අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ඉන්දියානු ටෙලිනාට්‍යවල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇය කෙමෙන් ටෙලිනාට්‍ය පිටපත් රචනයට යොමු වූවාය. එහෙත් ඇයට අනුව එකල ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඇරෝබික්ස් උපදේශිකාවක ලෙස කටයුතු කිරීමයි. මේ අතරවාරයේ වසර පහක් ගත කරමින් ඇය ලියූ පළමු නවකතාව, The God of Small Things 1997 වසරේදී එළිදැක්වූවාය. මාස කිහිපයක් ඇතුළත එම කෘතියේ පිටපත් ලක්ෂ හතරක් ලොව පුරා විකිණිනු අතර එම කෘතිය එම වසරේ බුකර් සාහිත්‍ය සම්මානයද දිනා ගත්තේය. එම සම්මානය, සිය මව්බිම තුළ එනම් ඉන්දියාව තුළ ජීවත් වන, එමෙන්ම ඉන්දියානු ලේඛිකාවක දිනා ගත් ප්‍රථම අවස්ථාව විය. ඇය එක රැයින් ඉන්දියානු අර්ධද්වීපය තුළ බැබළෙන ලේඛිකාවක බවට පත් වූවාය.
එහෙත් එදාමෙදා තුර ගතවුණ වසර විස්සක කාලය පුරා ඇය ඉන්දියාව තුළ කැපී පෙනුණේ ලේඛිකාවක ලෙසින් නොව විප්ලවීය දේශපාලන ක්‍රියාකාරිකාවක ලෙසය.
ඇය සර්දාර් සරොවාර් වේල්ල ඉදිකිරීම නිසා අහිමි වන සිය ගම්බිම් රැක ගැනීමට සටන් වදින අසරණ ජනතාව වෙනුවෙන් මෙදා පත්කර් නම් සමාජ ක්‍රියාකාරිනිය හා එක්ව බලපෑම් සහගත මෙහෙවරක් ඉටු කළාය. 2010 වසරේදී ඇය ලියූ Walking
With The Comrades කෘතිය ඇය සම්පාදනය කළේ දන්තෙවාදා වනාන්තරයේ මාවෝවාදී ගරිල්ලන් හා ගත කළ කාලය පුරා ලැබූ අත්දැකීම් පදනම් කොට ගෙනය. ඇය ඔවුන්ගේ ධෛර්යය, ඔවුන් විඳි බිහිසුණු අත්දැකීම් සහ එම ප්‍රදේශයේ ගෝත්‍රික ජනතාවගේ ලේ වැකි ඉතිහාසය පිළිබඳ ලීවාය. කාශ්මීරයේ සාම සාකච්ඡා සඳහා ද ක්‍රියාකාරී ලෙස මැදිහත් වූවාය.
ජුනි මාසයේ නිකුත් වූ ඇයගේ දෙවැනි නවකතාව, The Ministry of Utmost Happinessඅරුන්දතී රෝයි නම් සමාජ ක්‍රියාකාරිනිය නැවතත් සාහිත්‍ය ලෝකයේ ශූර ලේඛිකාව බවට පත් කොට ඇත. පෙන්ගුවින් ප්‍රකාශන සමාගමේ ලිපියකට අනුව එය දේශපාලනික කෘතියකි, එහෙත් අනුශාසනා නොකරයි. හද සසල කරන නමුත් උපහාසයද පිරී පවතියි. The God of Small Things කෘතියේ සුලබ බරසාර ගද්‍යමය ස්වභාවය මඳක් සැහැල්ලුවී, කාව්‍යමය ස්වරයක් ඒ තුළ නින්නාද වෙයි.
නව ඉන්දියානු ලේඛක පරම්පරාව ඔබ සලකන්නේ, ඉන්දියාවට වී ලියන, ඒ ලියන ඒවා මුළු ලෝකයම කියවන්න තරම් භාග්‍යයක් ලද ලේඛකයකු වීමේ සිහිනය දකින්නට ඉඩ ලබාදෙන කෙනෙකු ලෙසයි. ඒ ප්රතිමූර්තිමය ස්වභාවය ඔබට දැනෙන්නේ කොහොමද? ඔබ ඒ ගැන කවදාවත් හිතලා තියෙනවාද?
එහෙමටම නැහැ, මොකද මා මතු කරන වියරුවත් උන්මාදයත් පිළිබඳ මම ඉතාමත් සමබරයි. මට අනුව මම ජීවත් වන්නේ මගේ වැඩ තුළ. නම හෙළි නොකරන ලේඛකයන් ගැන මම සමහර වෙලාවට හිතුවත් ඇත්තටම මට කවදාවත් එහෙම වෙන්න බැහැ. මොකද මේ රටට එය වැදගත්. විශේෂයෙන් කාන්තාවක් වුණාම මෙහෙම කියන්න පුළුවන් වෙන්න ඕනෑ. “මෙන්න මම ඉන්නවා! මම ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න යන්නේ! මෙන්න මම හිතන දේ. මම කිසි දෙයක් හංගන්නේ නැහැ!’ ඉතින් මම කිසිවෙකුට ධෛර්යයමත් වෙන්න, පර්යේෂණ කරන්න, රේඛාව පනින්න උදව් වුණා නම්… එය ඉතාම ආදරණීයයි. මම හිතනවා මෙහෙම කියන එක අපිට හරිම වැදගත් කියලා. “අපිට පුළුවන්! අපි එය කරනවා! ඉතින් අපිත් එක්ක මඟුල් නටන්න එන්න එපා!” අන්න එහෙමයි.
මගේ අත්දැකීමට අනුව ඔබ සාහිත්‍ය උත්සවවල එතරම් දකින කෙනෙක් නෙමෙයි. මේ දවස්වල ඉන්දියාවේ සාහිත්‍ය උත්සව එමටයි. ඒත් මම ඔබව ඒ කිසිම උත්සවයකදී දැක නැහැ. ඔබ එවැනි අවස්ථාවලින් ඈත්වී සිටින්නියක්ද?
මම මේ කියන්නේ අනිත් ලේඛකයෝ ගැන නෙමෙයි. මම දන්නේ නැහැ ඔබ කියවලා තියෙනවාද කියලා මම ලියූ Capitalism – A Ghost Story and Walking with the Comrades කියන රචනා. ජායිපූර් සාහිත්‍ය උත්සවයට මුදල් වියදම් කරන්නේ ආදිවාසීන්ගේ හඬ නිහඬ කරන, ඔවුන්ව තමන්ගේ නිජබිම්වලින් පන්නා දමන වධකාර කැණීම් සමාගමක්.
අනික් එක, මගෙන් පළිගන්නවා යැයි කියන ZeeTV එක. ඉතින් ප්‍රතිපත්තියක් විදියට මම ඒවාට යන්නේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ? මම ඔවුන්ට විරුද්ධවයි ලියන්නේ. මම මේ කියන්නේ මම හරි පාරිශුද්ධයි කියලා නෙමෙයි. අපි හැමෝටම වගේ මටත් තියෙනවා, ගැටුම් සහ පරස්පරයන්. මම ගාන්ධිතුමා වගේ නෙමෙයි. ඒත් න්‍යායිකව මම බැඳී ඉන්නවා එහෙම කරන්න. ඔවුන් කොහොමද මේ ලෝකේ දුප්පත් අසරණ ජනතාව නිහඬ කරලා, ඔවුන්ව සදහටම විනාශ කර දමලා, නිදහස් අදහස් ප්රකාශනය සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන ලේඛකයන් වෙනුවෙන් ඉදිවන බැබලෙන වේදිකාවක් බවට පත්වෙන්නේ? මට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ඔබ ඉන්දියාවේ අලුතින් ලියැවුණු ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති කියවනවාද?
මම මගේ දෙවැනි පොත ලියමින් සිටින කාලයේ ඇත්තටම කාලීන දේවල් පිළිබඳ එතරම් දැනුවත් වුණේ නැහැ. මට අඩුම තරමේ ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. මට ඇත්තටම ෆේස්බුක් එක්ක ප්‍රශ්නයක් නැහැ, ඒත් ස්නෝඩන් මට කිවූ විදියට, ෆේස්බුක් ආරම්භ වුණාම සීඅයිඒ එක උද්දාමයට පත්වුණාලු මොකද, රැස් කිරීමේ මහන්සියකින් තොරවම ඔවුන්ට සේරම තොරතුරු පහසුවෙන් ලැබෙන නිසා කියලා. ඒක පැත්තකින් තිබ්බත්, මම ලියන විටදී කියවීම සම්බන්ධයෙන් තියෙන්නේ මට අමුතු පුරුද්දක්: සමහර වෙලාවට මම පොත් අවසානය දක්වා කියවන්නේ නැහැ, ඒත් යම් යම් දේවල් ඇතුළට කිඳා බහිනවා, ඇත්තටම මම සිහි බුද්ධියෙන් ද ඉන්නෙ කියලා හොයා ගන්න. මම ඉන්නේ මේ ලෝකෙද? කියලා දැනගන්න.
ඔබගේ අලුත් නවකතාව The Ministry of Utmost Happines තුළින් ඔබ ජනතාව කැළඹීමට පත් කරන්න බලාපොරොත්තු වෙනවාද, කලහකාරී කණ්ඩායම් උසස් රසඥතාවෙන් යුත් දේ කියවන්නේ නැති වුණත්?
ඒක පොතක් ගැන හෝ ඔවුන් කියවන හෝ නොකියවන දේ මොනවාද ගැන ප්‍රශ්නයක් නෙවෙයි, එය මොනවාද කතා කරන්න හෝ නොකරන්න පුළුවන්, කාටද කතා කරන්න පුළුවන්, කාව කාටද මරන්න පුළුවන් වැනි දේ ගැන ඔවුන් හදාගෙන ඇති අත්තනෝමතික නීති සමුදාය ගැන ප්‍රශ්නයක්. ඔව්! මම මෙහෙ තමයි ජීවත් වෙන්නේ, මම ලියන්නේ මෙහෙ ඉඳගෙන, මේ පොත මෙහෙ ගැන. ඒත් මෙහෙ ගැඹුරටම පාලනයෙන් තොර තත්ත්වයක් පවතිනවා. සරලව එය, මිනිසුන් ඝාතනයට ලක්වීම් ගැන නොවෙයි. එය ඔබ මුස්ලිම් ජාතිකයෙක්ව සිටියදී, කොහොමද ජීවිත අවදානමට ලක් නොවී බසයක හෝ දුම්රිය අසුනක හිඳ යන්නේ කියන එක පිළිබඳවයි. මා තුළ කුමක්ද සිදුවෙන්නේ කියන එක ගැන කිසිම අදහසක් මට නැහැ. මම පොතක් ලීවා, ඒකට මට අවුරුදු දහයක් ගතවුණා, දැන් ඒක රටවල් තිහක විශාල ප්‍රකාශන සමාගම් විසින් ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. ඉතින් මේ මෝඩ අමන රැළකට ඒ මැද්දට පැනලා ඒක කාබාසිනියා කරලා දාලා, පත්තර සිරස්තලවල එල්ලිලා ඉන්න මම ඉඩ තියන්නේ නැහැ. මම ඇයි එහෙම නොකරන්නේ? ඒක මේ ඔවුන්ගේ සිඟිති මොළ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. එය මුළුමනින්ම සාහිත්‍යමය කාරණාවක්.
ජනතාව අතර විද්වත් කාන්තාවක් ලෙස අවුරුදු විස්සක් පමණ ගත කිරීමෙන් අනතුරුව මොන වගේ කාරණවක් ද ඔබව පෙළඹෙව්වෙ දෙවැනි නවකතාව එළිදක්වන්න?
මේ නවකතාව ලියමින් මම වසර දහයක් ගත කළා, ඒත් The God of Small Things එළිදක්වලා දැනට වසර විස්සක් වෙනවා. එතෙක් මෙතෙක් මම සංචාරය කරමින්, සිදුවෙමින් පැවති ගොඩක් දේ හා සම්බන්ධවෙමින්, ඒවා ගැන පුළුල් ලෙස ලියමින් කාලය ගත කළා. මම කිසියම් දේශපාලනික රචනාවක් ලියන්නේ, එසේ කිරීම සඳහා කඩිනම් අවශ්‍යතාවක් පැන නැඟුණ විටදී, කිසියම් කාරණාවක් සමාජය මත පුපුරුවා හැර එම කාරණය සඳහා ඉඩක් සාදා ගැනීමට අවශ්‍ය වූ විටදී. ඒත් ප්‍රබන්ධය සඳහා කාලය අවශ්‍යයි, අනෙක එය අවධි කිහිපයකින් සිදුවන්නක්. ඒ වගේම, අපි ගනිමු කාශ්මීරය වගේ තැනක සිදුවන වියරු උන්මත්තක සිදුවීම් ගැන. ඔබ කොහොමද විස්තර කරන්නේ එවැනි ස්ථානයක සිදුවන භයංකාර දේ ගැන? එය මිනිසුන් ඝාතනය වන්නේ කෙසේද සහ ඒ කොහේද යන්න ගැන ලියැවුණු මානව හිමිකම් වාර්තාවක් නෙමෙයි. එවැනි තැනක ඇති මානසික වියරුව ඔබ විස්තර කරන්නේ කොහොමද ප්රබන්ධයකින් හැරෙන්න?
එසේ නම් ඒ හේතුව නිසායි ඔබ තෝරාගත්තේ….
නැහැ, ඒක නිසාම නෙමෙයි. මම ප්‍රබන්ධයක් කරන්න තෝරාගත්තේ නැහැ මට කාශ්මීරය ගැන යමක් කියන්න තියෙන නිසා. නමුත් ප්‍රබන්ධය විසින් මාව තෝරා ගන්නවා. මම හිතන්නේ නැහැ, ‘මට කිසියම් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා සන්නිවේදනය කරන්න, ඒ නිසා මට පොතක් ලියන්න ඕනෑ වුණ’ තරම් ඒක සරලයි කියලා. සිතීමේ කලාව…..එය යැදුමක්, එය ගීතයක්
The Ministry of Utmost Happiness ලිවීමේ කාර්යය දැනෙන්නේ කොහොමද?
කිලෝ පනහකින් මගෙ බර අඩුවෙලා වගේ දැනෙනවා, මොකද අවුරුදු දහයක් පුරා මං අභ්‍යන්තරයේ තිබුණු බර මා තුළ නොව, දැන් මගෙන් පිටත මා ළඟින්ම තියෙනවා. ඒත් ඉන්දියාව ඇතුළේ පොතක් එළිදැක්වීමට, විශේෂයෙන්ම මෙවැනි ආකාරයේ පොතක් එළිදැක්වීමට තරම් සුදුසු ප්‍රීතිදායක කාලයක් නෙමෙයි දැන් පවතින්නේ. ඒ නිසා නිර්මාණ කාර්යයයට තැබූ බර කිසියම් ආකාරයකට ප්‍රතිස්ථාපනය වුණා, මේ පොත ඉන්දියානු ජනතාව, විශේෂයෙන්ම බලයේ ඉන්න අය නොකියවාවි කියන අනියත බිය විසින්. ඔබ කාටද පහර දිය යුත්තේ, ඔබ කාවද නිහඬ කළ යුත්තේ, ඔබ කාවද වළක්වන්නේ, ඔබ කාවද ඝාතනය කළ යුත්තේ: එය කාලානුරූපවයි සිදුවෙන්නේ.
මේ කතාව තුළ විවිධ හඬ ගණනාවක් තියෙනවා. ඒ වාගේ විවිධ චරිත සමුදායක් ගැන ලියන්න යනවා කියන එක ගැන ඔබ දැනගෙන සිටියාද?
මට නිතරම ලියන්න ඕනෑ වුණේ එහි කතාන්දරය, හරියට විශාල නගරයක මාවත් විහිදිලා තියෙනවා වගේ පොතක්. මම ඇවිදගෙන යද්දී, මම කිසිම කෙනෙක්ව නිකම්ම පහු කරගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ, මම හිඳ ගන්නවා, දුමක් අදිනවා, වෙලාව ගැන විමසනවා. මට ඕනෑ වුණා කුඩාම චරිතයට පවා කතාන්දරයක් නිර්මාණය කරන්න. මට ඕනෑ වුණා පසුබිම ඉදිරිපසට අරගන්න, නගරය චරිතයක් බවට පත් කරන්න. ඉතින් ඔව්, මම දැන හිටියා එය ජනාකීර්ණ වෙයි කියලා. මට එහෙම තමයි ඕනෑ කළේ.
මෙහි එන හඬවල් එකිනෙකට වෙනස්. ආරම්භයේදීම ඉන්නවා, අනුජුම්, සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් අතර ජීවත් වෙන සංක්‍රාන්තික ලිංගික පිරිමියෙක්. ඔවුන්ගේ අත්දැකීම් ගැන ලිවීම දුෂ්කර වුණාද? මම මෙහෙම අහන්නේ එවැන්නන් ඔබට එපමණ හුරු පුරුදු නැති නිසා?
මම ලිංගිකත්වය ගැන සලකන්නෙ වර්ණාවලියක් ලෙස. මම එහි එක තැනක, ඔබ තව තැනක. තව කෙනෙක් තවත් තැනක. ඔබට කිසිමදාක මනුෂ්‍යත්වයත්, මනුෂ්යභාවයත් සැකයට භාජනය කරන්න බැහැ.
නවකතාව ඇතුළේ භාෂාව භාවිතය බොහෝ සෙයින් විවිධයි. චරිත මාරු වෙන්නේ ඒ විවිධත්වය අතර, ඔබ එහි කාශ්මීර – ඉංග්‍රීසි වර්ණ මාලාවක් ද නිර්මාණය කර තිබෙනවා.
භාෂාව කියන්නේ ඉන්දියාව තුළ බරපතළ කාරණයක්. භාෂා ජාතිවාදය. උදාරණයක් ලෙස, හින්දි භාෂාව ජාතික භාෂාව කරන්න ගත් සෑම උත්සහායකදීම දකුණුදිග ප්‍රාන්තවල දරුණු ගැටුම් ඇතිවුණා. ලෝකයේ මේ ඉසව්වේ, අප ජීවත්වෙන්නේ, කතා කරන්නේ, ගී ගයන්නේ, යාච්ඤා කරන්නේ සිය ගණනක් භාෂා, උපභාෂා භාවිත කරමින්. එවැනි රසමුසුවක් තුළ තමයි, The Ministry of Upmost Happiness ගිලී පදම ඇති කර ගත්තේ.
මම පොත පිළිබඳ විස්තර කිරීම සමඟ ටිකක් සෙල්ලම් කළා: The Ministry of Upmost Happiness මුල් කෘතියේ පරිවර්තනය අරුන්දති රෝයි විසින් යැයි සඳහන් කළා. මොකද එහි භාෂා කිහිපයක් තියෙනවා, ගීත සහ කාව්‍ය ඛණ්ඩ, කාශ්මීර – ඉංග්‍රීසි වර්ණමාලාව. මම කාෂ්මීරයට යන්න පටන් ගත් දා ඉඳලා මම කරන්න පටන් ගත්ත මුල්ම දේ ඒක තමයි. මම දැක්කා අවුරුදු ගණනාවක යුද්ධය තුළ මිනිසුන් විසින් ශබ්දකෝෂයේ හිදැස් ඇති කරලා තියෙනවා. එය කාශ්මීර සහ ඉංග්‍රීසි. එහෙත් එය යුද්ධයේ, යටත් කරගැනීමේ සහ වේදනාවේ භාෂාව. සමහරවිට එය භාවිත කරනවා උපහාසාත්මක ස්වරයකින්, මරණීය හාස්‍යයක් ද සමඟ.
ජීවිතය සහ මරණය අප අත්දකින දේවල්. ඒත් ඒ දෙකෙහි සීමාවන් ඉතාමත් අපැහැදිලියි.
මම හිතන විදියට බටහිර රටවල මරණය ඉතාමත් පැහැදිලියි. ඒත් කාශ්මීරය වගේ ස්ථානවල ජීවත්වන්නන් මියැදිලා, මියුසා, The Ministry of Upmost Happiness කෘතියේ එන චරිතයක් කියනවා වගේ, මිනිස්සු හිතනවා මියැදුණු අයට පණ තියෙනවා සහ ඔවුන් මිනිසුන් අතර ජීවත් වෙනවා කියලා. ඔවුන් මිනිසුන්ට තම ගරුත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය කෝපය, ශක්තිය සපයා දෙනවා. ඉතින් අන්ජුම් (චරිතයක්) ජීවත්වන සොහොන් පිටියේ -ගොඩාක් දේවල් අතර සවිවර සීමාවක් ඇති බව දැනෙනවා, මිනිසුන් එනවා, යනවා.
මෙම නවකතාව තුළ ආදරය මඟහැර යා නොහැකි තරම් ශක්තිමත් තේමාවක්. එහි ඉන්නවා මියුසා සහ නාගා. තව ගාර්සන් හොබාර්ට් සහ ටිලෝ. ඔවුනට තියෙන්නේ ඉතාමත් සංකීර්ණ සබඳකම්. ඒ ඇයි?
බලාපොරොත්තු නොවන සියලුම ආකාරවල ආදර සබඳතා මේ පොතේ තියෙනවා, ගැහැනු පිරිමි අතර විතරක් නෙමෙයි, මාතෘත්වය පවා මෙහි වෙනස්. සදාම් හුසෙයින් සහ අන්ජුම් අතර තියෙනවා ඉතාමත් සුන්දර ආදරයක්. තව නේක විධ අමුතු අකාරයේ මිත්‍රත්වයන්. මියුසා, ටිලෝ, නාගා සහ ගාර්සන් හොබාර්ට් අතර වෙන්නේ ඇත්තටම, ටිලෝ සාමාන්‍යයෙන් කාන්තාවන් ප්‍රතිචාර දක්වන විදියට නෙමෙයි ආදරයට ප්‍රතිචාර දක්වන්නේ, ඒ නිසා කිසිවක් හරියට සිදුවන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාටම සිද්ධ වෙනවා ආදරය ගැන නැවත හිතන්න, අලුතින් පරිකල්පනය කරන්න. ඉතින් කිසිම කෙනෙකුට ඒ සබඳකම් ගැන විශ්වාස නැහැ.
මේ පොතත් ඔබ දේශපාලනය ගැන ලියන රචනා වගේම දේශපාලනිකයි. ඔබ හිතනවාද ප්‍රබන්ධයට හැකියාව තියෙනවා කියලා වෙනස් විදියකින් දේශපාලනික චින්තාව සොයා යන්න?
මම මෙය නිතරම කියන දෙයක්. ඒත් ඒක හරිම ඇත්තයි -හැමදේම දේශපාලනිකයි. සුරතල් මත්ස්‍යයකුගේ ලිංගික ජීවිතට අදාළ කාරණා පවා. හැමදේම. එහෙත් ඔව්, ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති එකිනෙකට ගොඩක් වෙනස් තමයි. කතුවරයා තුළ මුල් බැස ගත් මතවාදයන් අනුව, ඉතා ක්‍රමානුකූලව රඟ දැක්වෙන චරිත සිටින, දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රකාශන සියුම්ව සඟවා ඇති නවකතා මම දිරවා ගන්නේ ටිකක් අමාරුවෙන්. ක්රමානුකූල බව මම ප්රබන්ධයකින් බලාපොරොත්තු වන දෙයක් නෙමෙයි. මම කැමතියි, මගේ පොතේ ඉන්න හාදයෝ ටික මාව පටලවලා බිම ඇද දමනවාට.■
සුභාෂීණි චතුරිකා -රාවය