ඇගේ රුව ඔබට තවමත් නුහුරු ය. එහෙත්, නුදුරේදීම ඇය ඔබේ ආලින්දයට පැමිණෙන, ඔබට ළෙන්ගතු චරිතයක් වනු නිසැක ය. පසු ගියදා ස්වාධීන රූපවාහිනියේ විකාශය ඇරැඹු, නාමල් ජයසිංහගේ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ ‘උත්තරා දේවී’ ඇය ය. මේ පිළිසඳර, ඒ උත්තරා දේවි, නැත්නම් කලණි දොඩන්තැන්න සමඟ ය.
ඔබ, ප්‍රේක්ෂකයා හමුවට ටෙලි සිත්තමකින් පැමිණෙන පළමු අවස්ථාව ‘සහෝදරයා’ යි. මේ ක්ෂේත්රයට ආගන්තුකයෙක් වන ඔබ පිළිබඳ ප්‍රථමයෙන් ම විස්තර ටිකක් කියමුද?
මම කළණි මේනකා විල්සන්. විවාහයෙන් පස්සේ කලණි දොඩම්තැන්න කියලයි භාවිත වෙන්නේ. මගේ ගම මට්ටක්කුලිය. පවුලේ තොරතුරු කිව්වොත්, අම්මයි, තාත්තයි මාත් එක්ක සහෝදරියෝ ම තුන්දෙනයි.
කවුද මේ කලණි කියන්නේ?
කලණි කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයෙන් චිත්‍ර කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය මම ලබා ගත්තා. ඒත් දැන් මම වෘත්තීමය වශයෙන් චිත්රකලා චිකිත්සකවරියක් ( Art Therapist). මානසික ගැටලුවලින් පීඩා විඳින දරුවන්ට මානසික ප්‍රතිකර්මයක් විදිහට චිත්‍ර යොදාගෙන, මානසික ප්‍රතිකාර කිරීම, මේ ක්‍රමය මඟින් සිදු වෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආගමනය සිදු වෙන්නේ කොහොමද?
‘සහෝදරයා‘ කියන ටෙලි නාට්‍ය ඔස්සේ තමයි ආගමනය සිදු වෙන්නේ. මෙය, මුල ඉඳන් අවසානය දක්වාම බෙහොම මහන්සියෙන්, කැපවීමෙන් කළ නිර්මාණයක්. ඒ නිසා ,හිතේ ලොකු සතුටක් තියෙනවා. දැන් මමත් ආසාවෙන් ඒ නාට්‍ය නරඹනවා.
ඒ අවස්ථාව අහම්බයක් ද?
මගේ පවුලේ කිසිම කෙනෙක් රංගනයට සම්බන්ධ නැහැ. රංගනයට සම්බන්ධව මම දැනගෙන හිටපු එක ම කෙනා තුමිඳු . ඒ කියන්නේ මගේ සැමියා.
මුල් දවස්වල ඔහුගේ රංගන ජීවිතය හරි ම අලුත් අත්දැකීමක් වුණා. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ නාමල් ජයසිංහ. මම විශ්වවිද්‍යාලයේදී ඔහුගෙන් ඉගෙන ගත්තා.මම ඔහුගේ ශිෂ්‍යාවක්. ඒ වගේ ම ඔහු මගේ සැමියාගේ සමීපතම මිතුරෙක්. ඔහුගේ අලුත් නිර්මාණයේ රජිව්ගේ චරිතයට තෝරගෙන තියෙන්නේ තුමිඳුව කියලා කාලෙකදී මම දැන ගන්නවා . ‘කලණි මේ පිටපත කියවලා බලන්න කියලා’ තුමිඳුගෙන්මයි මට පණිවිඩේ ලැබුණේ . ඒ පිටපත හරිම ලස්සනයි. පුදුම විදිහට මට ළෙන්ගතුයි. කියවලා ඉවර වුණ ගමන්ම මම අධ්යක්ෂවරයා සමඟ ඒ ගැන කතා බහ කළා.
චරිතය ළෙන්ගතු වුණාට, රංගනයට ඔබේ චකිතයක් තිබුණේ නැද්ද ?
ලොකු චකිතයක් දැනුණා. මොකද රංගනය සම්බන්ධයෙන් මට කිසිඳු ආභාෂයක් තිබුණේ නැහැ. මම වැඩ කළෙත් ප්‍රවීණයෝ රැසකට මැදිවෙලයි. ඒත්, ඒ කිසි ම වෙලාවක මට ආගන්තුක බවක් හැඟෙන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. මුළු නිෂ්පාදක කණ්ඩායමෙන්ම මට ලැබුණු සහය අපරිමිතයි. මගේ බය නැති කර ගන්න ඒ ලැබුණු සහය, මේ චරිතය සාර්ථකව කර ගන්න මට බොහෝ සෙයින් ම ඉවහල් වුණා.
‘උත්තරා දේවි‘ඔබට දැනෙන්නේ කොහොමද?
ඇය මට හරි ම හුරු පුරුදු සංවේදී චරිතයක්. පිටපත කියවගෙන යද්දි අධ්යක්ෂවරයා ලියූ ඒ උත්තරා දේවි, සමහර තැන්වල මම ද කියලා හිතුණු වාර අනන්තයි. මමත් ඇය වගේම දමිළ, කතෝලික තරුණියක්. ඇගේ සංස්කෘතිය මට හරි ම ළෙන්ගතුයි. මම වගේම ඇය විවාහ වෙන්නෙත් සිංහල බෞද්ධ තරුණයෙක් සමඟ. සැමියා සමඟ නිරතුරු කාලය ගත කරන්න ඈ බොහොම කැමැතියි. හරියටම මං වගේමයි. ඒ නිසා ඇය තේරුම් ගන්න මට අපහසු වුණේ නැහැ. මේ චරිතයේ බොහොම සංවේදී වූ අවස්ථා තිබුණා. ඒ චරිතය සහ මා අතර තිබෙන සමානකම් එක්ක ඒ අවස්ථා මට නිරායාසයෙන්ම දැනෙන්න පටන් ගෙනයි තිබුණේ.
ඒත් , උත්තරා දේවී ඔබට අභියෝග වූ අවස්ථා තිබෙන්නත් ඇති?
මා මේ චරිතයට තෝරා ගත් පසු, ඇය කොතරම් මට ළෙන්ගතු වුණත්, කැමරාවක් ඉස්සරහ ඊට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන්ද කියන අභියෝගය මට තිබුණා. එ නිසාම නිතරම මම අධ්යක්ෂවරයා සමඟ චරිතය ගැන කතා කළා. මේ චරිතයට සමානකම් තිබෙන චරිත ඇතුළත් චිත්‍රපට කිහිපයකුත් බලන්න කියලා මට අධ්යක්ෂවරයා ගෙනත් දුන්නා . ඒ අතර අපි හැමෝම පිටපත් කියැවීමේ අභ්‍යාසය කළා. සමහර දෙබස් කියලා පුහුණු වුණා. හැම දර්ශනයක්ම රූගත කරන්න කලින්, පෙර පුහුණුවීම් කළා. බොහෝ වෙලාවට මම රඟපානවාද කියලා නොදැනෙන තරමටම අධ්යක්ෂවරයා ඒ චරිතය තුළ ඉතා දක්ෂ විදිහට මා හසුරුවා තිබුණා. ඔහු හොඳ ගුරුවරයෙක් වගේම, අති දක්ෂ අධ්යක්ෂවරයෙක්. නිර්මාණයකදී ඒ චරිතයට ආදරය කරමින්, ඒ තුළ ජීවත්ව සිටිය යුතුයි කියලා මම ඉගෙන ගත්තා.
සහෝදරයාගෙන් පසු කලණි සම්බන්ධ වූ වෙනත් නිර්මාණ තිබෙනවාද ?
ඔව්. පාලිත පෙරේරා ගේ ‘තක්කිට තරිකිට‘ චිත්‍රපටයට දායක වුණා. එහි ගුරුවරියකගේ චරිතටය මං පණ පොවනවා. කපිල විජේසුරිය මහතා ගේ නිර්මාණයකටත් මා දායකවී සිටිනවා.
රංගනයේ දිගු කාලීනව රැඳෙන්නයි කලණිගේ කල්පනාව?
මම වෘත්තීමය චිත්‍ර ශිල්පිනියක්. රංගනයේදී මට ගැළපෙන, මට දැනෙන චරිත තිබුණොත් රඟපානවා.
කලණි කියන්නේ තුමිඳු දෙඩන්තැන්න කියන ජනප්‍රිය රංගන ශිල්පියාගේ ආදරණිය බිරිය. ඒ ආදර කතාව ගැනත් විස්තර කියමු නේද?
ඒක හරි ම ලස්සන ආදර කතාවක්. මට ඔහු මුණ ගැසෙන්නේ ඔහු රඟ පෑ වේදිකා නාට්‍යක් නරඹන්න ගිය අවස්ථාවේදියි. එදා ඔහුගේ දක්ෂතා දැකලා මට හිතුණා තුමිඳු හමුවෙලා සුබ පැතිය යුතුයි කියලා.
ඒ සුබ පැතීමෙන් එදා පටන් ගත් කතාව තමයි විවාහය දක්වාම ඇවිත්, එකම කැදැල්ලක ජීවත් වෙන්නේ. ඔහු බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ම මම මගේ කාර්යබහුලත්වය අඩු කර ගන්නවා. මම කැමැතිම ඔහු සමඟ කාලය ගත කරන්නයි. ඒ නිසා, කොහොම හරි කාලය හොයාගෙන අපි දෙන්නා ඇවිදින්න, චිත්‍රපට බලන්න, වේදිකා නාට්‍ය බලන්න යනවා.
තුමිඳු මේ දිනවල අතිෂය ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයෙන් ඔබ අපහසුතාවට පත් වූ අවස්ථා නැද්ද?
අනේ නැහැ. මට හරි ම සතුටුයි. මමත් කුඹියෝ ප්‍රේක්ෂකයෙක්. ඔහුට ලැබෙන ප්‍රතිචාර දකිනකොට, ඒ අගය කිරීම් දකින කොට ඔහුගේ බිරිය විදිහට මට ලොකු සතුටක් දැනෙනවා.
ඔබගේ හෙට දවසේ බලාපොරොත්තු ගැනත් කියමු නේද ?
මේ දවස්වල අපේ ජීවිතය අලුත් බලාපොරොත්තුවකින් පිරිලා. අපේ ආදරයේ සංකේතය වෙන්නේ දරුවෙක්. ඒ අලුත් බලාපොරොත්තු තියාගෙන, ඒ පුංචි අලුත් අමුත්තා එනකන් නොඉවිසිල්ලෙන් බලන් ඉන්නවා.
ටානියා මෝසස්