ප්‍රේමය අසිරිමත්ය. යොවුන් හදවත් තුළ ඉපදෙන්නා වූ ප්‍රේමයට ජාති, ආගම්, කුලභේද උස් මිටි තැන් නොමැත. දෙහදක වැඩන්නා වූ ආදරණීය බවට මේ කිසිවක් අදාළ වන්නේ නැත. එවන් ප්‍රේමයකින් බැඳුණු දෙදෙනකුට එක වහලක් යටට එන්නට ඇති එකම බාධාව කුලය නොගැළපීම වුවහොත් ඒ ප්‍රේම කතාවේ අවසානය කෙසේ වේවිද? මේ දිනවල තිරගත වන ‘එක දවසක් අපි‘ චිත්‍රපටයෙන් අප හමුවට එන ප්‍රේමවන්තයින්ට බලපාන්නෙත් මෙවැනිම ප්‍රශ්නයක්. ඒත් මේ දෙන්නා ගන්න තීරණය අපේ හිතේ ඇති කරන්නේ ශෝකාන්තයක්.
ප්‍රේමය ජයගත නොහැකි නම් එක්ව ජීවිතයෙන් සමුගැනීම එයට එකම පිළිතුර නොවන බව සමස්ත සමාජයම දන්න කරුණක්. එහෙත් මේ චිත්‍රපටයෙන් කියවෙන සමස්ත අර්ථය විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමට මේ අවසානය එක් නිමිත්තක්. අපේ කතාබහ යොමු වුණේ ‘එක දවසක් අපි‘ හි අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ වෙත.
‘එක දවසක් අපි‘ චිත්‍රපටයෙන් අනුරුද්ධ ඉලක්ක කළේ කවුද?
විශේෂයෙන්ම මේ රටේ තරුණ තරුණියන්. චිත්‍රපටයේ තේමාව දුවන්නෙත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඔස්සේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන මාතෘකාව වන්නේ ප්‍රේමය. ඒ ප්‍රේමයට බාධා වන බොහෝ දේ තිබෙනවා. ජාති, ආගම්, කුල ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ආදී වශයෙන්. සමාජයේ අපට නොපෙනන රේඛාවක් විදියට ප්‍රේමයට බාධාවන මෙකී ලක්ෂණ තිබෙනවා. මේ තත්ත්වයට අපේ තරුණ පරම්පරාව විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් මුහුණ දෙනවා. එක් උදාහරණයක් විදියට තමයි ‘එක දවසක් අපි‘ චිත්‍රපටය නිර්මාණය කළේ. මනුෂ්‍යයන් විදියට අපි එකිනෙකාට තිබෙන සමානාත්මතාවය බිඳ දමන, සමාජයේ තිබෙන එකමුතුකම විනාශ මුඛයට ගෙන යන ප්‍රශ්නයක් විදියට කුලබේදය කියන දේ මේ සමාජය යටින් කාටත් නොදැනෙන රේඛාවක් විදියට අදටත් දිව යනවා. ඒක එහෙම විය යුතුද? කියන සමාජ කතිකාව තමයි මේ චිත්‍රපටය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරන්න උත්සාහ කළේ. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තවම සති දෙකක කාලයක් වගේ තමයි ගතවුණේ. ඉදිරියේදී මේ සම්බන්ධ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
‘එක දවසක් අපි‘ තිර නාටකය ගොඩනැඟෙන්න වස්තු බීජය වුණේ මොකක්ද?
විපුල සුමනසේකරගේ ‘සිටු කුලයේ ප්‍රේමයක්’ නම් වූ කෙටි කතා සංග්‍රහයේ එක් තැනක තිබුණා ‘අපේ කාලයේ ප්‍රේම කතාවක්’ කියල කෙටි කතාවක්. මේ චිත්‍රපටයට වස්තු බීජය වුණේ ඒක. හැබැයි කතාවේ කුලබේදය කියන ප්රශ්නය සාකච්ඡා වෙලා තිබුණේ නෑ. ඒ කතාවේ ප්‍රේමවන්තයින් දෙන්නා දිවි නසාගන්න කලා වැවට පනින්න ගියාට ඒක වෙන්නෙත් නෑ. ඒගොල්ලන්ට තිබුණේ රැකියා ප්‍රශ්න වගේ වෙනත් හේතු. ඒ කතාවට අනුව අන්තිමට ඒ දෙන්නා දිවිනසා ගන්නෙත් නෑ.
මේ වගේ සිද්ධියක් සිනමාත්මක ප්රකාශනයකට ගන්න තරම් අනුරුද්ධගේ හිත ගිය හේතුව මොකක්ද?
කුල භේදය කියන එක සමාජ කතිකාවක් විදියට ගේන්න මගේ හිතේ තිබුණ උනන්දුව. සමාජය මේ තරම් දියුණු වෙලා තියෙත්දිත් අදටත් මේ කුල ප්රශ්නය අපේ සමාජය තුළ තදබල විදියට පවතිනවා. උඩරට පහතරට බේදය වගේම විවිධ රැකියාවන් අනුව කුලවලට බෙදා වෙන් කිරීම හරියට තිබෙනවා. උසස් යැයි සම්මත කුලවලට පහත් කුල වැසියන් වැද්දා නොගත යුතුයි කියන සාම්ප්‍රදායික මති මතාන්තරවල ඉන්න උදවිය තාමත් අපි අතර ඉන්නවා. මම හිතනවා මේ ප්‍රශ්නයට අද තරුණ තරුණියනුත් මුහුණ දෙනවා. ඒක මානුෂික නෑ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ උත්පත්තියෙන් මිනිහෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවයි. කුල භේදය කියන එක කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඇතිකර ගන්නා උස් පහත් භේදයක්නේ. ඒක එක පැත්තකින් මවාපෑමක්. භූමි සාධක මත මිනිසුන්ගේ රැකියාවලට අනුව කුලවලට බෙදීම අසාධාරණයි. වර්තමානය ගත්තොත් අද අලුත් විෂයක් වර්ධනය වෙලා තිබෙනවා පරිගණික තාක්ෂණය විදියට. එහෙම නම් කොම්පියුටර් හදන අයත් කිසියම් කුලයකට අයත් වෙනවද? ඉස්සර වළං හදන අයට කුලයක් තියෙනවා වගේ එහෙම නම් අපි ඒ අයටත් කුලයක් හදන්න ඕනෑ. අනික් කාරණය තමයි අද දේශපාලනික වශයෙනුත් මේ ප්රශ්නය බලපානවා. ඡන්දෙ ඉල්ලන්න සුදුසුකමක් විදියට හොඳ කුලයකුත් අවශ්‍ය වෙනවා. මේ ප්රශ්නය විවිධ සංකල්පයන්ට විවිධ ආකාරයට බලපානවා. විශේෂයෙන් තරුණ තරුණියන්ට ඒක බලපාන්නේ ප්‍රේමයේදී. ඒ නිසයි ප්‍රේම කතාවක් පදනම් කරගෙන මේ සාකච්ඡාව කළේ.
මේ කතාවේදී තරුණයා සහ තරුණිය තුළ ඇතිවන දැඩි මානසික පීඩනය ඔබ ගැඹුරින් සාකච්ඡා කරනවා නේද?
මේ චිත්‍රපටයේ එන තරුණයා සහ තරුණියගේ අනාගතය විනාශ වෙන්නේ සමාජය විසින් මවාපානු ලබන කිසිදු වැදගැම්මකට නැති ප්‍රශ්නයක් වෙනුවෙනුයි. ඔවුන් දෙදෙනා නිදහසේ ප්‍රේමය අත්විඳ ප්‍රේමවන්තිය මවක් වෙන්නටත් සූදානම් වෙනවා. තරුණයා තම පවුලට සත්‍ය සිද්ධිය පැවසුවත් මව ඊට දැඩි ලෙසම විරෝධය ප්‍රකාශ කරනවා. මව කියන්නේ ඒ දේ සිද්ධ වුණොත් තමන් මියැදෙන බවයි. මේ තත්ත්වය තුළ තරුණයා මුහුණ දෙන්නේ අතිශය සංකීර්ණ මානසික තත්ත්වයකට. තමන්ගේ මවත්, ප්‍රේමවන්තියක් අතර ඔහු අතරමං වෙනවා. මේ තරුණයා හැඟීම් දැනීම් තිබෙන හුඟාක් ප්රගතිශීලී තරුණයෙක්. ඔහු සිය මවට සත්‍ය ප්‍රකාශ කරන කොට මව කියනවා තමන් මැරෙනවා කියලා. ඒ වෙනකොට තමන්ගේ ප්‍රේමවන්තියත් මවක් වෙන්න සූදානම් වෙනවා. එවැනි තත්ත්වයක් තුළ තරුණයෙකුගේ මානසික පීඩනය කොයිතරම් වෙයිද? අම්මත් ඕනෑ. ප්‍රේමවන්තියක් ඕනෑ. මෙතනදි තරාදියේ දෙපැත්තේ ඉන්න අම්මත් ප්‍රේමවන්තියත් අතර අම්මාගේ පැත්ත බර වැඩි වෙනවා. ඔහු අවසානයේ තිරණය කරන්නේ සියදිවි නසා ගන්න දෙන්නම ගිහින් ප්‍රේමවන්තිය සියදිවි නසා ගත්තට පස්සේ ආපහු ඇවිත් අම්ම කියන දෙයකට කැමැති වෙන්න. ඒත් එක් කරන්න බැරි වෙන්නේ ගැහැනු ළමයා තමන් සියදිවි නසා ගන්නා බව ඇයගේ හොඳම යෙහෙළියට එස්. එම්. එස්. එකකින් දන්වල යවන නිසා. ඒක ප්‍රබල සාක්ෂියක් වෙනවා මේ මරණයට. ඒක නිසා ඔහුටත් නැවත ආපසු හැරෙන්න වෙන්නේ නෑ. ඉතින් මේ මානසික පීඩනය චිත්‍රපටය ආරම්භයේ සිටම පෙන්නුම් කරන්න විවිධ කැමරා කෝණයන් පවා පාවිච්චියට ගත්තා.
මේ ප්‍රේමය සියදිවි නසා ගැනීම දක්වා ගෙන යාම ගැන ඔබ මොනවද හිතන්නේ?
සියදිවි නසා ගැනීම පිළිබඳ මට හිතෙන්නේ ඒක සංකේතාත්මක දෙයක්. ඕක දිහා විද්‍යාත්මකව අපි බලන්න ඕනෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපි මෙතනදි නැති කරන්නේ ඵලයනේ. නමුත් අපි නැති කළ යුත්තේ හේතුවනේ. ඵලය නැතිකලාට වැඩක් නෑ. මේ දෙන්නා පැනලා මැරෙනවා. නමුත් හේතුව එහෙමම තියෙනවා. ඵලය දිහා බලල හේතුව ප්‍රශ්න කරන්නයි මට ඕනෑ වුණේ. ඒකයි මම චිත්‍රපටය අවසානයට දාන්නේ ප්‍රේමයෙන් ජයගත් අය සේම පරාජය වූ අයත් ඉන්නවා. පරාජය වීම සිය දිවි නසා ගැනීමට කාරණයක් නොවේ කියලා. මේකෙන් කියන්නේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා සමාජය තුළ පවතින මේ වැරදි හැඟීම් අයින් කර ගත යුතුයි කියලයි. මරණය සිදු වුණාම මිනිස්සුන්ට දැනෙන කම්නයත් වැඩියි. සමාජය මේ මතිමතාන්තරවල දැඩි ලෙස එල්බගෙන සිටියහොත් තරුණ ජීවිත මේ වගේ අකාලයේ අහිමි වෙයි කියන පණිවිඩයයි දෙන්නේ. එහෙම නැතුව සියදිවි නසා ගැනීම දැකලා ප්‍රශ්නවලට උත්තර හැටියට මිනිස්සු මේක ආදර්ශයට ගත යුතු නැහැ. එහෙම කොහොමත් වෙන්නෙ නෑ. එහෙම ආදර්ශයට ගන්නවා නම් සමාජ යහපත පිණිස කතා කරන මාතෘකාවලින් මිනිස්සු කොයි තරම් ආදර්ශ සපයා ගන්න ඕනද? ශේක්ස්පියර් නාට්‍ය හැම එකක්ම ශෝකාන්තයක්. එහෙම නම් ඒ එකක්වත් පෙන්නන්න වෙන්නෙ නෑ. සියදිවි නසා ගැනීම පෙන්වීම ප්‍රශ්නයක් නොවෙයි. අපි මෙතන්දි ගන්න ඕනෑ මේ සාකච්ඡාවට බඳුන් කරන කාරණයේ යථා ස්වරූපය අවබෝධ කර ගැනීමයි.
‘එක දවසක් අපි‘ චිත්‍රපටය දේශීය සිනමාව තුළ සුවිශේෂී සන්ධිස්ථානයක්. හේතුව මෙය ලංකවේ ප්‍රථම මොබයිල් චිත්‍රපටය වීම. මේ සංකල්පයට යන්නට අනුරුද්ධට හිතුණේ ඇයි?
අද වෙනකොට ලෝකේ මිනිසුන් හරිම කාර්යබහුලයි. එක තැනක ඉඳලා තව තැනකට යන්න ගියාම ට්‍රැෆික් එකේ පැය ගණන් රස්තියාදු වෙනවා. එයාර්පෝර්ට් එකේ පැය ගණන් ඉන්නවා. මේ කාලය ගත කරන්න අද මිනිස්සු බොහෝ විට පාවිච්චි කරන්නේ තමන්ගේ ජංගම දුරකතනය. මේ චිත්‍රපටය පැයයි විනාඩි 10 යි. එයාර්පෝට් එකේ පැයක් රස්තියාදු වෙන කෙනෙකුටත් ෆෝන් එකෙන් මේ චිත්‍රපටය බලන්න පුළුවන්. ට්‍රැෆික් එකේ ඉන්න කෙනෙකුට මේක බලන්න පුළුවන්. කාර්ය බහුලත්වය තුළ රසවින්දනය කියන එක නැතිවීමට විකල්පයක් විදියට මේක එනවා. ඉතින් මට හිතුණා අපේ තරුණ පරම්පරාවට ඒක කරන්න. ලංකාවේ කරපු පළවෙනි මොබයිල් ඇප් ෆිල්ම් එක මේක.
මේක කිරීමේදී තාක්ෂණ ක්‍රමවේදය වෙනස්ද?
නෑ. චිත්‍රපටයක් කරන හොඳ කැමරාවලින්මයි කළේ. මුලින්ම් මේක මොබයිල් ඇප් චිත්‍රපටයක් විදියට කළාට පස්සේ ඒක චිත්‍රපට ශාලා සඳහාත් නිදහස් කරන්න නිෂ්පාදකවරුන් කටයුතු කළා. වෙනස වුණේ චිත්‍රපටය කරන්න සාමාන්‍යයෙන් වියදම් වෙන මුදලින් භාගයකටත් අඩු මුදලක් තමයි මේ සඳහා වියදම් වුණේ. චිත්‍රපටය බලනකොට ඒ අඩුපාඩුවවත් නොදකින විදියට මම චිත්‍රපටය කළා. දින 07 ක් වගේ කාල ප්‍රමාණයක් තමයි මේක රූගත කරන්න ගත වුණේ. සමාජ සම්මතයට විරුද්ධ වීම කියන එක සඳහා අපි භාවිත කළ කැමරා රීතිය පවා වෙනස් රීතියක්. කම්පනය තමයි වැඩියෙන් දැනෙන්නේ. මේ කම්පනය දැනෙන ආකාරයේ කැමරා ස්ටයිල් එකක් තමයි අපි භාවිතා කළේ. කෘත්‍රිම ආලෝකය ඉතා අඩුවෙන් අපි භාවිතා කළේ. චිත්‍රපටය දැක්කට පස්සේ තමයි ආයතනය තීරණය කළේ චිත්‍රපට ශාලාවලට නිදහස් කරනවා කියලා.
ඉදිරි දැක්මක් ඇති චිත්‍රපට අධ්යක්ෂවරයෙක් විදියට මේ ක්‍රමවේදය සිනමා කර්මාන්තයට කෙලෙස බලපාවිද?
කර්මාන්තය හොඳයි කියලයි මට හිතෙන්නේ. මොබයිල් ඇප් එකට කරපු චිත්‍රපටය හෝල්වලට නිදහස් කරන්නේ අමතර අවස්ථාවක් විදියට. මේක තරුණ පරම්පරාවට හොඳ අවස්ථාවක් විදියට මම දකිනවා. සිනමාවට ආදරය කරන දක්ෂතා ඇති නව පරපුරක් අපට ඉන්නවා. නමුත් චිත්‍රපටයේ ප්‍රධාන ධාරාවට කරන්න විශාල මුදලක් ආයෝජනය කරන්න ඕන. එහෙම නැතුව මේ හරහා සිනමාවට ප්‍රවිෂ්ට වීමට ඒ තරුණයන්ට හැකියි.
අනුරුද්ධගේ සිනමා භාෂාවේ මූලයන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ සෙවණ දක්වා දිවෙනවා. ඔහුගේ දර්ශනයත්, මේ නව සිනමා භාවිතයත් අතර ඔබේ දැක්ම කුමක්ද?
ආචාර්ය අබේසේකරයන් කියන්නේ දිනපතා අප්ඩේට් වුණු චරිතයක්. ඔහු නව සිනමාවට නව තාක්ෂණය දිහා දෙනෙත් දල්වාගෙන සිටි චරිතයක්. සිනමාවේ ඉදිරි අනාගතය මෙහෙම වෙයි කියලා එදා ඔහු දුටුවා. ඉදිරියට ලෝකයේ පවතින චිත්‍රපට ශානරය වෙනස් වෙනවා කියන එක ඔහු වේලාසන හඳුනාගෙන හිටියා. ඔහු සිටියා නම් අපිටත් කලින් ඒ සඳහා යාවත්කාලීන වෙයි. ඔහු පිටපත් පවා ලියයි මේ ඇප්වලට. අපේ ඉදිරි පරම්පරාව විනෝදාස්වාදය සොයන ක්‍රමවේදය වෙනස්. ඒක හඳුනා නොගෙන නිර්මාණ කළ නොහැකියි.
ඔබේ ඉදිරි නිර්මාණය මේ රටේ හිටපු ප්‍රබල චරිතයක් වටා ගොඩ නැඟෙන්නක්. අපි ඒ ගැන කතා කළොත්?
ඒක ටිකක් ගැඹුරුයි. 1987 - 88 - 89 කාලය කුළ රෝහණ විජේවීරගේ ජීවිතය හා එම කාල වකවානුව තුළ රටේ දේශපාලන, සමාජමය ක්‍රියාදාම ඇසුරින් නිම වූවක්. මේක රෝහණ විජේවීරගේ ජීවිත කතාව නෙවෙයි. ඔහුගේ ජීවිතය හා සම්බන්ධ යම් යම් සිද්ධීන් අඩංගුයි. මේ චිත්‍රපටයෙන් කියන්නේ අපි දන්නා කාලයක දන්නා මිනිසෙකු වටා ගෙතුණු නොදන්නා කතාවක්.
හේමාලි විජේරත්න
සරසවිය