ඔබ ළාබාල කිවිඳියක්.... කොහොමද ඒක දැනෙන්නේ?
වැටකේදෙණිය කනිෂ්ඨ විද්‍යාලයෙන් හා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා මම දැනට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ අධ්‍යාපනය ලබනවා. ඒ ඉතිහාසය විශේෂවේදී උපාධි පාඨමාලාවයි. ළාබාල කිවිඳියක් විදිහට බොහෝ දෙනා මාව හඳුන්වනවා. ඇත්තටම මම කාව්‍යකරණයට පිවිසිලා, එහෙමත් නැත්තං මගේ අත්දැකීම් සිතිවිලි අකුරු බවට පත් කරන්න ආරම්භ කරලා දැනට වසර දෙකක පමණ කෙටි කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. මට තව බොහෝ කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
නූතන සමාජයේ යුවතියකට ඇති තෝරා ගැනීම් අතුරින් ඔබ කවිය තෝරා ගන්නවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?
ඕනෑම පුද්ගලයෙක්ට තමා ජීවත්වන සමාජ දේශපාලන වටපිටාව ඔහුගේ හෝ ඇයගේ ජීවන තෝරා ගැනීම් සඳහා නිරායාසයෙන්ම ප්‍රබල බලපෑමක් සිදු කරනවා. ග්‍රාමීය පරිසරයක් තුළ ආච්චිගේ හඬින් ගණදෙවි හෑල්ල අහපු දවසේ පටන්ම මම කවියට පෙම් බඳින්න පටන් ගන්නවා. නිවෙසේ වටපිටාවත් එක්ක චිත්‍ර කලාව, කැටයම් කලාව මගේ ජීවිතය ආක්‍රමණය කරද්දී ඒ හරහා මා ලබන මානසික සංසුන්තාව කවියට මා සංවේදී පුද්ගලයෙක් කළා කිව්වොත් නිවැරැදියි. පත්තරවල කවි පිටු එකතු කරමින්, කවි පොත් හොය හොයා කියවමින් සිටි මම සමාජ ජාලා ආශ්‍රය කරන්න පටන් ගන්නවත් එක්කම කවීන් බොහෝ පිරිසක් මට අඳුනගන්න ලැබෙනවා. ඒ හරහා විශේෂයෙන්ම යම් අදහසක් ප්‍රකාශ කිරීමට ඇති සංවේදීම වූත් සුන්දරම වූත් මාධ්‍යයක් විදිහට මම කවි මඟ තෝරා ගන්නට පෙලඹුණා.
සමාජ ජාලය ආශ්‍රය කරද්දී එහි යම් නිශ්චිත කාලයක් මුල් බැසගත් කවිය සහ කවියන්ගේ භාවිතාව පිළිබඳව ආධුනික කිවිඳියක් හැටියට දකින විශේෂතා තියෙනවාද?
මා කාව්‍යකරණයට පිවිසෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි හරහා. ඒ නිසාම මම සමාජ ජාල ආශ්‍රය කරන කවි කිවිඳියන් බොහෝ දෙනකුගේ කවි කියවන්නට පෙලඹෙනවා. මම දකිනවා බොහෝ පිරිසක් කවියට අත්පොත් තබන්නට පෙලඹෙන්නේ ප්‍රේමය වගේ අනුභූතීන් ආශ්‍රය කරගනිමින්. නමුත් වර්තමානය වනවිට මෙම සමාජ ජාල කවියන් වෙනස් වෙනස් අත්හදාබැලීම් කරන්නට යොමුවෙන ආකාරයක් දකින්නට පුළුවන්. ප්‍රේමයෙන් ඔබ්බට ගිය සමාජ දේශපාලන ගැටලු තුළින් ඔවුන් කාව්‍යකරණයට පිවිසෙනවා වගේම ඔවුන් ඒ හරහා තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගන්න ආකාරයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි අද වනවිට මෙම සමාජ ජාල කවිය සමාජයේ වෙනස් වෙනස් මානයන්ට දිව යමින් ප්‍රබල කම්පනයක් එය විඳින්නාට ඇති කරන්නට උත්සාහ කරන බව. සමාජය විසින් එදිනෙදාට ඉල්ලා සිටින කවිය, සමාජ ක්‍රමය තුළ පවතින ගැටලු හරහා ඉල්ලා සිටින කවිය පහසුවෙන්ම සමාජගත කරන්නට මෙම කවීන් උත්සාහ ගන්න ආකාරය මම දකිනවා.
"පවතින ගැටලු හරහා ඉල්ලා සිටින කවිය" මොනවද ඔබ හඳුනාගත් ඒ ගැටලු... තරුණියක් සහ විශ්වවිද්‍යාලයීය සිසුවියක් විදිහට?
සෑම කලා නිර්මාණයක්ම පාහේ නිර්මාණ වන්නේ සමකාලීන සමාජ, දේශපාලන හා ආර්ථික සන්දර්භය තුළ. උදාහරණයක් විදිහට වැඩවසම් ක්‍රමය තුළ බිහිවන පිකාසෝගේ ගුවර්ණිකා සිතුවම මඟින් නිරූපණය වන්නේ සමකාලීන පීඩාකාරී සමාජ ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාල සීමාවේ නිර්මාණයන් හරහා යුද විරෝධී අදහස් දක්නට ලැබෙනවා. මම දකින නූතන කවියන් මෙකී කාර්ය නිරන්තරවම ඉටු කරමින් සිටිනවා. අද ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් අපේක්ෂා කරන කවීන් එය සෘජුව හා වක්‍රාකාරව ඉදිරිපත් කරමින් සිටිනවා. පාලක පන්තිය තුළින් එල්ල වන සමාජ පීඩන, දේශපාලන හා ආර්ථික සූරා කෑම්, සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති දරිද්‍රතාව හා ධනවාදී ආර්ථික ක්රමයේ ලක්ෂණ විවේචනය කරමින් විප්ලවවාදී කවීන් විසින් නූතන තරූණ පරම්පරාව වෙත එකී විප්ලවය හඳුන්වා දෙන්නට කටයුතු කරමින් ඉන්නවා. බොහෝ විප්ලවවාදී කාව්‍ය නිර්මාණ මෙම සමාජජාලා හරහා සමාජයට සියුම් සංවේදනයන් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම එදිනෙදා මුහුණ දෙන ජීවන ගැටලු, ස්වාභාවික වශයෙන් එල්ල වන ගැටලු අවස්ථාවලදී (සාමසර, මීතොටමුල්ල නාය යෑම්) බිහි වූ කාව්‍ය නිර්මාණ හරහා සමාජයට කම්පනයන් ඇති කිරීමට සමත් වෙනවා. පාලක පන්තියේ බල ලෝභී අවශ්‍යතාවන් මත ඔවුන් විසින් නිර්මාණ කරන ජනවාර්ගික හා ආගමික ගැටලු ප්‍රතික්ෂේප කරමින් සියලු ජාති ආගම් සඳහා පොදු වූ සමාජ ක්‍රමයක් බිහි කිරීමේ අවශ්‍යතාව නූතන කවියා විසින් පෙන්වා දෙමින් සිටිනවා. මම දකින විදියට අද මෙම කවීන් අප එදිනෙදා ජීවිතයේදී ස්පර්ශ කරන ගැටලු සමාජගත කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස මෙම සමාජ ජාල කවිය භාවිත කරමින් සිටිනවා.
ඔබද ඇතුළුව?
ඔව් අනිවාර්යයෙන්ම. මම මගේ කවිය තුළින් උත්සාහ කරන්නේ මෙම සමාජ ක්‍රමය හමුවේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඊට මාගේ ග්‍රාමීය වතු ආර්ථික රටාවත් විශ්වවිද්‍යාල ජීවිතයත් තුළින් උරුම වූ අත්දැකීම් මම පාදක කරගනිමින් ඉන්නවා.
එතකොට යොවුන් ප්‍රේමය වගේ අනුභූතියක් සමාජ ගැටලු නිසාම අවලංගු වෙනවද? අත් හැර දැමිය යුතු වෙනවද?
ප්‍රේමය අනිවාර්ය වූ අනුභූතියක්. එය සෑම පුද්ගලයකුටම පාහේ පොදු වූ සියුම් සංවේදනාවන් දනවන හැඟීමක්. මානව සම්බන්ධතාවන්ගේ උච්චතම ආධ්‍යාත්මික දැනවීමක් ලෙස ප්‍රේමය ප්‍රබල කවි නිමිත්තක් බවට පත් වෙනවා. නමුත් මගේ මතය වන්නේ හුදෙක් බොළඳ ප්‍රේමණීය හැඟීම් අතික්‍රමණය කරමින් එකී ප්‍රේමය තුළින් සමාජය ආමන්ත්‍රණය කළ යුතු බවයි. එය අවලංගු කිරීම නොව එය සමාජය කෙරෙහි වූ ප්‍රේමයක් බවට හරවා ගත හැකියි. අප එකිනෙකා පෞද්ගලිකව ප්‍රේමය තුළින් අත්විඳින දෑ කවිය බවට පත්කර නිහඬ නොවී එකී අත්දැකීම හරහා නව දැක්මක් කරා පාඨකයා ගෙන යෑමට උත්සාහ කිරීමයි වටින්නේ.
පවතින සංකීර්ණතාවන් සහ හුදෙකලාවීම් තුළ කවිය තව දුරටත් පුද්ගල බලපෑමක් කළ හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ඔබ විශ්වාස කරනවද?
මුදල් මත පදනම් වූ නූතනයේ සත්‍ය වශයෙන්ම මිනිසා හුදෙකලා වීමකට ලක් වෙලා තියෙනවා. තමන්ගේ ආර්ථික සංවර්ධනය උදෙසා තරගකාරී ජීවන රටාවකට එළැඹීමත් සමඟ කලාව හා සෞන්දර්ය තුළින් ඈත් වෙමින් තම තමන්ගේ පුද්ගල අවශ්‍යතා මත සිතිවිලි හසුරුවමින් සිටිනවා. නූතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මීට හොඳම උදාහරණයක්. තමන්ගේ පාඨමාලාවට අදාළ දැනුම පමණක් එකතු කරමින් තරගකාරී අධ්‍යාපන රටාවකට අනුගත වී සිටින ඔවුන් යාන්ත්‍රිකව සිතන පතන පුද්ගලයන් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මෙවන් පිරිසක් තුළට කවිය කුමන ස්වරූපයකින් ගෙන යා යුතු දැයි ගැටලුවක් පවතිනවා. කවි පොතක් පෙරළා බලන්නට පවා පෙලඹෙන්නේ සුළු පිරිසක්. මෙහිදී කවිය හරහා යම් පුද්ගල බලපෑමක් කරන්නට නම් ඒ සඳහා අවශ්‍ය වටපිටාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අප යම් සමාජ විප්ලවයක් සිදු කරන්නට නම් අපගේ කවිය අනිවාර්යයෙන්ම බහුතර ප්‍රජාව විසින් වැලඳගත යුතුයි. එවන් කවියක් හරහා අපට ප්‍රබල පුද්ගල බලපෑමක් කළ හැකි යැයි මා විශ්වාස කරනවා.
ඉස්සරහට කවිය ඔස්සේ කළ හැකි හෝ කළ යුතු යැයි අදහස් කරගෙන සිටින්නාවූ යමක් තියෙනවද?
මම කවියට පිවිසිලා තවමත් වසර දෙකක පමණ කෙටි කාලයක් ගතවෙලා තියෙන්නේ. ඉතිං මා විසින් නිවැරැදි කරගත යුතු තැන් සහ මා විසින් හැදෑරිය යුතු තැන් බොහෝමයි. කවිය යන විශ්වයේ මා කුඩා කදෝපැණියෙක් පමණයි. කාලයත් එක්ක කවිය පිළිබඳව නිසි කියවීමක් කරමින් මගේ නිර්මාණ බිහි කිරීමයි මගේ බලාපොරොත්තුව.
මව්බිම