වසර දෙකහමාරකට ආසන්න කාලයක් ටෙලි නාට්‍ය රංගනයෙන් අෑත්ව සිටි සම්මානනීය නිළි දුලීකා මාරපන 'සුදු අඟුරු' ටෙලිනාට්‍ය හරහා නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත්. එහි 'පට්ටරාණි' චරිතය හරහා ඇය වෙනස්ම වූ චරිතයක් නිරූපණය කරනවා. එමෙන්ම ඇයත්, ඇයගේ සැමියා සුජීවත් එකතුව නිර්මාණය කළ 'සුපර්ණා' චිත්‍රපටයේ වැඩකටයුතුත් මේ වන විට අවසන් බවයි ආරංචි.
ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද?
ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ පවත්නා වූ ක්‍රමවේදය මට එතරම් ප්‍රිය නෑ. සමහරු මේ කලාව තෝරගන්නේ කරන්න වෙන කිසිම දෙයක් නැති වුණාමයි. පාරේ යන මිනිසුන්ට වැස්සට ගොඩවෙන්න තියෙන අම්බලමක් නෙවෙයි මේ. විෂය පිළිබඳ හොඳ හැදෑරීමකින්, නිවැරැදි අවබෝධයකින් පැමිණිය යුතු ගමනක් මෙය. මට ක්ෂේත්රය ගැන කලකිරුණා. වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා ටික කාලයකට නාට්‍යවලින් සමුගත්තා.
'සුදු අඟුරු' ටෙලියේ 'පට්ටරාණි' චරිතයට කැමැති වුණේ?
හේතු කීපයක් තියෙනවා. මම ජී. නන්දසේන මහත්තයා සමඟ කාලයක් තිස්සේ වැඩකරලා තියෙනවා. අනෙක එය වෙනස්ම විදියෙ චරිතයක්. ඒ නිසා එය මම කැමැත්තෙන් භාර ගත්තා.
ඔබයි සුජීවයි නිර්මාණය කළ 'සුපර්ණා' මේ වසරේදී ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද?
ඔව්. දැන් යන්නේ අවසන් අදියර. මේ දිනවල එහි සංගීතය පිළිබඳ වැඩ ටිකක් කෙරෙනවා. 'සුපර්ණා' තුළින් අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කතා නොකළ මාතෘකාවක්. අපේ රටට ආවේණික සියලු ශාකයන් අපිට අහිමි වෙමින් යනවා. පරිසරය රැක ගැනීම, අපේ රටේ සංස්කෘතික දායාද, මනුස්සකම් ආරක්ෂා කරගැනීම, මෙමඟින් කතා කරනවා. අද අපි කන්නේ ඇට නැති මිදි. ඇට නැති දොඩම්, ඇට නැති පැපොල්. ගම් මට්ටමින් අපේ දේ විනාශ කරලා. විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරලා. අපේ දේට ඉඩක් නෑ. අද අපි කන්නේ කිලෝ පේර. අල්පෝන්සු අඹ. එසේ විය යුතු ජාතියක් නෙවෙයි අපි. මේ ඛේදවාචකය 'සුපර්ණා' හරහා කතා කරනවා.
ඔබ කවදත් කෙළින් කතා කරන කෙනෙක්. මේ කතාව හරහට හිටි අවස්ථාත් ඕන තරම් ඇති නේද?
මගේ කට වැඩියි කියලා සමහරු ඒ අයගේ නිර්මාණවලට මාව නොගන්නවාත් ඇති. නමුත් එහෙම නැතිව මේ ක්ෂේත්රයේ රැඳෙන්න බෑ. මට ඒ විදියට ඉන්න ඉගැන්නුවේ මගේ අත්තා. (අම්මාගේ තාත්තා.) මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ කොල්ලෙක් මට ගැහුවා. මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අත්තා මට කිව්වේ ගුටි කාලා නම් ගෙදර එන්න එපා. කවුරු හරි ගැහුවොත් ඒ කෙනාට දහ පාරක් ගහන්න කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඔහු කිව්වෙත් ඒ දේමයි. කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ දේ තමයි අදටත් මම පිළිපදින්නේ.
ඔබයි සුජීවයි බොහොම ආදරණීය යුවළක්. නමුත් සුජීව ඔබේ පුතා නේද කියලා අහලා ඔබව අපහසුතාවට ලක් කරන්න හදන අයත් ඉන්නවලු නේද?
සමහරු ඔහු මගේ සැමියා බව දැන දැනම පුතාද කියලා අහද්දී නම් මට තරහා යනවා. එතකොට මම කියනවා ඔව් ලොකු පුතා. හැබැයි මට වඩා අවුරුදු 3කට කලින් ඉපදුණේ කියලා. දැන දැන බොරු අහනවා. සුජීවගේ පෙනුම ඔහුගේ වාසනාවට හිමිවූ දෙයක්. හැමදාම ඔහු එක වගේ. වියපත් වන පෙනුමක් ඔහුට නෑ. නමුත් මම ඊටත් වඩා වාසනාවන්තයි.
ඒ කිව්වේ?
මට මගේ හැකියාව ගැන ආඩම්බරයි. මගේ වයසට කොහෙත්ම නොගැළපෙන අවුරුදු 80, 85 වයසක චරිත පවා මට රඟපාන්න ලැබිලා තියෙනවා.
විදේශීය කාන්තාවකුත් සුජීව ඔබේ පුතාද කියලා ඇහුවාලු නේද?
ඔව්. ගුවන්තොටුපොළකදී ගුවන් ගමන් බලපත්‍ර දෙකත් අතේ තියාගෙනම එහෙම ඇහුවේ. ඇයට අයිතියක් නෑ එහෙම අහන්න. මට හිතුණා ඇයි 'පොට්ටද' කියලා අහන්නත්. ඒ කාන්තාවත් හොඳටම බය වුණා. ඒ මම යම් නීතිමය පියවරක් ගනීවි කියලා. ශ්‍රී ලාංකික අපි ඒතරම් පහත් මට්ටමට වැටිලා නෑ. නමුත් අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවානේ, නානවා කියලා දැක දැක අහනවා නානවද කියලා. කනවා කියලා දැක දැක අහනවා කනවද කියලා. ඒ වගේ සැමියා බව දැන දැන අහනවා පුතාද කියලා. ඔන්න ඕවට තමයි කුණුහරුප කියන්නේ.
චාමිණි ගම්මන්පිල