මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද?
ඔව්. මම මුලින්ම ක්ෂේත්රයට එකතු වුණේ 1990 දී. ඒ කේමදාස මාස්ටර්ගේ “මානසවිල” ඔපෙරාවෙන්.
නමුත් එදා මෙදා තුර ඔබ දායක වූ නිර්මාණ සංඛ්‍යාව සීමිතයි. ඇයි එහෙම වුණේ?
එහෙම කියන්නත් බෑ. මම බොහෝ ගීත නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මගේම කියලා ගීත හුඟක් මට තියෙනවා. 2016දී සුමති, රයිගම්, සිග්නීස් සම්මාන උළෙලවලදී හොඳම ගායනයට හිමි සම්මානය ලැබුණෙත් මට.
ඒත් බොහෝ විට ඒ අතරින් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ “සඳ පහන් රැයේ” ගීතය විතරයි.... ඇයි ඒ?
ඒ ගීතය මම ගායනා කළේ වෙනස්ම ආරක ගීතයක් විදිහටයි. බොහෝ විට අප චිත්‍රපට සඳහා ගීත ගායනා කිරීම සිදුවුණාට මගේ මේ ගීතය “ආදරණීය වස්සානය” චිත්‍රපටයට තෝරාගත්තේ ගීතය ගායනා කළාටත් පස්සේ. ඒ වගේම තමයි මම ඔය ගීතය ගායනා කළ කාලයේදී එක් එක් රූපවාහිනී නාලිකා මගින් ගීත අරගෙන ඒවාට රූප රචනා නිර්මාණය කරන සම්ප්‍රදායකුත් තිබුණා. “සඳ පහන් රැයේ” ගීතයටත් රූප රචනාවක් නිර්මාණය වුණේ ඒ විදියටයි. හැබැයි අනෙක් ගීත ඒ විදියට ජනතාව අතරට ගියේ නැහැ.
ඊට හේතුව?
මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මගේ හැම නිර්මාණයක්ම විද්‍යුත් නාලිකාවලට ලබාදී තිබෙනවා. ඒත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ.
බොහෝ ප්‍රවීණයන්ට තියෙන ගැටලුවක් තමයි ඕක. ඒ ගැන ඇහුවාම නාලිකාවල අය කියන්නේ ජනතාව ඉල්ලන දේ දෙනවා කියලයි. ඔබට ඒක එකඟ වෙන්න පුළුවන් විදිහේ කතාවක්ද?
මගේ ගීත අන්තර්ජාලයේ යූටියුබ් එකේ තියෙනවා. සමහර ගීත තියෙනවා විශාල පිරිසක් නැරඹූ ගීත. ඒ වගේම සමහර රියැලිටි තරගවලට එන අලුත් ගෑනු ළමයි මගේ ගීත ගායනා කරනවා. මිනිස්සු මගේ ගීත ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම වෙන්නේ නැහැනේ.
අද “ජනප්‍රිය ගී” විදියට නාලිකාවල නිතර අසන්නට සලස්සන ගීත එකම රාමුවකට කොටු වූ ඒවා. ඔබ වැනි අයගේ ගී එතැන නැහැ. ගීත ප්රචාරයේදී යම් මාෆියාවක් තියෙන බව ඇතැමුන් පවසනවා. සමහර නාලිකා ගීත ප්‍රචාරය කරවන්න මුදල් අය කරන බව පවා ගායකයන් පවසනවා?
කිසිම නාලිකාවකින් ගීත ප්‍රචාරය කරවන්න මගෙන් නම් මුදල් ඉල්ලලා නැහැ. හැබැයි එක්තරා නාලිකාවකින් මේ කාරණය විමසූ වෙලාවේ නම් “අක්කේ සින්දුවකට විෂුවල් එකක් ඕනනේ. විෂුවල් එක බලලා තමයි අපි සින්දුව ගැන තීරණය කරන්නේ. අක්කගේ සින්දුවලට විෂුවල් නෑනේ” කියලා ඔවුන් කිවුවා.
ගීතයක ගුණාත්මක භාවය තීරණය කරන්නේ එහි රූප රචනය බලලා යැයි කියද්දී ඉන්දිකා එම පුද්ගලයාට දුන් පිළිතුර මොකක්ද?
කිසිම උත්තරයක් දෙන්න ගියේ නැහැ.
ඒ කියන්නේ ගීතයකට රූප රචනාවක් අත්‍යවශ්‍යයි කියන තැනට ඔබත් අද ඇවිත් නේද?
කාලෙන් කාලෙට විවිධ ප්රවණතා ඇති වෙනවා. අද වෙද්දී ගීත රූප රචනා කලාව පුළුල් විදියට ව්‍යාප්ත වෙලා. ගීතයක් නිර්මාණය කළොත් රූප රචනාවක් අත්‍යවශ්‍යයි කියන තැනට අද ඇවිත්. අපි ක්ෂේත්රයට එද්දී ඒ විදියේ පසුබිමක් තිබුණේ නැතත් අපිට වුණත් අද පවතින තත්ත්වයට අනුගත වන්න සිදුවන්න වෙනවා. ඒ වුණත් රූප රචනා කලාව ආශ්රිත යම් යම් දේ නම් මම අනුමත කරන්නේ නැහැ. ගීතයකට රූප රචනාවක් නිර්මාණය වෙනවා නම් එය ගීතයේ අර්ථයට වගේම රසයටත් සාධාරණයක් ඉටු කරන එකක් විය යුතුයි.
ඉන්දිකාගේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
ළඟදීම අලුත් නිර්මාණ කිහිපයක් එළි දක්වන්න සැලසුම් කර තිබෙනවා. සුවිශේෂි විදියේ ප්රසංගයකටත් සූදානම් වෙනවා. මගේ සංගීත රටාව ඔපෙරා සංගීතයට නැඹුරුයි. අලුත් ගීත සියල්ලම වගේ සුවිශේෂ පද මාලා. ඒ වගේම සුවිශේෂී සංගීතයකුත් ඊට එක් කරලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබේවි.
ආරියවංශ කුලතිලක