- ඉන්ජිත විජේසිංහ බණ්ඩාර
ඒ මහ කන්ද බැලුවා හොරුහින් මදෙස ගම හැරදා කොළොම්තොටට එන දවසේ ඒ මහ කන්ද හොරැහින් තමා දෙසද බැලූ වග ඉන්ජිතගේ කල්පනා බර හිතට හදවත මුරගා කීවේය. රඹුක්කන සුන්දර ගම්මානයේ වනස්පතියක වෙසින් දිස් වූ ඒ මහ කන්ද සන්තකයේ දාහත් වසරක මතක සඟවා සහෝදර සහෝදරියන් අට දෙනෙක් හා කල් යල් යැවූ නිවෙසත් අම්මා අප්පච්චිත් හැර තනිවම සෙයිලමට එන දවසේ ඉන්ජිත හෙට දවසක් වෙනුවෙන් මහමෙරක් හීන දැක්කේද නැත. අම්මා ආ පුතේ යැයි කියමින් අතට දුන් රුපියල් හැටත් අරගෙන ඔහු නන්නාදුනන කොළඹට ආවේය. ඒ ඇවිත් අම්මාගේ ඥාතිවරයෙකුගේ ව්‍යාපාරයකට සම්බන්ධ වී රැකියාවක් කළේය. සාර සිප් සොයා ගිය ගමනේ කෙළවරක් හෝ තීරණාත්මක කඩඉමක් පසුකිරීමේ වාසනාවක් දෛවය ඉන්ජිතට තිළිණ නොකළ නමුත් පොළොවේ පය ගසා ජීවත් වෙමින් ජීවිතයට මඟක් සොයායාමේ නොතිත් දිරියක් දෛවය ඔහුට උරුම කර දී තිබුණි. ඒ මහා කන්දට ඉහළ අහසේ තරු ඔහුගේ ඉරණමේ කතාව ගැන ගම්තොටදී ලබා නොදුන් ඉඟිය ලබා දුන්නේ කොළොම්තොටදීය.
ඥාතිවරයා සමීපයේ රැකියාව හා තවත් රැකියා කිහිපයක් වසර කිහිපයකින් ඉනික්බිති අත්හැර දැමූ ඉන්ජිතට ජීවිතයේ වෙනස්ම මඟකට පාර පෙන්නුවේ අපූරු මිතුරෙකි. කොණ්ඩයක් කපන්නට කතුර අතට ගත් පළමු දවසේ තමන් කවදා හෝ දවසක ලෝක ක්‍රිකට් තරුවල ලංකාවේදී කොණ්ඩය කපන කොළඹ හතේ කවුරුත් දන්න බාබර් කෙනෙක් වේයැයි ඉන්ජිතට හිතෙන්නට විදිහක් තිබුණේද නැත. ටාජ් සමුද්‍රා හෝටලයේ පිහිටා තිබූ රමණී ප්‍රනාන්දුගේ රූපලවන්යාගාරයට පැමිණියේ ගමේ අප්පුහාමිලා සිරිමලීලා හෝ රන් එතනලාද නොවේ. සැලෝන් රමණී සොයා ආ බහුතර පාරිභෝගික පිරිස වූයේ කොළොඹ සල්ලිකාර පැලැන්තියේ නෝනලා මහත්තුරුය. පොෂ් ලෙවෙල් කොල්ලන් කෙල්ලන්ය. ක්‍රිකට් තරග සඳහා ලංකාවට පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ ලැඟුම් ගන්නා ලෝකෙම හඳුනන ක්‍රිකට් තරුය. අපේ පුංචි දිවයිනේ ක්‍රිකට් තරුය. කී නොකී තරු කොණ්ඩය කපන්නට, කොණ්ඩය හදන්නට, කොණ්ඩයට කරන නා නා විධ සැලකිලි සත්කාර ඉටුකරගන්නට, මුහුණු හැඩකරගන්නට සැෙලා්න් රමණී වෙත එද්දී අර මහ කන්ද හැරදා ඈත ගමකින් කොළඹට පැමිණි මේ පුංචි බාබර් මුල්ම දවස් දෙක තුනේ කොළඹත් ගමත් අතර අහස පොළොව වන් මේ වෙනෙස දෙස බැලුවේ වික්ෂිප්ත වූ දෑසිනි. ඒ කාලයේ ඉංග්රීසීයද ඉන්ජිතගේ කටට කනට නුහුරුය. එන තරමක් පාරිභෝගිකයන්ගේ කතාවද ඉංග්රීසීයෙනි. මේ සියල්ල පුංචි බාබර් ගේ ලෝකයේ දුරින් තිබුණත් කඩිසර ඇඟිලිවල තිබූ වැඩකාර හැඩකාර හැකියාව ඔහු පසු කලෙක ලාංකික ඇතැම් ක්‍රිකට් තරැවල නිත්‍ය කොණ්ඩ කපන්නා සහ සත්කාරකයා බවටද පත් කළේය.
එංගලන්තයේ ඉයන් මෝර්ගන්, ඇලෙක්ස් හේල්ස්, ඉන්දියාවේ රවී ශාස්ත්‍රී, පකිස්ථානයේ යුනිස් ඛාන්, අහමඩ් ශේෂාඩ්, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හර්දික් පාන්ඩයා, ලෝකේශ් රාහුල්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මස්තාෆිසර් රහමන් ඇතුළු විදේශීය ක්‍රිකට් තරු රැසකගේ සිරස දෑතින් අල්ලන්නට, හිසකෙස් හසුරුවන්නට මේ පුංචි බාබර්ට හැකි වූයේ ඒ හැඩකාර වැඩකාර හැකියාව නිසාය. අද කුසල් මෙන්ඩිස්ගේ, දිල්රුවන් පෙරේරාගේ, නිරෝෂන් දික්වැල්ලගේ කොණ්ඩය කපන්නාත් සත්කාරකයාත් ඔහුය. මේ අතරේ සිව් වසරක් තිස්සේ කොණ්ඩය වැව්න ගමන්, හිසට සම්බාහනයක් අවැසි වූ ගමන් ලංකාවේ සිටියොත් නොවැරදීම ඉන්ජිතම සොයාගෙන එන එක් ක්‍රිකට් තරුවක් සමඟ අපි මොහොතක් කතා කළෙමු.
ඒ ළහිරු තිරිමාන්නය.
මම අවුරුදු හතරක් කොණ්ඩේ කපන්නේ ඉන්ජිතගෙන්. පැයක් විතර වෙලාව අරන් එයා මට හරියන විදිහට කොණ්ඩේ කපලා හදලා දෙනවා. ඒකයි මම එයාවම හොයාගෙන යන්නේ. මගෙ බිරිය කොණ්ඩේ වැඩ කරගන්න එන්නෙත් ඉන්ජිත ළඟට.
මේ අතරේ හැමදාමත් ඉන්ජිතවම සොයාගෙන එන ඇය සමඟද අපි මොහොතක් කතා කළෙමු. ඒ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ බිරිඳ සෙව්වන්දි ජයසේකරය.
මම අවුරුදු හතක් තිස්සේ කොණ්ඩේ කපා ගන්නේ ඉන්ජිතගෙන්. මට දැනෙන්නේ සැලුන් එකකට ගියා කියලා නෙවෙයි යාළුවෙක් ගෙදරට ඇවිත් කොණ්ඩේ කපනවා කියලා. එයා ඒ තරම් ෆ්‍රෙන්ඩ්ලි. මට තියෙන්නේ කෙස් හුඟක් අඩු කොණ්ඩයක්. ඒත් ඉන්ජිත ඒ කොණ්ඩේ හුඟක් වගේ පෙන විදිහට කොණ්ඩේ කපනවා. කොණ්ඩේ කපද්දී එයා කියලා දෙන්නෙම බුදු දහම ගැන. එයා හොඳට ධර්මය ගැන දන්නවා.
ඇයි ඉන්ජිත ඇත්තටම කොණ්ඩ කපන කොණ්ඩ හදන රස්සාවම තෝරාගන්න හිතුවේ?
මගේ යාළුවෙක් නිසා තමා මම සැලෝන් රමණී වැඩකළ සමන්තව අඳුන ගත්තේ. අද ඔහු අපේ කළමනාකරු. සැලුන් එකට ආව දවසේ මට මේ රස්සාව ගැන හුඟක් ආසා හිතුණා. ඇයි මිනිස්සු ලස්සන කරන්න පුළුවන්නේ. ඊට ඉස්සර මම රැකියා කිහිපයකම් කරලා තිබුණත් මට ඒ එක රස්සාවකින්වත් කිසිම ආත්ම තෘප්තියක් ලැබුණේ නෑ. මම හිතුවා මාත් බාබර් කෙනෙක් වෙනවා කියලා. හැබැයි ඒ වෙද්දී මම කොණ්ඩ කැපිල්ල ගැන, කොණ්ඩ හැදිල්ල ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ වගේම මගේ තිබුණේ ගමේ කොල්ලෙක්ගේ පෙනුමක්. ඉංග්‍රීසිත් බෑ. ඒ නිසා මාව සැලුන් එකේ වැඩට ගන්න රමණී ප්‍රනාන්දු කොහොමත් කැමති වුණේ නෑ. රමණී මාව ගන්න හුඟක් අදි මදි කළා. ඒත් අන්තිමේදී ඇය මාව ගත්තා. අනිත් අයගේ වැඩ වලට උදවු දිදී මම හැමදේම ඉගෙනගත්තා. යර්ස් නෝ කියන්නවත් ගමෙන් එද්දී ඉංග්‍රීසි නොදැනගෙන හිටිය මම කොහොමහරි උත්සාහයෙන් කොළඹ තාලෙටම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තා.
කළ නොහැක්කක් නොමැත යන්න මේ පුංචි බාබර් ආදර්ශයෙන්ම තමා සමඟ සිටින්නන්ට කියා දෙමින් සිටියේය.
මම ඇවිත් අවුරුදු දෙකකට විතර පස්සේ රමණී ප්‍රනාන්දු අපේ කාර්ය මණ්ඩල රැස්වීමකදී මාව ලොකු ඇගයීමකට ලක් කළා. මාව ඉදිරියට ගෙන්නලා කීවා මම මුලින් මෙයාව ගන්න හිටපු කෙනෙකුත් නෙවෙයි, ඒත් මෙයා උත්සාහයෙන් හැමදේම ඉගෙනගත්තා, අද මම ඉන්ජිත ගැන සතුටු වෙනවා කියලා. ඇය කියද්දී මට හරිම සතුටක් දැනුණා. ඒ තමා මම මගේ වෘත්තීය ජීවිතයේදී මගේ ස්වාමි දුව අතින් ලද ඉහළම ඇගයීම. මම දන්න තරමට ඒ තරම් ඇගයීමක් ඇය මින් පෙර කිසිවෙකුට ලබා දීලා නෑ.
ඉන්ජිත ඉස්සරලම කොණ්ඩේ කැපුවේ කාගෙද කියලා මතකද?
ඔව් ඉන්දිකා කියලා තරුණියකගේ. පුංචිම පුංචි තිගැස්මක් ඉස්සරෝම කොණ්ඩේ කපන මුල්ම දවසේ මට දැනුණා. ඒත් හරියට වැඩේ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.
නම් වලින් කියන්නට හැම නමක්ම මතකයේ නොරුඳුනත් අමතක වුණත් මෙරටත් පිටරටත් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොණ්ඩ කපන කොණ්ඩ හදන බාබර් අවසානයේදී ඒ හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමඟම පාහේ සේයාරුවක් තම ජංගම දුරකතනයෙන් රැගෙන සොඳුරු මතක සටහනක් ලෙස ළඟින් තබා ගත්තේය.
ලෝකයේ හුඟක් ක්‍රිකට් ක්‍රීඩකයන් මම දැක්කේ කතා කළේ මගේ මේ රස්සාව නිසා. ඇලෙක්ස් හේල්ස්, ඉයන් මෝර්ගන් සහ රවී ශාස්ත්‍රී කොණ්ඩේ කපලා ඉවර වුණාම හුඟක් සතුටු වෙනවා. හුඟක් හැපී කියලා වචනවලින් කියනවා. එක එක්කෙනා තමන්ගේ සතුට එක එක විදිහට දක්වනවා.
ඉර්ෆාන් ෆතාන්ට සිංහල වචන දෙක තුනක් පුළුවන්. ඒ වචන ඉගෙන ගෙන තියෙන්නේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරද්දී. එයා මගේ ළඟට ආවේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. කොණ්ඩෙ කැපුවෙ වෙන කෙනෙක්. නියමයි.. ලස්සනයි කියලා සිංහලෙන්ම කියනවා. මේ ළඟදී බංග්ලාදේශ් බෝලර් කෙනෙක් ආවා. එයාගේ එච්චර ලස්සන හෙයාර් කට් එකක් තිබුණේ නෑ. මම ඇහුවා අපි අලුත් විදිහේ කට් එකක් දාමුද කියලා. එයා හා කීවා. මම එයා එක්කත් කතා කරලා අලුත් කට් එකක් දැම්මා. එයා ෂා ඇත්තටම ලස්සනයි කියලා හුඟක් සතුටු වුණා. මම ඔක්කොටම කියනවා ඔයා තමා මේ කට් එක දැම්මේ කියලා... එහෙම කියලා එයා ඒ වෙලාවේම එයාගේ සෙල්ෆියක් ගහලා ෆේස්බුක් එකේ දැම්මා.
ඉන්ජිත කොණ්ඩේ කපපු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරෙන් ඔයා කැමතිම ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් ඔයාට දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවද?
මම කොණ්ඩේ කපපු පිටරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මම කැමතිම ඇලෙස්ටෙයා කුක්ට එයාගේ කොණ්ඩේටත් මම ආසයි. එයාගේ හෙයාර් කට් එකටත් මම ආසයි.
එයා කතා කරන විදිහට හැසිරෙන විදිහටත් මම හරිම කැමතියි.
දවසක් එයා මගෙන් 3.30ට අපොයිමන්ට් එකක් අරන් තිබුණා. ඒත් ඔහු ඊට පැය ගණනකට පෙර ක්‍රීඩාංගණයේ සිට මට දුරකතන ඇමතුමක් දුන්නා. මගෙන් සමාව ඉල්ලමින් කීවා පුහුණුවීම් නිසා මට තුන හමාරට එන්න බැරිවෙයි..
කරුණාකරලා මට 4.30ට අපොයිමන්ට් එක දෙනවද කියලා. හරිම තැන්පත් විදිහට තමා ඔහු කතා කරන්නේ. ඊට පසු කොණ්ඩේ කපද්දීත් කීප සැරයක්ම වෙච්ච දේට සමාවෙන්න කියමින් සමාව ගත්තා. එයා කතා කරන්නෙත් හුඟක් ගරුත්වයෙන්. මම එයාට නම කියලා කතා කරද්දී එයා මට කතා කරන්නේ සර් කියලා. ඇලෙස්ටෙයා කුක් වගේ ක්‍රීඩකයෙක් මට සර් කියනවා කියන්නේ එයා කොයි තරම් නිරහංකාර කෙනෙක්ද?
තම අතීතයේ අකුරක්වත් හදවතින් මකා නොදැමූ ඉන්ජිත එසේ කීවේ සරල ලෙස හිනැහෙමිනි.
අපේ ක්‍රීඩකයන්ගේ කොණ්ඩ වලින් ඔයා කපන්නම ආසා කොණ්ඩය කාගෙද?
ළහිරු තිරිමාන්නගේ කොණ්ඩයට මම හුඟක් ආසයි. ඒක ලස්සන කූරු කොණ්ඩයක්. අනිත් එක කතා කරලා සුහදව ළහිරු එක්ක මේ වැඩේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට කොණ්ඩයක් කපන්න විනාඩි 45ක් පැයක් විතර යනවා. දුරකතන ඇමතුමක් එයාලට ආවොත් ඒක ඉවර වෙනකම් මම ඉන්නවා. හැබැයි හුඟක් අය දිගටම ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ නෑ.
මහේලත් මගේ ළඟට ඇවිත් තියෙනවා. එයත් හරි නිරහංකාර ක්‍රීඩකයෙක්. දිල්ෂාන් තිලකරත්නත් මගේ ළඟට ඉස්සර එනවා. දිල්ෂාන් හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. එයා ආවේ ඔයිල් ට්‍රීට්මන්ට් කරගන්න. දිල්ෂාන් සමහරවිට පිටරට ගිහින් ඉද්දීත් කොහොමද මල්ලි කියලා අහලා මට කතා කරනවා. මම කවදාවත් ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික දේවල් අහන්නෙ නෑ. ක්‍රිකට් තරගයක් පැරදුණු දවසකට පහුවදා ආවොත් කවදාවත් ඒ පැරදුණු තරගය ගැන කතා කරන්නෙ නෑ. ප්‍රේක්ෂකයෝ තියන් හිටිය බලාපොරොත්තු නැති කළා නේද වගේ හැඟීමකින් එයාලා එහෙම දවසට හුඟක් දුකින් ඉන්නේ කියලා අපට දැනෙනවා.
ඉන්දියානු ක්‍රීඩකයෝ හුඟක් ආසයි ඔයිල් ට්‍රීට්මන්ට්වලට. එයාලා ඒක මාර විදිහට එන්ජෝයි කරනවා. සමහරුන්ට සනීපෙට නින්ද යන්නත් එනවා. ඉන්දියානු ක්‍රීඩකයෝ ආඩම්බරයි කියලා හිතුනට අහංකාරයි වගේ පෙනුනට කතා කරද්දී හුඟක් හොඳයි. බබාලා ඉන්නවද බැඳලද වගේ විස්තරත් මගෙන් අහනවා.
සමහර ක්‍රීඩකයෝ පොඩි පොඩි සිංහල වචන මගෙන් අහනවා. Good morning කියන එකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා අහනවා. අපි ආයුබෝවන් කියලා කීවම ආයුබෝවන් කියනවා. ඇහෙන සමහර වචන වල තේරුම අහනවා. හැමෝම කොණ්ඩේ කැපුවම ස්තූති කරලා යනවා. දවසක් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ හතර දෙනෙක් ආවා කොණ්ඩේ කපන්න. එක්කෙනෙක්ගේ කොණ්ඩේ කපද්දී ඉංග්‍රීසි සින්දුවක් වාදනය වුණා. මෙන්න කොණ්ඩේ කප කපා හිටපු කෙනයි අනිත් තුන්දෙනයි නැගිටලා ඒ සින්දුවට නටන්න පටන් ගත්තා. ඒක බලන් ඉද්දී අපිටත් සතුටු හිතුණා. විනාඩි තුන හතරක් නටලා සමාවත් ඉල්ලගෙනම ඉතුරු ටික කපන්න කියලා ආයෙත් වැඩි වුණා.
ඇත්තද ඉන්ජිත්ට බොලිවුඩ් තාරකාවක් අඳුනගන්න බැරි වුණා කියන්නේ?
ඔව්...
කවුද ඒ?
රවීනා තන්ඩන්.. එයා කොණ්ඩේ හදාගෙන ඔක්කොම කරලා ගියාටත් පස්සේ තමා දන්නේ ඒ රවීනා තන්ඩන් කියලා. හැබැහින් දකිද්දීත් එයා හරිම ලස්සනයි. දිග ලස්සන කොණ්ඩයක් එයාට තියෙනවා.
ක්‍රීඩකයෝ කවුරුත් ආරක්ෂක නිලධාරීන් එක්ක එන්නේ නෑ. සමහරු අපි අඳුරන්නේ කොණ්ඩේ කපලත් ගියාට පස්සේ. නිකම් ඩෙනිම් එකයි, ටී ෂර්ට් එකයි ඇඳගෙනනේ එන්නේ. අපේ ක්‍රීඩකයන් අතුරින් මුරලිදරන් මට හරි විශේෂයි.
හොඳට සිංහලෙන් කතා කරනවා. පොඩි මිනිස්සුන්ගේ දුක ප්‍රශ්න ගැන පවා කතා කරනවා. මීට අවුරුදු පහකට විතර ඉස්සර අපේ ක්‍රීඩකයෙක් ආවා මගේ ළඟට. එයාගේ කොණ්ඩේ හොඳට වැවිලා තිබුණේ. එයා කොණ්ඩ හුඟක් කොටට කපනවට කැමතිත් නෑ. මම ඊට පස්සේ කීවා ඔයා හෙට ඇවිත් අපේ සමන්තගෙන් කොණ්ඩේ කපන්න කියලා. ඒ වෙලාවේ එයා කීවා මම සවුත් අප්‍රිකා ඉඳන් ඇවිත් මේ කොණ්ඩේ කපාගන්න ආවේ. ඔයා හරි හොඳයි ඉන්ජිත වෙන කෙනෙක් නම් කපනවනේ බෑ කියන්නේ නෑනේ කියලා. ආය දවසක් මම ඔයගෙන්ම කොණ්ඩේ කපාගන්න එන්නම් කියලා ගියා. ඊට අවුරුදු දෙකකට පස්සේ එයා ආවා. ඇවිත් අර සිද්ධිය මතක් කළා.
වසර 11ක් තිස්සේ හිස්ගෙඩි කීයක් අත ගෑවද? කොණ්ඩ කීයක් කැපුවද කියන්නට ඉන්ජිතට මතක නැත. එසේම ඉවසීමෙන් සැනසීමෙන් තම රාජකාරිය කරගන්නට ඉඩහසර ලබාදෙන ආදරණීය බිරිඳ හා දරුවන්ද වදනකින් හෝ උදවුවක් කළ හැම කෙනෙක්මද භක්ති පූර්වකව සිහිපත් කරන්නට මේ සියලු කතා මැද ඉන්ජිත අමතක කළේ නැත.
ඉන්ජිතට වැඩිම ප්‍රතිචාර තියෙන්නේ ගෑනු අයගෙන්ද? පිරිමිගෙන්ද?
කාන්තාවන්ගෙන් තමා වැඩිම ප්‍රතිචාර
ඔයා ළඟට එන දේශපාලනඥයන් කවුද?
නොවැරදීම එන පක්ෂ නායකයෙක් ඉන්නවා. එයා අවුරුදු එකහමාරක් විතර කාලයක් මගේ ළඟට එනවා. එයාගේ නෝනා අවුරුදු අටක් විතර එන්නේ මගේ ළඟට.
ඔය පක්ෂ නායකයා ටිකක් තරුණ කෙනෙක්ද?
නෑ වයසක කෙනෙක්... එයා හරි හොඳයි. කට්ටිය හුඟක් ඉන්න වෙලාවක නම් එයා කමක් නෑ ඉන්ජිත, අපිට ඉන්න පුළුවන් කියලා ඉන්නවා.
හැමෝගෙම කොණ්ඩේ කපන ඉන්ජිතගේ කොණ්ඩේ කපන්නේ කවුද?
අපේ කට්ටියට වැඩ වැඩි වුණොත් මමම මගේ කොණ්ඩය කපාගන්නවා.
ඒ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස... ගමෙන් කොළඹට ආ ඉන්ජිත අදටත් ඒ ඉන්ජිතම බව මට තවත් වරක් පහදා දුන්නේද ඒ වචනමය.
♦ සටහන / සංජිවිකා සමරතුංග