ඔහු ලංකාවේ සිටින ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවෙකි. වේදිකාවෙන් කලාවට අවතීර්ණ වූ සුමින්ද සිරිසේනයන් පුංචි තිරයේදී සිනමාවෙන් එකිනෙකට වෙනස් වූ චරිතවලින් අප පිනවූ කලාකරුවෙකි. නමුත් අද වෙද්දී ඉතා නිහඬ දිවිපෙවෙතක් ගෙවන ඔහු සොයා අපි ගම්පහ ඔහුගේ නිවහනට ගොඩවැදුනෙමු. තනිවම ඇවිද ගන්නට බැරිව අත්වාරුවකින් අප අසලට ආ සුමින්ද සිරිසේනයන් අර ළෙන්ගතු සිනහවෙන් අප සමඟ දොඩමළු විය.
කොහොමද... දැන් හොඳයිද...?
(අප ඇසූ පළමුවැනි ප්‍රශ්නයට උත්තර දෙන්නට ඔහු හඬ අවදි කරන්නට උත්සහා කළද ඒ හඬ හරියාකාරව අපිට නොඇසුණි. ඒ නිසාම නැවතත් එම ප්‍රශ්නයම අසන්නට අපට සිදුවිය.) නෑ... එහෙම අඩුවක් නෑ... තාමත් ඒ විදිහම තමයි... ඇවිදින්න බෑ... ඇවිදිද්දී අමාරුයි. තනියම ඇවිදින්න බෑ. කකුල් ඉදිමිලා... ඩොක්ටර්ස්ලා කියන්නේ ඇවිදින්න කියලා. ඒත් ඇවිදින්න අමාරුයි. ගේ ඇතුළේ ටිකක් මේ අත්වාරැවෙන් ඇවිදිනවා. ඒත්... බෑ...
දැන් සිංහල බෙහෙත්ද කරන්නේ...?
නෑ... දැන් මොන බෙහෙතක්වත් කරන්නේ නෑ... මට ප්‍රෙෂර් තියෙනවා, ෂුගර් තියෙනවා. ඒවාට බෙහෙත් බොනවා. ඒ හැර මේ වෙනුවෙන් කියලා දැන් එහෙම ප්‍රතිකාරයක් කරන්නේ නෑ.
දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ මේ රෝගයෙන් පීඩා විඳිනවා නේද...?
ඔව්... අවුරුදු පහමාරක් තිස්සේ මේ දුක විඳිනවා. මම එක දිගට වැඩ කළා. ඒ කාලෙදී දවසක් මට උණ ගත්තා. ඒ උණට මට ඇවිදින්න බැරිවුණා. මගේ පුතාලා ඉක්මනට මාව හොස්පිට්ටිල් අරගෙන ගිහින් තිබුණා. දැඩි සත්කාර ඒකකයේ මම හිටියා. සති දෙකක් විතර මට සිහිය නැතිව ඉඳලත් තියෙනවා. ඊට පස්සේ මට කරපු බෙහෙත්වලින් තමයි මාව මෙහෙමවත් හරි තත්ත්වයකට එන්න පුළුවන් වුණේ. සිංහල බෙහෙතුත් කාලයක් තිස්සේ කළා. දැන් නම් ඒ හැම බෙහෙතක්ම මම නතර කළා.
ඉස්කොලේදී විද්‍යා විෂය හදාරපු ඔබ කොහොමද කලාකරුවෙක් වුණේ... ඊට කලින් කියන්නකෝ ගම් පළාත එහෙම...?
මගේ ගම කෑගල්ලේ ඉඳන් කිලෝමීටර් පහළොවක් ඈතින් තිබෙන බුස්සැල්ල ප්‍රදේශය. මම මුලින්ම ඉගෙනගත්තේ බුස්සැල්ල මහ විද්‍යාලයේ. ඊට පස්සේ අට වසර විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබිලා තෝලංග මහ විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ මම විද්‍යා විෂයට හරි කැමතියි. ඒ වගේම දක්ෂයි. හැබැයි මම කලාවටත් හරි කැමතියි. පාසැලේ නාට්‍යයවලත් මම රඟපෑවා.
ඊට පස්සේ ඔබට රජයේ රැකියාවක් ලැබුණා නේද...?
ඔව්... පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික ශිල්පියෙක් විදිහට රස්සාව ලැබුණා. ඒ නිසා මම කෑගල්ලෙන් කොළඹට ඇවිත් කොළඹ නැවතුණා. කොළඹට ආවට පස්සෙත් කලාවට තියෙන ආසාව තවත් මගේ වැඩි වුණා. මගේ අම්මයි තාත්තයි බොහෝම සාමාන්‍ය ගැමියෝ.
කොහොමද කලාවට සම්බන්ධ වුණේ...?
කොළඹ බෝඩිම් වුණාට පස්සේ මම ධම්ම පාගොඩ මහත්තයාගේ රංග ශිල්ප ශාලිකාවට එකතු වුණා. එතනින් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉස්සර මම රස්සාව කරලා ඉවර වෙලා හැමදාම සවස බස් එකේ නැඟලා පුහුණුවීම්වලට එනවා. ඒ දවස්වල මම “මූදු පුත්තු, “සිංහබාහු, “මනමේ වැනි ඉතා අපූරු වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුර නිසා බොහෝ දේවල් ජීවිතයට එකතු කරගත්තා. ඒ කාලෙදී රවින්ද්‍ර රන්දෙණිය, බුද්ධදාස විතානච්චි වගේ අය මගේ හොඳ යාළුවෝ. අපි සමකාලීනයන්. ඒ දවස්වල වේදිකා නාට්‍යයක් ඉවරවෙලා මට නාට්‍යයකින් ලැබුණේ රුපියල් හතළිහයි. රස්සාවක් තිබුණු නිසා සල්ලිවල අඩුපාඩුවක් ඒ කාලේ මට දැනුණේ නෑ. මට ඕනවුණේ කලාව ගැන හොඳට ඉගෙන ගන්නයි, කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නයි.
වේදිකා නාට්‍යවල රඟපාපු ඔබ “කුමාරිහාමි ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වුණා නේද...?
ඔව්... මම පුංචි තිරයට ආවේ “කුමාරිහාමි ටෙලි නාට්‍යයේ හිච්චි මහත්තයාගේ චරිතයෙන්. ඒක සල්ලාල චරිතයක්. මට මතකයි හිච්චි මහත්තයාව ටී.වී. එකේ පෙන්නන කාලේදී තවත් නාට්‍යයක රූගත කිරීමකට අපි බද්දේගම ප්‍රදේශයකට ගියා. ඒ රූගතකිරීම් කරන ගෙදර හිටපු ගෑනු ළමයි තුන්දෙනාම ගෙදර අම්මා කාමරේක දාලා දොර වහලා. අඩුමගාණේ මට කට හඬ ඇහෙන්නවත් ඒ අම්මා ඉඩතියලා නෑ. ඒ තරමටම හිච්චි මහත්තයා නිසා ගමේ අම්මලා ගෑනු ළමයින්ව මට මුණගස්සන්න බයවෙලා
හිච්චි මහත්තයාට ගමේ ගෑනු බය වුණාට “ඉසාට එහෙම කවුරුත් බය වුණේ නෑ නේද...?
අනේ නෑ... “චරිත තුනක් ටෙලිනාට්‍යයේ “ඉසා කියන්නේ මිනිස්සු ආදරය කරපු චරිතයක්. ඉසා රඟපාන්න ලැබෙන්නත් කලින් “චරිත තුනක් නවකතා පොත මම කීපවතාවක් බලලා තිබුණා. ඒ නිසා “චරිත තුනක් ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබෙද්දී මම ගොඩාක් සතුටු වුණා. රඟපාන්න කලින්ම මට ඒ චරිතය ගැන හොඳ අවබෝධයක් තිබුණා.
ඔබ මුලින්ම සිනමාවට සම්බන්ධ වුණේ...?
මම මුලින්ම සිනමාවට සම්බන්ධ වුණේ “දුහුළු මලක් චිත්‍රපටයෙන්. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. ඒ අතරින් “සමනළ තටු චිත්‍රපටයෙන් බොහෝ දෙනා මා ගැන කතා වුණා. මොන චරිතයක් ලැබුණත් මම ඒ හැම චරිතයක්ම හරිම ආසාවෙන් රඟපෑවා. ඒ අතරින් තෙත් සහ වියළි කියන නාට්‍යයේ චරිතයට මම ගොඩාක් කැමති වුණා.
ඔබ දරුවන් දෙන්නෙක්ගේ පියෙක්...?
ඔව්... මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ පොඩි පුතා සංස්කරණ ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. බිරියයි, පුතාලා දෙන්නයි තමයි දැන් මගේ වැඩකටයුතු කරගන්න උදව් කරන්නේ. හැබැයි ඒ තුන්දෙනාට කරදර කරන්න මම කැමති නෑ. මට පුළුවන් විදිහට මගේ වැඩ හෙමීට කරගන්නවා. මූණ කට හෝදගන්න, නාගන්න එක වුණත් නාන කාමරේට ගිහින් ඒ දේවල් තනිවම මම කරගන්නවා. රැවුල කපද්දී අත වෙව්ලනවා. ඒත්... වේලා අරගෙන අනිත් අතිනුත් අත අල්ලාගෙන හෙමීට මම රැවුල කපාගන්නවා. කෑම කද්දී වුණත් හරි අමාරුයි අත වෙව්ලනවා. ඒත් මම හෙමීට ඒ ටික කරගන්නවා. වතුර බොද්දී වතුර ටික බොන්න ඕනෑ බිම බලාගෙනයි. නැත්නම් පිට උගුරේ යනවා. ඒ වුණාට ඒ හැම දෙයක්ම මම තනියම කරගන්නවා. පොඩි පුතයි මගේ බිරියයි ළඟ ඉන්න නිසා බයක් නෑ.
අසනීප වුණාට පස්සේ හිතවත් කලාකරුවන්, කලාකාරියන් බලන්න ආවද...? සැපදුක් එහෙම හොයලා බැලුවද...?
ඔව්... ඔව්... ගොඩාක් අය මාව බලන්න ආවා. රවින්ද්‍ර රන්දෙණිය මහත්තයා නිතරම කෝල් කරනවා. මම වෙනුවෙන් උපහාර උළෙලවල් කීපයක්ම කළා. සමහරු ගෙදරට ආවා. සමහරු කෝල් කළා. හැමෝටම හැමවෙලේම මාව බලන්න එන්න බැහැනේ. හැමෝටම වැඩනේ. ඒ නිසා මම ඒ ගැන කාත් එක්කවත් තරහ වෙන්නේ නෑ. සමහර වේදිකා නාට්‍ය බලන්න මගේ පුතාලා මාව වාහනෙක දාගෙන එක්කගෙන යනවා. මම අසනීප වෙන දවස්වල “බොරළු පාර ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරමිනුයි හිටියේ. ඒ නිසා මම අසනීප වෙලා ඇඳේ ඉඳිද්දී ඉතුරු රූගත කිරීම් වෙනස් කරලා රූගත කිරීම් කළා.
කොහොමද දවස ගෙවෙන්නේ...?
කොහොමත් උදේ හය විතර වෙද්දී මම නැගිටිනවා. ඒ නැගිටලා තේ එකක් එහෙම බීලා මම පොඩි ව්‍යායාම් කිහිපයක් කරනවා. ඒවා සමහරක් ඩොක්ටර්ස්ලා කියලා දීපු ඒවා. ඊට පස්සේ උදේ නවයට විතර උදේ කෑම කනවා. එහෙම කෑම කාලා පොඩ්ඩක් ගේ ඇතුළේ අත්වාරුවෙන් එහාට මෙහාට හෙමීට යනවා. රූපවාහිනිය බලනවා. පත්තර බලනවා. ඊට පස්සේ දවල් ආහාරය අරගෙන පොඩ්ඩක් නිදා ගන්නවා. ඊට පස්සේ නැගිටලා වොයිස් ට්‍රේනින් කරනවා. අසනීප තත්ත්වය නිසා මට හරියට කතා කරන්න බෑ. සමහර වචන කතා කරද්දී අනිත් අයට තේරෙන්නේ නෑ. ගොත ගැහෙනවා. ඒ නිසා මම එක එක සින්දු කිය කියා කටහඬ හසුරුවනවා. වැඩිපුරම මම ගායනා කරන්නේ ජෝතිපාල මහත්තයාගේ සින්දුයි. ඊට පස්සේ ඉතින් රෑ කෑම කාලා මම ටී.වී. එහෙම බලලා පොඩි භාවනාවක් කරලා රෑට නිදා ගනිද්දී රෑ දොළහ විතර වෙනවා. කොහොමටත් දැන් මම මේ ජීවිතේට හුරුවෙලා ඉවරයි. ඉස්සර මම රඟපාපු චරිත ගැන ආයේ ආයෙත් මතක් කරමින් දැන් දවස ගෙවනවා.
දේශය