වන්නේ පවතින තාක්ෂණය යටතේ. ඒ නිසා ඒ වැඩසටහනේ සම්පූර්ණ ගුණාත්මක සහ පැහැදිලි බව ගන්න බෑ. එනිසා ඩිජිටල්කරණයෙන් පසු මෙහි වැඩසටහන් කිරීම අපට විශාල තල්ලුවක් වෙනවා වෙනත් ආයතනවලට මෙතරම්වත් මැදිරියක් නැති නිසා.
• අන්තර්ජාලයේ බලපෑම ITN වැනි මාධ්‍ය ආයතනවලට දැනෙන්නේ කෙසේද?
නව තාක්ෂණය සමඟ පොදුවේ මාධ්‍ය ආයතනවලට විවිධ බලපෑම් තිබෙනවා. රේඩියෝවට එය තදින් බලපා ඇති බව පේනවා; ටෙලිවිෂනයටත් අනාගතේ බලපානවා. තව අවරුදු හතර-පහකින් අපට අලුතෙන් සිතන්න වෙනවා ටෙලිවිෂනය කොහොමද රූපවාහිනී යන්ත්‍රයකින් නරඹන සම්මත නාළිකාවක් ලෙස පවත්වාගන්නේ කියලා. ඊට අමතරව මොන මාර්ගවලින්ද අප ප්‍රේක්ෂකයා වෙත සමීප විය යුත්තේ යන්න ගැනත් අපට කල්පනා කරන්න වෙනවා.
• ඔබේ නව ප්‍රතිපත්තිවලට අනුව වැඩසටහන් තෝරාගැනීම අභියෝගයක් වුණාද?
සාමාන්‍යයෙන් වෙනසකට යෑම අපේ අයට පුරුදු නැති නිසා යම් යම් අපහසුතා තිබුණා. ඒත් අප කළ පර්යේෂණාත්මක වැඩ සාර්ථක වුණා. නිදසුනක් ලෙස: අප කළ 'යූත් විත් ටැලන්ට්' රියැලිටි වැඩසටහන පසුගිය අවුරුදු 10ක-15ක ඉතිහාසයේ වැඩිම රේටිංස් තිබූ රියැලිටි වැඩසටහන. අපේ 'සූර්යමංගල්යය' විකාශය වූ අවුරුදු වැඩසටහන්වලින් වැඩිම ප්‍රේකෂක පිරිසක් සහභාගි වූ සහ ජනප්‍රිය වූ වැඩසටහන. ඊළඟට අපි ITN ඉතිහාසයේ පළමුවැනි වතාවට අන්තර්ජාතික ක්‍රිකට් තරග විකාශයක් කළා. තවත් අලුත් වැඩසටහන් පෙළක් සවස 7-7.30 වේලාව සඳහා හඳුන්වා දෙමින් යනවා. ඒ වගේම ඉදිරියේදීත් අනුක්රමයෙන් ලංකාව බලාපොරොත්තු නොවන මට්ටමේ වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙනවා.
• ඔබේ fm නාළිකා සඳහාත් ඔය වෙනස වලංගුද?
දැන් ලංකාවේ රේඩියෝ මාධ්‍යය වෙනස්. පසුගිය අවුරුදු දෙක-තුනේ 'රේඩියෝ සෙට්ස්' කියන දේ විකිණිලා තිබෙන්නේ බොහොම අඩුවෙන්. දැන් රේඩියෝ ශ්‍රාවකයන් ඇති වන්නේ වාහනේදී, කොම්පියුටරෙන්, අයිෆෝන්-එකෙන් රේඩියෝ අහන්න. ඉතින් මේ අලුත් තාක්ෂණයත් සමඟ පැටලුණු රේඩියෝ ශ්‍රාවකයන්ට අප සේවය සපයන්නේ කොහොමද යන්න සම්මත රාමුව තුළ සිට රේඩියෝ කළ අයගේ ඇඟට එන්නත් කරන්න හරි අමාරුයි. ඒ අය තවම හිතන්නේ ගෙදර රේඩියෝව දාලා ඒ වටේ ඉඳගෙන අපි පොඩිකාලේ බණ, මුවන්පැළැස්ස අහපු කාලේ වගේ කියලා. දැන් එහෙම දෙයක් නෑ.
ඉතින් මේ අලුත් තාක්ෂණයත් සමඟ වුණු වෙනස ගැන සිතිය යුතුයි. ඒ වගේම දැන් රූපවාහිනිවලටත් අදාළව 'පොඩ්කාස්ටිං' නැත්නම් අපට ඕන වෙලාවට අපට ඕන වැඩසටහන නැරඹීමේ අවස්ථාව තිබෙනවා. ඒ දේවලටත් සරිලන විදිහට අපේ නාළිකා සැකසිය යුතුයි. ඒ සියල්ල එකවර කළ නොහැක්කේ අපේ නිලධාරීන් පුරුදු වෙලා තිබෙන්නේ පරණ රේඩියෝ ක්‍රමයට නිසයි. අපේ සියලු අඩුපාඩු හදාගෙන ලෝකෙට ගැළපෙන අයුරින් යෑමටයි අප උත්සාහ කරන්නේ. අපේ නාළිකා හතරෙන්ම බලාපොරොත්තු වන යහපත් මාධ්‍ය සංස්කෘතියේ අරමුණ, ඒවා අහන බලන අයට යහපතක් සිදු වීමයි.
අරුණි මුතුමලී
සිළුමිණ