කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යා හැකිව තිබූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් මීට වසර හයකට පමණ පෙර රිය අනතුරකට ලක්ව, කවුරුත් නොසිතූ මොහොතක මෙලොවින් සමුගත්තා. ඔහු අසේල ජයකොඩි. වේදිකාවේ, පුංචි තිරයේ වගේම සිනමාවේ බොහෝ දස්කම් පෙන්වා තිබූ අසේලට එකී මාධ්‍යයන්හි තවත් කළ යුතු කාර්යයන් බොහෝ ඉතිරිව තිබුණා. එපමණක් නොවෙයි, ආදරණීය සැමියෙකු සහ පියකු විදිහටත් දහසකුත් එකක් බලාපොරොත්තු සිතෙහි දරාගෙන සිටියදීයි ඔහුට හදිසියේම සිය ජීවන ගමනට තිත තැබිමට සිදුවුණේ. තමන් තනිකර නික්ම ගිය සිය සැමියා ගැන චාන්දනී සමග මෙලෙස කතාබහට එක්වූයේ වසර හයකට පෙර සිදුවූ ඒ අමිහිරි සිදුවීම තවමත් සිතට දැඩි ලෙස රිදුම් ගෙන දෙන්නක් බව පවසමිනුයි.
ඒ අමිහිරි සිදුවීමෙන් වසර හයකට පස්සේ ඔබට කොහොමද ඔහු නොමැති ජීවිතය දැනෙන්නේ?
අවුරුදු හයක් ගතවෙලා තිබුණත් අසේලගේ අභාවයෙන් ඇතිවූ වේදනාව එදාටත් වඩා තදින් අද අපට දැනෙනවා. අසේල මිය ගියාට පස්සේ දරුවෝ දෙන්නාත් එක්ක මම තනි වුණා. අභාවයත් එක්ක අපට ළං වුණ අය මුල් කාලේ හිටියා. ඒත් ඒ අය තමන්ගේ වැඩ රාජකාරිත් එක්ක කාලයත් සමග අපෙන් ඈත්වෙද්දී ඔහු නැති අඩුව අපට ආර්ථික, මානසික වගේ හැම පැත්තකින්ම අද තදින් දැනෙනවා.
පියා නැති ජීවිතයට දරුවෝ දෙන්නා හුරු වුණේ මොන විදිහටද?
අසේල නැති වෙනකොට දුව ඉගෙනුම ලැබුවේ හය වසරේ. පුතා දෙක වසරේ. දැන් ඒ දෙන්නා ලොකුයි. දරුවෝ දෙන්නාට තාත්තා අවශ්‍යම කාලය එළඹෙන කොටයි අසේල අපිව තනි කරලා ගියේ. පුතාට නම් තාත්තා ගැන ලොකු මතකයක් නෑ. මට මතකයි ඒ කාලේ දවසක් නත්තලට මොනවද ඕනෑ කියලා පුතාගෙන් ඇහුවාම පුතා කිව්වා “මට තාත්තාව ගෙනත් දෙන්න” කියලා. අද දරුවෝ දෙන්නාගේ අම්මා වගේම තාත්තාගේ භූමිකාවත් අද මම තමයි ඉටු කරන්නේ.
හදිසි අනතුරකින් මියගිය අසේල වෙනුවෙන් යුක්තිය ඉටුකරගන්න ඔබට හැකි වුණාද?
අසේල වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්න මම හුඟක් වෙහෙස මහන්සි වුණා. නමුත් ඒ වෙනුවෙන් දුවලා පැනලා උදව් කරන්න කෙනෙක් මා ළඟ හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි මට මුදල් තිබුණෙත් නැහැ. අන්තිමේදී අවුරුදු තුනහමාරක් නඩු කියලා මම නඩුවෙන් පැරදුණා. අසේලගේ වැරද්දෙන් සිද්ධ වෙච්ච අනතුරක් විදිහටයි අවසන් තීන්දුව ලැබුණේ.
අසේලගේ මරණයත් එක්ක තනි නොතනියට ආපු අයට කාලය ගතවෙද්දී ඔබවත් දරු දෙදෙනාවත් අමතක වුණාද?
ඒ ගැන කාටවත් දොස් කියන්න මම කැමති නැහැ. මොකද හැමෝටම තම තමන්ගේ වැඩ රාජකාරි තියෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතාත් තියෙනවා. අනික දරුවෝ දෙන්නෙක් එක්ක තනිවුණ ගැහැනියකට ළංවෙන්න සමහරු බය වෙන්නත් ඇති. හැබැයි ගමේ යාළුවෝ එහෙම අසේල වෙනුවෙන් හුඟක් උදව් උපකාර කළා.
කලා ලෝකයේ අසේලගේ හිතවතුන්ගෙන් ඔබට ශක්තියක් ලැබුණේ නැද්ද?
මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) අදටත් දරුවෝ දෙන්නා ගැන හොයලා බලලා මුදලින් පවා උදව් උපකාර කරනවා. ගිරිරාජ් අයියාත් (ගිරිරාජ් කෞෂල්‍ය) අසේල ඔහුට කරපු උදව් ගැන මතක් කරමින් අපේ දුක සැප සොයා බලනවා. ගිහාන් ප්‍රනාන්දුත් අපේ ගමේ නිසා නිතරම වගේ මුණ ගැහෙනවා. අසේල රඟපෑ ගාමණී චිත්‍රපටය කරපු සරත් වීරසේකර මහත්මයාත් මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. හැබැයි කිසිම කලා සංගමයක් නම් අපි ජීවත්වෙන්නේ කොහොමද කියලා හොයලා බැලුවේ නැහැ. දැන් මටත් රැකියාවක් නැහැ. ගෙදර අයගේත් යාළුවන්ගේත් උදව්වෙන් සහ අසේල වැඩ කරපු තැපැල් පාර්තමේන්තුවෙන් ලැබෙන සුළු මුදලකින් තමයි අපි ජීවිතය ගෙනියන්නේ.
කිෂාන් කනංකෙ