-තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න
පසුගිය දිනවල ඔබ විදෙස් සංචාරයකට සහභාගි වුණා... කොහොමද ඒ ගමන...?
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සහ සිඩ්නි නුවර තමයි ප්‍රසංග පැවැත්වුණේ. මුලින්ම මෙල්බන් නුවර ප්‍රසංගයට මමත් නන්දා මාලනී මහත්මියත් සහභාගි වුණා. ඒක ඉවරවෙලා අපි සිඩ්නිවලට ආවා. එතනට ලංකාවෙන් වික්ටර් රත්නායක මහත්තයායි, සුනිල් එදිරිසිංහ මහත්තයායි ආවා. එතකොට අපි හතර දෙනාගෙම එකතුවක් තමයි සිඩ්නිවල තිබුණේ. ඉතින් ගමන් දෙකම ඉතා සාර්ථක ප්‍රසංග දෙකක් වුණා. ඒකට හේතුවක් තමයි අපි එහෙම නිතර නිතර ප්‍රසංගවලට යන්නෙත් නෑ. අපි යන්නේ එක්කෝ අවුරුද්දකට දෙකකට සැරයක්.
එම රටවල ඉන්නා අපේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ආරාධනා එහෙමත් ලැබෙනවා ඇති...?
ඔව්.... බොහෝ ආරාධනා ලැබෙනවා. ඒ අය හරිම මිත්රශීලියි. මට මතකයි තිස්ස කියන දොස්තර මහත්මයෙක් අපිට ඔහුගේ ගෙදර තේ පැන් සංග්‍රහයකට ආරාධනා කළා... අපව එයාගේ ගෙදරට එක්ක යන්නත් එන්නම් කිව්වා. මම හා කිව්වා... එහේ දුර කියන්නේ වෙලාවල්වලින්. කිව්වේ යන්නේ පැය භාගයයි කියලයි. විශ්වාස කරන්න අපි තේ ටික බොන්න කිලෝමීටර් අනූවක් ගිහින් තිබුණා. අපිව ගෙනියන්නයි, ආයේ ගෙනත් බස්සන්නයි Dr. තිස්ස ආවා. ඒ තේ ටික බීලා ගිහින් එන්න අපිට කිලෝමීටර් එකසිය අසූවක් ගියා. හැබැයි ගතවුණේ පැයක ගමනක්. තිස්සට ඒ ගමනට කිලෝමීටර් තුන්සිය හැටක් ගියා. හැබැයි ඒක එයාට ගාණක්වත් නෑ. එහේ පාරවල් අබලන් නෑ. හැම දෙයක්ම හරි දියුණුයි. ඒකනේ අපේ රටේ අය ඒ වගේ රටවල්වලට යන්න දඟලන්නේ. හැබැයි මම නම් කියන්නේ එහෙම පිටරටවල්වලට යන්න හදන්න එපා. දුක් විඳගෙන මෙහෙම ඉන්න... ඒ දුක හරි සැපක්. ඒ සැප එහාට ගියාට පස්සේ ඔයාලට ලොකු දුකක් වෙනවා.
ඔබ ගහකොළට ස්වභාව දහමට ආදරය කරන පොළොවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක්....
නුවර පේරාදෙණියයි කටුගස්තොටයි අතර දොඩම්වල කියන තැනක් තියෙනවා. මම ඉපදුනේ නුවර දොඩම්වලයි. මුලින්ම මම ඉගෙන ගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ. ඒක කතෝලික, ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නපු පාසලක්. ඒක ඇත්තටම පාසලක්ම තමයි. ඉගැන්වීම් සියයට සීයක් හරි. විනය උපරිමයටම තිබුණා. අද පාසැල් බොහෝමයක ඒවා නෑ. ඒක තමයි මට දුක. පාසැලේදීත් ළමයා විනයකට යටත් කරලා ඒ විනය පාසැල තුළදී තියෙනව නම් ඒකට දඬුවම් කරන්න ඕනේ. ඒත් අද එහෙම බෑ. ඉස්සර වේවැල් කසාය දුන්නා කියන්නේ ඒකනේ. ශාන්ත අන්තෝනි විදුහලෙන් පස්සේ මම කුරුණෑගල මලියදේව විදුහලට ඇතුළත් වුණා.
කුරුණෑගල මලියදේවයත් විනයගරුක ශිෂ්‍යයෙක් වෙන්න ඔබට උදව් වුණා නේද?
ඔව්... ඇත්තෙන්ම. මට මතකයි අපිත් එක්ක ඉගෙන ගත්තු ළමයෙක්ට ගුරැතුමා තරවටු කළා කියලා ළමයාගේ තාත්තා පාසලට ඇවිත් ගුරුතුමාට දොස් කිව්වා. එදා විදුහල්පතිතුමා කැඳවලා දෙපැත්තෙන්ම ප්‍රශ්න කළා. අන්තිමට විදුහල්පතිතුමා කිව්වේ මලියදේව කියන්නේ වරදට දඬුවමක් කරන පැසැලක්. ළමයා හදාගන්නයි එහෙම කරන්නේ. එහෙම දඬුවම් නොකරන පාසැලුත් මෙහේ ඇති ඒ නිසා පියන්ට කතා කරලා ඔෆිස් එකේ ෆයිල් බාරව ඉන්න ගුරුතුමාගෙන් ඒ ළමයාගේ ෆයිල් එක ගෙනල්ලා මලියදේව කියන්නේ වැරදිවලට දඬුවම් දෙන පාසැලක් මේ අවට ඇති වැරදි දැක දැක දඬුවම් නොකරන පාසැලකට යන්න මේ ළමයාට අවසර දෙමි කියලා ලියල ලියුමක් දීලා ළමයාව ඉස්කෝලෙන් අයින් කළා.
සංගීතයට ඔබේ ඇල්ම ආරම්භ වුණේ ශාන්ත අන්තෝනියෙන්ද...? මලියදේවයෙන්ද...?
ශාන්ත අන්තෝනියේදී අපිට ඉගැන්වූයේ බටහිර සංගීතයයි. අපි කොට කලිසම ඇඳලා අත් දිග සුදු ෂර්ට් එක ඇඳලා ටයි එකක් දාලා සංගීත කාමරේ හිටපු හැටි මට තාම මතකයි. ඒකේ ලොකු පියානෝව ළඟ සංගීත ගුරුතුමිය වැඩිවෙලා ඉන්නවා. අපි පියානෝ වටේ ඉඳගෙන ස්වර ඉගෙන ගත්තා. ඒක හරි පිළිවෙළට අපිට ඉගැන්නුවා. අපි හරිම ආසාවෙන් ඒ සංගීතය ඉගෙන ගත්තා. ඒ ගුරුතුමීත් අපිට ආදරෙන් ඒ දේ කියලා දුන්නා.
ශාන්ත අන්තෝනියේ විදුහල්පති වුණේ ෆාදර් කෙනෙක් නේද...?
ඔව්...ඒ ෆාදර් අර ලොකු ලෝගුවේ සාක්කුවේ ඇතුළේ කඩදාසි බෑග් එකකට ලොසින්ජර් දාගෙන අපි ඉගෙන ගන්නා සංගීත පංතියට එනවා. ඒ ඇවිත් අපි ඉගෙන ගන්නා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ෆාදර් එනදාට අපිට හරි සතුටුයි. අපෙන් පුංචි පුංචු ප්‍රශ්න අහලා ෆාදර් අර කඩදාසි බෑග් එකේ තියෙන ලොසින්ජර් අපිට දෙනවා. මට තාම මතකයි හැමදාමත් ෆාදර් අහන්නේ Show me your eyes? Show me your hands වගේ පුංචි පුංචි ප්‍රශ්නයි.
බටහිර සංගීතය හදාරපු ඔබ පෙරදිග සංගීතය හැදෑරුවේ කොයි කාලේදී වගේද?
ශාන්ත අන්තෝනි විදුහලෙන් පස්සේ කුරුණෑගල මලියදේවයට ආවට පස්සේ එතනදී ඇහුවේ ස,රි,ග,ම,ප,ද,නි,ස, කියන ටිකයි. පස්සේ මම තේරුම් ගත්තා මේ පෙරදිග සංගීතය නේද කියලා. ඊට පස්සේ මම පෙරදිග සංගීතය හැදෑරුවා. ශාන්ත අන්තෝනියේ ඉගෙන ගත්ත අය තමයි ස්ටැන්ලි පීරිස්, රූකාන්ත ගුණතිලක, සුනිල් සිරිවර්ධන වගේ අය. ඉස්සර ෆාදර් තාරවෝ, කුකුලන් වගේ සතුන් පාසැල් වත්තේ හැදුවා. ඉතින් අපි ඉස්කෝලෙට ආවේ ඔය සත්තු අතගගායි. ඒක හරි සුන්දර කාලයක්. සුන්දර ළමා කාලයක්. ෆාදර් කවදාවත් ළමයින්ට ගැහුවේ නෑ. හැබැයි ලෝගුවේ අත අස්සේ දිග වේවැලක් තිබුණා. වේවැලෙන් කාටතවත් ගහපු දවසක් මට මතක නෑ. ෆාදර් හැමවෙලේම කිව්වේ අපි සිංහ පැටව් කියලයි. ඒක හරි සුන්දර ලෝකයක්. ඉතින් මම පියාගේ රැකියාවේ මාරුවීම් එක්ක අපේ පාසැල් ගමන්ද වෙනස් වුණා.
කොහොමද එතකොට ඔබට මාලතීව මුණගැහෙන්නේ?
මගේ මුල්ම පත්වීම වුණේ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ සංගීත උප ගුරුවරයෙක් විදිහටයි. එතකොට මාලතී හිටියේ ඇතුල් කෝට්ටේ. එතකොට මාලතී පාසැල් හැරයන අන්තිම ළමයි. ඉතින් මම දවසක් ඡායාවක් දැක්කා. මට ඒක එච්චර ගාණක් නෑ. පත්වීම ලබලා සති තුනකට විතර පස්සේ මම යාළුවෙක් එක්ක ළඟ පන්සල් ගියා. මාලතීත් ඒ පන්සල් ඇවිත් හිටියා. අපි කතා කළා. එදා එයාලගේ ගෙදරින් තමයි මල් පූජාවයි ගිලන්පස පූජාවයි තිබුණේ. ඉතින් මම දිනේ මතක තියාගෙන ඊළඟ දවසෙත් අහම්බෙන් ගිය විදිහට ගිහින් කතා කළා. එහෙම හම්බවෙලා අන්තිමට මායි මාලතීයි විවාහ වුණා. අද අපිට ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් අපි දෙන්නා සීයලා ආච්චිලා. මම රැකියාවෙන් විශ්‍රාම ගනිද්දී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට කටයුතු කළා.
ඉස්සර අපි කිව්වේ ගාන තෙල් සඳුන් වරලස වගේ ගීතයන්. ඒ කාලේ හේවාවිතාරණ විදුහලේ ළඟම තමයි කේමදාස මාස්ටර්ගේ ගේ තිබුණේ. හැබැයි දෙන්නට දෙන්නා අඳුරගෙන තිබුණේ නෑ. මම ඒ කාලේ දකිනවා හරි වේගෙන් දුවලා ගිහින් බස්වල එල්ලෙන ටිකක් මිටි මනුස්සයෙක්ව. දවසක් කේමදාසයන් මට සරල ගී ගායනයකට කතා කළා. එදා තමයි මම දැනගත්තේ අර වේගයෙන් දුවලා ගිහින් බස් එකේ ඉල්ලුන මිටි මනුස්සයා තමයි කේමදාස මාස්ටර් කියලා. මට ප්රබුද්ධ ගීතීයන් ගායනා කරන්නට අවස්ථාව ලැබුණා.
ඉසුරු අද පියාගේ අඩිපාරේ යන දරුවෙක්. මොකද හිතෙන්නේ?
සතුටුයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව තමයි පවුලේ වැඩිමල්. ඊළඟට පුතා. ඉසුරුත් දැන් ගීත ගායනා කරනවා. ඒ වගේම එයා දැන් ගුරුවරයෙක්. පුතා ඉන්නේ හෝකන්දර ප්‍රදේශයේ. පුතාටත් දරුවෙක් ඉන්නවා. දුවටත් දරුවෙක් ඉන්නවා. ඉතින් දරුවෝ ගැන දැන් මායි මාලතියි ඉන්නේ සතුටින්.
අද පවතින රැල්ල ගැන ප්‍රවීණයෙක් විදිහට ඔබ මොකද හිතන්නේ?
ඕනම දෙයක් ඇතිවෙනවා. ටික කාලයක් පවතිනවා. ආයේ ඒක නැතිවෙනවා. මේ ගහකොළ, සතා සීව්පාවා මේ හැමදේටම උරුම දෙයක් තමයි ඒක. අද බොහෝ දෙනෙක් වැඩි දෙයක් කරන්න ඕනේ කියලා කරන්නේම විනාශයක්. හොඳ වචන වෙනුවට කැපී පෙනෙන්න වැඩකට නැති අනවශ්‍ය වචන දාලා පද රචනා හදනවා. ඉස්සර වාරණයක් තිබ්බා. ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනට යනකොට ඒ ගීත ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ගීතවල නුසුදුසු වචන තිබුණොත් ඒවා අයින් කරලා එයාලා සුදුසු වචනයක් දානවා. මට තාම මතකයි ඒ කණ්ඩායමේ හිටියේ කරුණාරත්න අබේසේකරයන්, මඩවල එස් රත්නායකයන්, සරත් විමලවීරයන් වැන්නන්. ඒත්... අද එහෙම නෑ. ඕනෑම නාලිකාවක ඕනෑම දෙයක් කියන්න අද නිදහස තියෙනවා. ඒ අතරින් බලන්න අද හැදෙන සමහර ගීත. අපි අදටත් බයයි වැරදි වචන කියන්න. මට තාම මතකයි මම රත්තරන් නෙත් දෙකින් ගීතය කියලා මුලින්ම ගෙදර ආපු දවසේ රත්තරන් කියන වචනය නිසා ගොඩාක් දුක්වුණා ඇයි ඒක කිව්වේ කියලා.
ඉතින්... හොඳ දෙයක් චිරාත් කාලයක් පවතීවි. අදටත් මම නරක වචන කියවෙයි කියලා බයයි. අද කාලේ අයට ඒ බය නෑ. ඒත්... සල්ලිවලට වඩා හෘද සාක්ෂිය දවසක කතා කරාවි. එදාට හිතේ දුකක් නැත්නම් අපිට සතුටු වෙන්න පුළුවන් වේවි.
Text -Dishani / Pic- Sumudu.
| Deshaya