නදීක ගුරුගේ කියන්නේ සංගීත අධ්යක්ෂවරයෙක් බව බොහෝ අය දන්නවා. නමුත් ඔබතුළ සිටින ගායකයා තවමත් ජනතාව අතරට ගිහින් නැති බව ඔබට පිළිගන්න පුළුවන්ද?
මම කලා ජීවිතයේ මගේ ගමන පටන් ගත්තේ ගායකයෙක් විදිහට. ඒ කේමදාස මාස්ටර්ගේ කණ්ඩායමේ බේස් ගායකයෙක් ලෙස. මම අවුරුදු ගණනාවකට කලින් ගායනා කරපු ගීත පවා අදටත් රස විඳින පිරිසක් ඉන්නවා. නමුත් ගායකයෙක් විදිහට මගේ නම වැඩිපුර ජනතාව අතරට ගිහින් නැති බව මම පිළිගන්නවා. ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරද්දී තරගකරුවෙක් ගායනා කරපු ගීතයක් නිවැරදිව ගායනා කරලා පෙන්වපු අවස්ථාවක තමයි මට ගායන හැකියාවක් තිබෙන බවත් බොහෝ දෙනා දැනගත්තේ.
සමහරු ඔබ කරළියට එනවා දකින්නේ රියැලිටි තරග විනිසුරුවරයකු විදිහට විතරයි. ඔබ වසර ගණනාවක් තිස්සේ රියැලිටි තරග සමග ගමනක් යන්නේ මොන විදිහේ අරමුණක් හිතේ තියාගෙනද?
හොඳ ගායන හැකියාවක් තිබෙන ගායක ගායිකාවන් සංගීත ක්ෂේත්රයට අලුතෙන් ඇතුළු විය යුතුයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඔවුන්ට ක්ෂේත්රයට එන්න අත දීමක් විදිහටයි මම ඒවට සම්බන්ධ වෙන්නේ.
රියැලිටි තරග කියන්නේ අපේ රටේ ජනතාවට අද වෙද්දී අලුත් දෙයක් නෙවෙයි. එවැනි තරගවලින් තෝරා ගැනෙන්නේ සැබෑ දක්ෂයෙක් කියලා ඔබට කියන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඔව්, රියැලිටි තරගවලින් අතිදක්ෂයන් එළියට එන බව පැහැදිලි කාරණයක්. එහෙම දක්ෂයන්ව මම මගේ නිර්මාණ කටයුතුවලට පවා සම්බන්ධ කරගන්නවා.
ඔය කියන විදිහේ දක්ෂයන් බිහි වෙනවා නම් පැරණි පරපුරට අභියෝග කළ හැකි ආකාරයේ ගායක ගායිකාවන් ක්ෂේත්රයට එක්විය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් පේන තෙක් මානයකවත් නැහැ?
හැට හැත්තෑව දශකවලදී වගේ ජනතාවට මතක හිටින විදිහේ ගායක ගායිකාවෝ බිහිවෙන්නෙ නෑ කියන එක අද වෙද්දී තිබෙන ලොකු නෝක්කාඩුවක්නේ. එදාත් හොඳ නරක දෙකම තිබුණා. අනෙක් ක්ෂේත්රයන් වගේ තමයි සංගීතය වුණත් පරිණාමය වෙනවා. ඒ නිසා එදාට වඩා දක්ෂයන් අද බිහිවෙනවා. නව පරපුර අතරේ වැඩක් නොකරන අයත් ඉන්නවා තමයි. නමුත් අද වෙද්දී නිෂ්පාදකයන් ක්ෂේත්රයෙන් ඉවත් වෙලා නිසා ඔවුන්ට ගීත එකතුවක්වත් එළිදක්වන්න අවස්ථාවක් නැහැ. මෙවැනි හේතූන් නිසා ඔවුන් තමන්ගේ හැකියාවන් එළියට දාන්නේ කොහොමද කියන එක ගැටළුවක්.
අද වෙද්දී ඔබ වේදිකා සහ ටෙලි නාට්‍ය සංගීතයෙන් ඈත් වෙලාද?
වේදිකාවේ සංගීතයෙන් මම නොනිල වශයෙන් ඉවත් වුණා. වේදිකාව කියන්නේ ඓන්ද්‍රීය කලාවක්. මේ නිසා එහි ගත කරන්නට සිදුවන කාලය වැඩි වීම නිසයි මම එවැනි තීරණයකට එළැඹුණේ. ටෙලි නාට්‍ය වුණත් ගොඩක් දීර්ඝ ඒවා වීම නිසා මීට කාලයකට ඉහතදීම එයින් ඉවත් වුණා.
සිනමාවේදී ඔබට එවැනි බාධක නැහැ?
සිනමාවේදී මට බෙහෝ දුරට ලැබෙන්නේ කලාත්මක චිත්‍රපට. වෙනත් විදිහේ අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම අධ්යක්ෂවරු විසින්ම සිනමාවේදී මාව තෝරාගනු ලබනවා කියලා කීවොත් නිවැරදියි.
එතකොට මේ දිනවල නියැළෙන කලා කටයුතු මොනවාද?
අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ ගාමින්ද ප්රියවිරාජ්ගේ නවතම චිත්‍රපටයේ සංගීත කටයුතු මේ වනවිට අවසන් අදියරෙයි පවතින්නේ. ඒ අතරේ මගේ සංගීත ඇකඩමියේ වැඩකටයුතුත් කරගෙන යනවා.
“කර්ම” චිත්‍රපටයෙන් නළු වරම් ලබපු ඔබ, රංගන කටයුතු එතැනින්ම නතර කළේ ඇයි?
“කර්ම” චිත්‍රපටයේදී මට මගේ සැබෑ චරිතයට සමපාත වන වපරිසයක් තුළ තමයි රඟපෑම කරන්න සිදුවුණේ. ඒ නිසා මට ඒක අසීරු අභියෝගයක් වුණේ නැහැ. නමුත් රඟපෑම කියන විෂය හරිහැටි නොදැන රඟපාන්න යාම සාර්ථක නැහැ කියන කාරණය මට වැටහුණා. ඒ නිසා ඒ දිනවල රඟපෑමට ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළා. නමුත් මගේ චරිතයට සමපාත වන චරිතයක් යළිත් රඟපෑමට ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්.
කිෂාන් කනංකෙ