‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක විදියට ගැනෙන්නේ ජෙහාන් හා ප්‍රියන්තයි. ඔවුන් දෙදෙනාගේ රංගනය දෙදෙනාට ගෙනෙන්නේ ආලෝකයක්. ගමෙන් නගරයට පිවිසෙන ප්‍රියන්තත්, නගරයේ ජීවත්වන ජෙහානුත් අතර තිබෙන අවියෝජනීය සම්බන්ධතාව හරහා නරඹන්නන්ට හෙළිවන්නේ සමස්ත සමාජයේ ගති ස්වභාවයයි.
කළණ ගුණසේකර කියනවාට වඩා බොහොම දෙනෙක් ඔහුව දන්නේ ප්‍රියන්ත මහඋල්පතගම කියන නමෙන්. ඒ තරමටම ප්‍රියන්ත රූපවාහිනි නරඹන්නන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය බොහෝදෙනාගේ අවධානයට ලක්වුණා වගේ ම එහි රඟපාන චරිත කිහිපයටත් ඔවුන් ආදරය කරන්නට පටන්ගෙන. ඔවුන් ආදරය කරන ඒ ප්‍රියන්ත නොහොත් කළණ පසුගිය දිනෙක අපට මුණ ගැසුණා. ඔහු කළණ ගැන වගේ ම ප්‍රියන්ත ගැනත් කිව්වේ මේ වගේ කතා කිහිපයක්. ඒ ඇසුරිනුයි මේ ලිපිය සැකසුණේ.
ප්‍රියන්ත වගේ නොවෙයි කළණ කියන්නේ පුංචි කාලයේ පටන් ම දඟයෙක්. වෙනිවැල්කොළ ග්‍රාමයේ උපන්න කළණගේ මේ ගම පිහිටියේ පිළියන්දල කහතුඩුවට තරමක් දුරින්. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුණු ඔහුට සිටියේ මල්ලියකු පමණයි. කාර්මික විද්‍යාලයේ ඉගැන්වුව කළණගේ තාත්තා ඔවුන් දාල මේ ලොවෙන් සඳහටම යන්න ගියේ 2001 වසරේදි. අම්මා මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කළා. ඒ නිසා කළණට ඒ තරම්ම ජීවිතේ ගැන බරක් තිබුණේ නැහැ. තාත්තා සිටි කාලයේ කළණත්, මල්ලිත් එක්කගෙන ඔහු ගම ආසන්නයේ තිබුණු වැලන්ටයින් හෝල් එකේ පෙන්නුව නාට්‍ය, චිත්‍රපට නරඹන්න එක්කගෙන විදිය කළණට තවමත් මතකයි.
“කුඩා කාලයේදි මට රඟපාන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් අම්මා මා පාසල් යන කාලයේදි කථික තරගයකට ඉදිරිපත් කරනවා. සමස්ත ලංකා තරගයේදි අටවැනි තැන මට ලැබුණේ ඒ විදිටයි. ඉන්පස්සේ පාසලේ විවාද කණ්ඩායමටත් මාව තෝරා ගන්නවා. කලක් මා විවාද කණ්ඩායමේ නායකයාත් වී සිටියා. මේ අතර මා නාට්‍ය ඉගෙන ගන්න යොමුවන්නේ පන්තියේ ඉන්නවාට වඩා පන්ති කට් කරන්න තිබෙන වුවමනාවටයි. ඉගෙන ගන්න මට තිබුණේ පුදුම කම්මැලිකමක්.”
ඒ කම්මැලිකම නිසා ම ඔහු පිළියන්දල කනිෂ්ඨ විද්යාලයේදිත් කළේ අපූරු වැඩක්. ඒ වනවිට ඔහු සිටියේ හතරවැනි පන්තියේ. ඉගෙන ගන්න කම්මැලිකමක් දක්වන යහළුවෝ කිහිපදෙනෙකුත් කළණත් එක්ක රංචු ගැසුණා. ඔවුන් සමඟ පාසල කට් කළ කළණ පාසලේ එහා පැත්තේ තිබෙන වැවේ මාළු බෑවා. ඒත් වැඩි වෙලාවක් එහෙම මාළු බාන්නට ඔවුන්ට ඉඩ ලැබුණේ නැහැ. ඒ විදුහල්පතිතුමාගේ අතටම මාට්ටු වුණු නිසා. මේ වගේ දඟවැඩවලින් කළණගේ දඟවැඩ අවසන් වුණේ නැහැ. පසුව ඔහු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට පිවිසුණා පමණයි. ඔහු ඇතුළු පිරිසට අපූරු අදහසක් පහළ වුණා.
“ඒ දවස්වල රොබින්හුඩ් රූපවාහිනියේ පෙන්වන කාලේ. මා ඇතුළු යහළුවන් පිරිසටත් රොබින්හුඩ් වෙන්න වුවමනා වුණා. ඒ සඳහා අප තෝරා ගත්තේ යාල වනෝද්‍යානයයි. එහි ගිහින් සටන් කරන්නට වුවමනා ආයුධ හදාගත්තේත් අපිමයි. ස්පෝක් කම්බි ගෙනැත් දුණු හදලා, ඊතල ගෙනැත්, පිහි හදලා ඒ සියලු බඩුත් එක්කයි අප ඒ කටයුත්තට සූදානම් වුණේ. මම සිටියේ හසියර්ටයි. අප සිතාගෙන සිටියේ යාල වනයට ගියාට පස්සේ අපව අල්ලන්නට එන පොලිස් නිලධාරින් තමයි අපේ හතුරෝ කියලා. ඔවුන්ට දුණු හීවලින් විඳලා ඔවුන් මරන්නයි අප තීරණය කරගෙන සිටියේ. ඒ වගේ ම මුවන් මරන විදියත් අපි සැලසුම් කළා. කොහොම වුණත් ඒ වැඩේ එදා කළා නම් හොඳට දඬුවම් විඳීන්න තිබුණා. පත්තරේ නොගිහින් බේරුණා.”
මේ අතරයි කළණ මුතුහර ළමා සමාජයට සම්බන්ධ වෙලා වැඩ කළේ. ඒ කටයුතුවලට ඔහු වැඩිපුරම සහභාගි වුණේ පන්ති කට් කරන්න වුවමනා නිසයි. කොහොම වුණත් ඔහු ඒ ලෙවල්වලට තෝරා ගන්නේ වාණිජ විෂයයන්. ඒ කළණගේ යහළුවෝ සියලුදෙනාම වාණිජ විෂයය තෝරා ගැනීම නිසයි ඔහුත් කොමස් තෝරා ගන්නේ. ඒත් ඔහුගේ දක්ෂතා දැක්ක ධර්මදාස මිස්, නිලන්ති මිස්, ජයතුංග මිස් කළණට කිව්වේ කලා විෂයයන් කරන්න කියලා.
“පාසල් කාලයේදීම නාට්‍ය කළ නිසා ඒ නාට්‍ය නැරැඹුව එළියේ නාට්‍ය කළ බොහෝදෙනා අපව හඳුනාගෙනයි සිටියේ. ඒ නිසා පාසලෙන් ඉවත් වුණාත් සමඟ ම ඔවුන්ගේ විවිධ නාට්‍යවලට අපව සම්බන්ධ කර ගත්තා. ඒ අතර මා ප්‍රේමකුමාර කරුණාරත්න කියන ගුරුතුමාගෙන් රංගනය හැදෑරුවා. ඔහුයි ධර්මප්‍රිය ඩයස් ඇතුළු අද කලා ලොවේ ඉන්න ශිල්පීන් රැසකගේ ම ගුරුතුමා වන්නේ. ඒ අත්දැකීමත් සමඟ ප්‍රදේශීය නාට්‍ය රැසකම රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබෙනවා. ඒ අතරදියි ධර්මප්‍රිය ඩයස් අයියා මාව හා මලික්ව ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වුණු ‘මුහුණට මුහුණ’ වේදිකා නාට්‍යයට සම්බන්ධ කරන්නේ. එහි වේදිකා පරිපාලකවරයකු විදියට කටයුතු කිරීමට මට අවස්ථාව ලැබෙනවා.”
එහිදි අපූරු සිදුවීමකුත් සිදු වෙනවා. ඒ එහි පවතින යුද්ධයේදි එහාමෙහා යන පිරිසට කළණත් එකතු වෙනවා. මේ යුද කලබල අතරදි ඔහුගේ ඔළුව ධර්මප්‍රිය ඩයස්ගේ ඇහිබැමේ වඳීන්නේ නොසිතුව අයුරින්. අවසානයේ ඇහිබැමට මැහුම් දෙකක් දාන්නත් ධර්මප්‍රිය ඩයස්ට සිදුවුණා නම් පමණක් මොකද? අද දක්වාත් ඒ කැළල ඔහුගේ මුහුණේ තිබෙන්නේ කළණව සිහිපත් කරමින්.
“ඒ විදියට දිගටම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වන මම හා මලික් වේදිකා පරිපාලකවරයකු විදියට යළිත් කටයුතු කරන්නේ සරත් කොතලාවලගේ ‘සූකරයකු සමඟ’ වේදිකා නාට්‍යයේයි. ඒ හරහා විවිධ අත්දැකීම් ලබාගැනීමට මට හැකියාව ලැබෙනවා. ඒ නාට්‍ය හරහා ලැබෙන මුදලින් කොටසක් වෙන් කිරීමත් සමඟයි ‘දාස මල්ලිගේ බංගලාව’ නාට්‍යය මටත්,මලික්ටත් අධ්‍යක්ෂණය කිරීමට ලැබෙන්නේ. ඒ නාට්‍යය සඳහා රාජ්‍ය සම්මාන උලෙළේ සම්මාන හතක් හිමිවෙනවා. ඉන්පසුව ‘ලයිසිස්ට්‍රාටා’ ‘මං දියවෙලා’, ‘ඊගෝ නගරය’, ‘රයිනෝසිරස්’, ‘ලේ නෑයා’ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ වගේ නිර්මාණවලට මා රංගනයෙන් දායක වුණා. ප්‍රියන්ත සිරිකුමාරගේ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යයේදි මා රඟපාන්නේ යෞවන සම්මාන උලෙළේදි පමණයි. එහිදි මට හොඳම නළුවා විදියට සම්මාන ලබනවා. ඒ 2012 වසරේදි. 2014 වසරේදී ‘ඊගෝ නගරය’ට හොඳම නළුවා විදියට ජූරියේ විශේෂ සම්මානයක් හිමිවෙනවා. ඒ විදියටයි වේදිකාවේ ගමන පෙළගැසෙන්නේ. මේ දවස්වල වේදිකාවේ මා රඟපාන්නේ ‘ලස්සන මුරුගයා’ කියන වේදිකා නාට්‍යයේ.”
ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘මේ වසන්ත කාලයයි’, අනුරුද්ධ ජයසිංහගේ ‘යකඩ පහන්තිර’, ආනන්ද අබේනායක මහත්තයාගේ ටෙලි නාට්‍ය කිහිපයකමත්, ලලිත් රත්නායකගේ ‘වන්වේ’, සුමුදුගේ ‘හුස්ම සහ ඔක්සිජන්’, ලක්මිණි අමරදේවගේ ‘විභාගේ ෆේල්’, තුෂාරි අබේසේකරගේ ‘ශ්වේත ගංතෙර’ සාරංගගේ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ ආදී නිර්මාණ රැසකටම කළණට රංගනයෙන් දායක වීමට පුංචි තිරය හරහා අවස්ථාව හිමිවන්නේ ඉන්පසුවයි. ඒ වගේ ම කළණ ‘හුස්ම සහ ඔක්සිජන්’ ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් සිග්නීස් සම්මාන උලෙළේදී හොඳම සහය නළුවා ලෙසත්, රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයකටත් හිමිකම් කියන්නේ සිය දක්ෂතා විදහාපාමින්.
“‘ගිනි අවි සහ ගිනිකෙළි’ ටෙලි නාට්‍යයේ මා රඟපෑ සුන්නා ඒ කාලයේ ජනප්‍රිය වුණු චරිතයක්. ඒ කාලයේ මට හැමෝම මේ නමින් කතා කරන්න ගත්තා. ඊට පසුවයි ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රියන්තව ජනප්‍රිය වන්නේ. ‘කූඹියෝ’ අධ්යක්ෂ ලක්මාල් සමඟ මා මීට පෙර වැඩ කරලා තිබුණා. ඔහු මගේ මිත්‍රයෙක්. ඔහු මට මේ චරිතයට කතා කළාට පස්සේ මම පිටපත කියවලා බැලුවා. ඒ පිටපත ගැන මගේ සිතේ ඇතිවුණේ කියා ගන්න බැරි සතුටක්. දමිත චන්ද්‍රසිරි හා ලක්මාල් තමයි මෙහි පිටපත ලියලා තිබුණේ. ඔවුන් සමඟ කතා කරලා බලලා, මට පුළුවන් විදියට මා මේ චරිතයට පිවිසුණා. ප්‍රියන්තගේ චරිතයේ යම් සාර්ථකත්වයක් තිබෙනවා නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ අධ්යක්ෂවරයාට හා පිටපත් රචකයන්ටයි. මොකද නළුවාගේ සාර්ථකත්වය තිබෙන්නේ අධ්යක්ෂවරයා හා රචකයා අතේයි. නළුවා කියන්නේ ඒක ඇතුළට යන විෂයක් විතරයි. ඒ නිසා ප්‍රියන්ත හා කළණ කියන්නේ දෙන්නෙක්.”
‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක විදියට ගැනෙන්නේ ජෙහාන් හා ප්‍රියන්තයි. ඔවුන් දෙදෙනාගේ රංගනය දෙදෙනාට ගෙනෙන්නේ ආලෝකයක්. ගමෙන් නගරයට පිවිසෙන ප්‍රියන්තත්, නගරයේ ජීවත්වන ජෙහානුත් අතර තිබෙන අවියෝජනීය සම්බන්ධතාව හරහා නරඹන්නන්ට හෙළිවන්නේ සමස්ත සමාජයේ ගති ස්වභාවයයි. ජෙහාන් හෙවත් තුමිඳු දොඩන්තැන්න කළණට මුණ ගැසෙන්නේ ‘අරුන්දතී’ හරහායි.
“මා තුමිඳුව හඳුනගන්නේ පාසල් කාලයේදී. ඒ ඔහුගේ ‘අරුන්දතී’ කියන වේදිකා නාට්‍යය නැරැඹීමෙන්. එවිට මා ඔහුගේ නාට්‍ය රසිකයෙක්. ඊට පස්සේ මා ඔහුගේ ‘රයිනෝසිරස්’ වේදිකා නාට්‍යයේ රඟපානවා. එහිදි ඔහු මගේ අධ්යක්ෂවරයා. එදා පටන් අපි හොඳ යහළුවෝ. තුමිඳු ඉතා ම හොඳ නළුවෙක්. ඔහු ඔහුගේ පෞරුෂයෙන් කිසිවකුත් යටපත් කරන්න හදන නළුවකු නොවෙයි. රංගනය කියන විෂයය ඇතුළේ ඉන්න නළුවෙක්. ඒ නිසා තුමිඳු කියන්නේ රේස් අශ්වයෙක් නොවෙයි. ඉතා ම ආදරණීය රංගන ශිල්පියෙක්.”
මාලකගේ ‘බහුචිතවාදියා’, කසුන් පතිරණගේ ‘නයිට් රයිඩර්’, කෞශල්‍ය මාධවගේ ‘ඉක්කා’, ජගත් මනුවර්ණගේ ‘මුරුග සන්නිය’, සුජීව ප්රියාල්ගේ ‘සුපර්ණා’ ඇතුළු චිත්‍රපට රැසකදි ම කළණගේ රංගනය ඉදිරියේදි ඔබට දැක ගත හැකිවේවි.
“මඟතොටේදි හමුවන ප්‍රේක්ෂකයන් මාව හඳුනාගෙන “හලෝ ප්‍රියන්ත...” කියලා කතාබහ කරනවා. නළුවකුගේ සාර්ථකත්වය තිබෙන්නේ ප්‍රේක්ෂකයා මතයි. ප්‍රේක්ෂකයා නළුවාට තෑග්ගක් විදියටයි ඔහුගේ ආදරය ප්‍රකාශ කරන්නේ. ඒ ප්‍රකාශය නළුවකු ඇඳ ගන්න ඕන කාරණයක් නොවෙයි. ඒ හරහා නළුවකුට ලැබෙන්නේ ලොකු වගකීමක්.”
කිසිම පවුල් බරක් නොමැතිව සැහැල්ලු ජීවිතයක් ගෙවන කළණගේ පවුලේ තොරතුරු ගැන ඔහු පැවසුවේ මේ වගේ කතාවක්. ඔහුගේ බිරිය ප්‍රවීණ කලා අධ්යක්ෂ හීනටිගල ප්‍රේමදාසගේ දුව ගයත්‍රියි.
“වැරැදියි. මා විවාහ වී සිටින්නේ ගයත්‍රි හීනටිගල සමඟයි. ඇගේ තාත්තා හීනටිගල ප්‍රේමදාසයි. (සිනහවෙමින් පවසයි) බිරියව මට මුණ ගැසෙන්නේ එක්තරා පුද්ගලික නාලිකාවකදියි. මා නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් සහිත වීඩියෝවක් දමා ගන්නයි එහි පිවිසුණේ. ඒත් ඒක ප්‍රචාරය කර ගැනීම කොහොම වෙතත් මා හා ඈ අතර ආදරයක් ලියලා වැඩුණා. මේ වනවිට අප විවාහකයි. මගේ රංගන කටයුතුවලට ඇගෙන් වගේ ම නිවැසියන්ගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඒ කටයුතු මට නිදහසේ කරගෙන යන්න ඉඩදීලයි ඔවුන් ඉන්නේ. ඒ නිදහස ඇත්තටම මට ලැබුණු අපූරු අවස්ථාවක් විදියටයි මා දකින්නේ.”
කළණ ගුණසේකරගේ සාර්ථක රංගනය පිටුපස සිටින්නේ බිරිය ගයත්‍රියි. ඒ වගේ ම සෑම නිර්මාණයකටම රංගනයෙන් දායක නොවන ඔහු ඉදිරියේදි තිරරචකයකු විදියට ඔබ හමුවට පිවිසේවි. ඒ ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටයේ තිරරචනය ලියන ලද්දේද ඔහුයි. ඊට අමතරව බුද්ධික ජයරත්නටත් තවත් තිරරචනයක් ලියා අවසන් කළ ඔහුගේ තවත් නිර්මාණ හතරක් ඉදිරියේදි ඔබ හමුවට පිවිසීමට නියමිතයි.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - හිරන්ත ගුණතිලක