ස්වර්ණමය යුගයන් මෙන්ම කටුක සහ අති දුෂ්කර වූ යුග කිහිපයක් ද පසු කරමින් ගලා ආ හෙළ සිනමා වංශ කතාවට වසර 71 ක් සපිරෙන මේ මොහොතේ එහි උන්නතිය වෙනුවෙන් දායක වූ නිර්මාණකරුවන් ඇතුළු සෑම සියලු දෙනා ගෞරව පූර්වකව සිහිපත් කිරීම ශ්‍රී ලාංකේය සිනමාවට ආදරය කරන, ගෞරවය පුදන අප සැමගේ යුතුකමකි. 71 වසරක් පුරා පැමිණි අපේ සිනමාව අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර සිනමා උළෙලයන් ද ජය ගත්තේ ශ්‍රී ලාංකේය සිනමාවේ රුව, ගුණ, වරුණ ලොවට මනා ලෙස කියා පාමින් යෑයි සිහි කැඳවීම ද වටී. එවන් වූ සොඳුරු මතක මැදින් එක්වුණු මේ සම්මානනීය අධ්යක්ෂවරයා, ප්‍රවීණ කලා ශිල්පියා, සිය කලා භාවිතය මතින් "යසෝමා", "කළු සුදු මල්", "සඳ යහනට", "බඹර වසන්තය", "අනුරාගයේ අනන්තය" ඇතුළු මෙරට සිනමා රසකාමීන්ගේ රස ඥනය කුළු ගැන්වූ සිනමා සිත්තම් රැසක් අධ්‍යක්ෂණය කරමින්, "මං නැති දා", "දිය කිඳුරි","ගජ මුතු යාය", "හිතට වහල් වී", "පාට පාට හීනයක්", "ලොක්යියා" ඇතුළු පුංචි තිරයේ රස මැවූ ටෙලි සිත්තම් රැසක් ද අධ්‍යක්ෂණය කළේය. 'ශ්‍රී වික්‍රම' ඔහු අතින් නිමවෙන නවතම සිනා සිත්තමයි. ඔහු, වෙනින් කිසිවකු නොව, මොහාන් නියාස් ය. මේ...ඔහුත් අපත් අතර ගලා ගිය කතා බහක සංක්ෂිප්ත සටහනයි.
"ශ්‍රී වික්‍රම" නුදුරේදීම අපට නැරඹිය හැකි ඔබේ නවතම සිනමා අධ්‍යක්ෂණය. අපි කථාව එතනින් පටන් ගමු....?
"ශ්‍රී වික්‍රම" කියන්නේ මගේ 14 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මේ කතාව ශ්‍රී ලංකාද්වීපයේ අවසන් රජුගේ කාල සමය හා දිව යන්නක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජ වීම, ඔහුව රජකමින් නෙරපීම, සුදු ජාතිකයන් උඩරට රාජධානිය සිය අණසකට ගැනීම, 1818 දී පැවැති කැරැල්ල අවසන් වීම සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසු රජකමට මාන බැලූ වෙනත් පුද්ගල චරිත පිළිබඳව සිනමා රූපීව ගෙන ඒමට මා දැරූ ප්රයත්නය මේ චිත්‍රපටය හරහා විද්‍යමාන කරවනවා. දැන් චිත්‍රපටයේ වැඩ බොහෝ දුරට අවසන්. තව සති කිහිපයකින් වැඩ සියල්ලම අවසන් කරනවා. අකිල ධනුද්ධර, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, ශ්‍යාම් ප්‍රනාන්දු, චංචලා වර්ණසූරිය, චුලක්ෂි රණතුංග මෙහි ප්‍රධාන භූමිකාවන්ට ජීවය මුසු කළා. අපේ ඉතිහාසය තවත් පැතිකඩකින් පිළිබිඹු කරන මේ චිත්‍රපටය සිනමා රසකාමීන්ට හොඳ අත්දැකීමක් ගෙන එන බව නිසැකයි.
"ශ්‍රී වික්‍රම" කියන්නේ ඔබේ සිනමා භාවිතය වෙනතකට ගෙන ගිය නිර්මාණයක් ?
ඔව්. එහෙම කීවට වැරැද්දක් නැහැ. මගේ සිනමා භාවිතයේදී වගේම පුංචි තිරයේ නිර්මාණ හැසිරවීමේදීත් මා වැඩි අවධානයක් යොමු කළේ කාන්තාව, ස්ත්‍රීත්වය මුල්කර ගත් නිර්මාණ වෙනුවෙන්. සිනමාවේදී මේක වැඩිපුර ප්‍රයෝජනයට ගත්තා. නමුත් කල් යැමේදී මගේ කලා භාවිතය ත්‍රාසය, කුතුහලය සහ සත්‍ය සිද්ධි මුල්කර ගත් නිර්මාණ වෙනුවෙන් යොමු වුණා. මා අධ්‍යක්ෂණය කළ "යසෝමා", "ශ්‍රී වික්‍රම", "කළු සුදු මල්", "සඳ යහනට" සහ "අපි මැරෙන්නෙ නෑ" චිත්‍රපටවලට පාදක කර ගත්තේ සත්‍ය සිද්ධි දාමයන්. ඉදිරියටත් මා අතින් එවැනි නිර්මාණ බිහිවීමේ ඉඩකඩ වැඩියි.
දැන් සිනමාවට වයස අවු 71 ක්. ඔබත් කලක සිට මේ සිනමාව පරිශීලනය කරනවා. කුමක්ද කියන්නට තිබෙන්නේ අපේ සිනමාවේ ගලා යැම පිළිබඳව...?
විවිධ බාධක කම්කටොළු මැදින් බොහෝ විට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති මට්ටටමකින් මේ සිනමාව ගලා ආ ආකාරය දෙස බැලීමේදී මට යම් සතුටක් තියෙනවා. අපි පුංචි රටක්. අපේ ජන ජීවිතය, සංස්කෘතිය ඇතුළේ අපේ දැක්මක් තිබෙන සිනමාවක් පවත්වාගෙන ඒම සහ පවත්වා ගෙන යැමත් ලොකු අභියෝගයක්. නමුත් මෙය පවත්වා ගෙන යැම සහ රටක් රස විදින විදිහට පරිවර්තනය කිරීම සිනමාවේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළ යුතුම කර්තව්‍යයක්. අපි අද මුහුණ දී සිටින්නේ ඒ අභියෝගයට. අපිට ප්‍රගතශීලී සිනමාවක් තිබුණට බහුතර ජනතාව අතරට ඒක යන්නේ නැහැ. එතකොට රටේ සිනමාවක් නොමැති ගානයි. අපේ සිනමාව ජාත්‍යන්තරයට ද ගිය බව අමතක කළ යුතු නැහැ. නමුත් රටක සිනමාව හැදීමට නම් බහුජන ආකර්ෂණය දිනා ගත යුතුමයි. එය නිසි ලෙස කිරීමට රාජ්‍ය මැදිහත්වීම තිබිය යුතුමයි. අවාසනාවට අද අපිට ඒ මැදිහත්වීම දැනෙන ආකාරයට ලැබී නැහැ. පවතින රජය ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයකට. අද අපේ සිනමාවට දීර්ඝකාලීන සැලැස්මක්, ප්‍රතිපත්තියක් නැහැ. ඉතිං කොහොමද සිනමාවේ උන්නතියක් ගැන කතා කරන්නේ. නිවැරැදිව ක්‍රියාත්මක වෙනවා නම් ශ්‍රී ලාංකේය සිනමාවට ආසියාවේ ප්‍රමුඛතම තැනකට පැමිණිය හැකියි. ඒ හදන සිනමාව අපේ අනන්‍යතාව ඇතුළේ සුබවාදීව කළ හැක්කක්. බරපතළ ප්‍රශ්නයකට තිබෙන්නේ ඒ වෙනුවෙන් රුකුල් දිය යුතු රජය ඇතුළු වගකිව යුතු අංශ නිහඬව සිටීම. අපිට දක්ෂ අධ්යක්ෂවරු සිටිනවා. ඒ අයට මේ පවතින ජන සමාජයට දැනෙන ලෙස ආමන්ත්‍රණය කළ හැකි නිර්මාණ එළි දැක්විය හැකියි. දැනටත් අපට සතුටු විය හැකි තත්ත්වයක් තිබුණත් අපේ සැඟවුණු සිනමාව මීට වඩා සුවිශාලයි කියලයි මා සිතන්නේ.
අපේ සැඟවුණු සිනමාව පවතින සිනමාවට වඩා විශාලයි කීවත් මේ පවතින "සිනමා මාෆියාව" ඔය කියන සෑම දේට ම වඩා ඉදිරියෙන් නේද සිටින්නේ ...?
ඇත්ත. මේ සිනමාවේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු නිසා අපේ සිනමාව අද වෙළෝදපොළ මත ගලා යන සිනමාවක් බවට පත්ව තිබෙනවා. මේ පවතින "සිනමා මාෆියාව" පිටුපස රජයේ හිතවාදීන් සිටින බව පැහැදිලියි. අපි මේ පිළිබඳව පැමිණි සෑම රජයකට ම පැමිණිලි කළා. නමුත් කිසි දෙයක්, කිසිම වෙනසක් මෙතෙක් සිදුව නැති බව කියන්නේ ඉතාමත් කනගාටුවෙන්.
අද නිපදවෙන බොහෝ චිත්‍රපට ගුණාත්මක බවින් තොර බවට විචාර සහ චෝදනා එල්ල වී තිබෙනවා නේද?
ඔව්. අපේ චිත්‍රපටවල ජනතාවගේ ආකර්ෂණය දිනා ගත හැකි වාණිජමය පැත්ත, රසාලිප්ත බව ප්‍රමාණාත්මකව වැඩි විය යුතුව තිබෙනවා. ඒ වගේම ගුණාත්මක සිනමාව ගැනත් සිතිය යුතුයි. මේ අතර යම් අවර ගණයෙහිලා ගත හැකි සිනමා නිර්මාණත් බිහිව තිබෙනවා. අද අධ්යක්ෂවරු කොතරම් කැපවීමෙන් නිර්මාණ මෙහෙය වූවත්, ශිල්පීන් විශිෂ්ට ලෙස රංගන දායකත්වයන් මුදා හැරියත් සමහර විශිෂ්ට සිනමා නිර්මාණ පෙන්වා ගත නොහැකි අවස්ථා තිබෙනවා. වාණිජ ප්රතිලාභ ලබන චිත්‍රපටවලට වැඩි අවස්ථාවක් හිමි වන ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා මේ කර්මාන්තයේ නියෑළෙන සමස්ථයේම කැපවීමට නිසි ප්‍රතිඵලයක් නොලැබී තිබෙනවා. මේ සියල්ල වෙනුවෙන් බරපතළ ලෙස මැදිහත් විය යුත්තේ රජය. රජය බකන්නිලා ගෙන සිටීම මට මහා පුදුමයක්. සමහර විට කලාවට තිබෙන ඇල්ම සහ කැමැත්ත ඔවුන්ගේ ශරීරවලින් ඉවත්ව ගිහින් ද කියන ප්‍රශ්නයත් මට තිබෙනවා. හැබැයි මේ විදිහට ගියොත් අපේ රටේ කලාව දිය වී යනවා. ඒ නැවත ගොඩ ගත නොහැකි විදිහට. අපිට ඕනෑ මේ කර්මාන්තය පවත්වා ගෙන යන්න. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම, ප්‍රතිපත්ති සැලසුම් කිරීම ශක්තිමත්ව කළ යුතුව තිබෙනවා. එසේ කටයුතු සිදු කළොත් සැබෑ සිනමාවක් තියෙයි. එදා සිනමාවේ ආරම්භක අවස්ථාවේදී මේ කර්මාන්තයේ ප්රගමනයට එවකට රජයන් යම් සුබවාදී දායකත්වයක් ලබා දුන්නා. අද එය සම්පූර්ණයෙන්ම අත හැර දමලා. කොටින්ම මේ රජය යටතේ සිනමාව දෙසට කිසිම අවධානයක් යොමු කර නැති තත්ත්වයක් තමයි අපට නම් පෙනෙන්නට තිබෙන්නේ.
ඔබේ අධ්යක්ෂණයට නැතුව පුංචි තිරයට නැඟුණු ටෙලි නිර්මාණ බොහොමයක් ප්‍රේක්ෂක මතකයෙහි විරාජමානව තිබෙනවා. ඒ ගැන යමක් සඳහන් කළොත්....?
ඔව්. මගේ කලා භාවිතයේ කැමතිම මාධ්‍ය සිනමාව වුවත් පුංචි තිරය හරහා මගේ ප්‍රේක්ෂකයාට කළ හැකි බලපෑම මා හොඳීන් හ`දුනනවා. මම ඒ දෙස හැමවිටම බැලුවේ සුබවාදීව. සිනමාව කියන්නේ විශාල බලපෑම් කළ හැකි ප්‍රකාශන කලා මාධ්‍යයකට. නමුත් පුංචි තිරය හරහාත් කළ හැකි දේ බොහොමයි. "මං නැති දා", "දිය කිඳුරි", "ගජමුතු යාය", "හිතට වහල් වී", "පාට පාට හීනයක්", "ලොක්යියා" සහ තවත් ටෙලි නිර්මාණ බොහොමයක් හරහා සුබවාදී පණිවුඩ සමාජ ගත කරලීමට මා යත්න දැරුවා. ඒ වෙනුවෙන් ලැබුණු සහ ලැබෙමින් පවතින ප්‍රතිචාර එහි සාර්ථකත්වය කියා පානවා කියලා සතුටින් කියන්න පුළුවන්.
විදේශීය නිර්මාණ මෙහි පෙන්වීම හරහා ඔබ වැනි දක්ෂ නිර්මාණකරුවන් හංගා තැබීමට ඇතැමුන් උත්සාහ දරනවා යෑයි මා කීවොත්...?
ඇත්ත. සමහර විට ඔබ පැවැසූ පරිදි එය එක් හේතුවක් වන්නට බැරි නැහැ. මොකද මේ අය ළඟ තිබෙන්නේ වාණිජ පරමාර්ථ. සිනමාවේ වගේ ම සමාන්තර ගැටලු තමයි පුංචි තිරයෙත් තිබෙන්නේ. මෙතැනදී වැඩිපුර ම කෙරෙන්නේ අවර ගණයේ නිර්මාණ පෙන්වා ජනතාවගේ ඥානය මොට කරලීම. මේවාට යම් ප්‍රමිතියක්, සංස්කෘතියක්, සදාචාරයක් හෝ යම් ගුණාත්මක පැත්තක්වත් නැහැ. විදේශ නිර්මාණ අතර හොඳ ඒවා තිබුණත් ගෙනවිත් පෙන්වන්නේ වාණිජ අගය වැඩිපුර ලබා ගත හැකි කසිකබල් නිර්මාණ. මේවා ජනතාව අතර ප්‍රචලිත කරලීමට ඔවුන් විසින් ම විශාල ප්‍රචාරණයක් ගෙන යනවා.
ඔබේ පවුලේ තොරතුරු ?
මම විවාහකයි. මගේ බිරිඳ රෙෂ්නා නියාස්. අපිට පුතාල ම තිදෙනයි. ඔවුන් අධ්‍යාපනය ලබනවා. මගේ පවුලේ කලා පසුබිමක් තිබුණට කලාව කරගෙන යන්නේ මං විතරයි. හැබැයි මගේ සහෝදරයෝ හොඳ කලා රසිකයෝ. ඒ හැර මගේ කලා නිර්මාණ භාවිතය අගය කරන, නිබඳව ප්‍රතිචාර ලබා දෙන වෙනත් සියලු ජාතීන් මගේ කලාවේ හොඳ ඥාතීන් කියලා කියන්න සතුටුයි.
සුජීව තත්සර