රොහාන් රංගන ගමන පටන් ගන්නේ කෙනකුගේ අනාවැකියකට නේද..?
ඔව්. මම රංගන ක්ෂේත්රයට පිවිසුණේ අහම්බයෙන්. දවසක් තුමිඳු දොඩන්තැන්න ඇහැලියගොඩ ජාතික පාසලේ කලා උළෙලට ප්‍රධාන ආරාධිතයා විදියට සහභාගි වුණා. එදා මම තමයි කලා උළෙලේ නිවේදන කටයුතු කළේ. මම නිවේදන කටයුතු කරනවා දැකපු තුමිඳු සර් එදා කිව්වා "මෙයා රංග කලාව ඉගෙන ගත්තොත් දවසක යම් තැනකට ඒවි" කියලා. ඒ වචන තමයි මට මේ ක්ෂේත්රයට එන්න මූලික උත්තේජනය ලබාදුන්නේ.
ඒ කිව්ව විදියටම රංගනය ගැන හැදෑරීමක් කරලද මේ ක්ෂේත්රයට පය තිබ්බේ....?
මම තුමිඳු සර් ගාවට ගිහින් රංගනය ඉගෙන ගත්තා. නාමල් ජයසිංහ, ප්‍රසන්න මහගමගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ යන අය මේ ගමන එන්න මට උදවු කළා.
මුල් අඩිය තිබ්බ තැන නිසා රොහාන්ට පුංචි තිරයටත් එකතු වෙන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා නේද..?
ඔව්. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පස්සේ නාමල් ජයසිංහ මාව ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්යක්ෂවරයාට හඳුන්වා දුන්නා. එතුමා තමයි මාව මේ තරම් දුරක් අරන් එන්නේ. අද රොහාන් කියන නළුවෙක් ඉන්නේ එතුමා නිසා. බොහිමියානුවා, මෙඩිසිනා, කළු කුරුල්ලා, හාරකෝටිය, හුළං ගෙදර වගේ ටෙලි නාට්‍යවල එකකට එකක් වෙනස් චරිත මට කරන්න ලැබුණා.
රොහාන්ට සිනමාවටත් ආරාධනා ජයයිලු නේද..?
ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් කරනවා. ඒ අතරතුරේ චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා.
රොහාන් වැඩිපුර කොමඩි චරිත රඟපාන්නේ ඇයි..?
එහෙම විශේෂයක් නැහැ. මට ලැබෙන චරිතයට අනුව මම රඟපානවා.
රොහාන්ට මිනිස්සු හිනස්සන්න විශේෂ හැකියාවක් තියෙනවාද..?
ඒක බලන ප්‍රේක්ෂකයා තමයි තීරණය කරන්නේ. මගේ මුහුණේ ඉරියව්, කතා කරන විදිහ, අංග චලන එක්ක එහෙම එකක් එනවා ඇති. කොහොම වුණත් මිනිස්සු ඒකට කැමැතියි.
ඔබ ලැබෙන චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා හිතනවද..?
මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. හැමවෙලාවෙම අධ්යක්ෂවරයාගේ උපදෙස් ලබාගන්නවා. මම ස්ක්‍රීන් එකට ආධුනිකයි. ඒ නිසා ජේෂ්ඨයන්ගේ උපදෙස් ගන්නවා. අධ්යක්ෂ, කැමරා අධ්යක්ෂ, තාක්ෂණික ශිල්පීන්ගෙන් පවා මම මගේ රංගනයේ ගුණදොස් අහනවා. ඒක මට ඉස්සරහට යන්න ගොඩක් වැදගත් වෙලා තියෙනවා.
රොහාන්ට ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා ඇතිනේ. ඒ ගුණ වගේම දොස් අහන්නත් රොහාන් කැමැතිද..?
මට ලැබෙන දේ මම කරනවා. ප්රේක්ෂකයන්ගෙනුත් මට ඒවට ප්‍රතිචාර ලැබෙනවා. මම කරන දේවල් බලලා ගුණදොස් කියන්න, විචාරය කරන්න. මම ඒකට කැමැතියි. එතකොට තමයි අපිට හැදෙන්න පුළුවන්.
පසුගිය දවස්වල සම්මාන කිහිපයකටත් නිර්දේශ වුණා නේද..?
ඔව්. මම 2017 රයිගම් ටෙලි සම්මාන උළෙලේ සහ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා සම්මානයට නිර්දේශ වුණා.
රොහාන් උපාධිධාරියෙක්. ඒ උපාධියට කථිකාචාර්ය පදවියක් එහෙම ලැබෙයිවත්ද..?
මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ප්‍රසංග කලා විශේෂවේදී උපාධිය හදාරලා ප්‍රථම පෙළ පන්ති සාමාර්ථයක් ලබාගත්තා. මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරනවා. ප්‍රථම පෙළ උපාධියක් ගත්තට අපේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් දෙන සම්ප්රදායක් නැහැ. මම හිතන්නේ මම ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙනත් නැහැ. තියාගන්නෙත් නැහැ.
ඉරේෂා කල්හාරි සේනාධීර