ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
ඔහු, ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මෙන් ම, සිනමාවේ හා වේදිකාවේ අපුරු චරිත රැසකම හිමිකරුවෙකි. තමන්ට ලැබෙන සෑම චරිතයකින්ම ස්වකීය රංගන පෞරුෂය යළි යළිදු ඔප්පු කළ ඔහු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ය. ඔහු, මේ දිනවල සතියේ දින පහේම 'කොන් කළ දෝණි' හා 'පිනි 'යන ටෙලි නාට්‍යවල එකිනෙකට වෙනස් චරිත සමඟින්, ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙමින් සිටී.
ඔබේ කලා දිවියට අඩිතාලම වැටෙන්නෙ කොහොමද?
මගේ ගම මාතර නිදන්ගල කියන පුංචි ගම්මානය. යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල්වලට ප්‍රසිද්ධ අකුරුගොඩ හා දරඅඩුව ගම්මාන මැදිකරගෙනයි අපේ ගම පිහිටලා තියෙන්නෙ. මේ ගම්වල මිනිස්සු ලෙඩකදි, දුකකදි පිහිට හෙව්වෙ යන්ත්‍ර මන්ත්‍ර ආදී යාතිකර්මවලින්. මට පුංචි කාලෙ ඉදන් ම දහඅට සන්නිය, බලි තොවිල් නිරායාසයෙන්ම දකින්න ලැබුණා. කලාව ගැන මට මූලිකම සිතිවිල්ල ඇති වෙන්නෙ ඔය පසුබිමත් එක්කයි.
ඔබගේ පවුල් පරිසරය, කලාවට යොමු කිරීමට රුකුලක් වුණාද?
අපේ ගෙදර කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. පාසල තමයි ඉන් පසුව මට තෝතැන්න වුණේ. පාසසේ සෞන්දර්ය විෂයක් විදිහට හැදෑරුවේ සංගීතය. පාසල් නාට්‍ය හා තූර්යවාදක කණ්ඩායමේත් මම හිටියා. මම පාසල් තූර්යවාදක කණ්ඩායමේ හිටි නිසාත්, ඒ සමයේ තරුණයන්ට තිබුණ හමුදාවට බැඳීමේ උණ මටත් තිබුණා. ඒ අනුව පාසලෙන් අයින් වුණ සැණින් මම කැඩෙට් නිලධාරියෙක් විදිහට යුද හමුදාවට බැඳණා. හමුදා පාසලේදීත් මම නාට්‍ය කළා.
රංගනයට හිතැති තරුණයාට, හමුදාවේ ජීවිතය බලපෑවේ කොහොමද?
ලුතිනන් වරයෙක් දක්වා වසර හයක් මම හමුදා සේවය කළා. මට එතැන හිටියා ඇති කියලා හිතුණට පස්සෙ, යුද හමුදාවට සමු දුන්නා. ඒත්, මම රැකියාවට සමු දුන්නෙ නළුවෙක් වෙන්න හිතාගෙන නෙමෙයි . පසුව මම අලෙවිකරණ ක්ෂේත්රයට සම්බන්ධ වුණා. රසික නලීන් සෙනෙවිරත්න කියන්නේ මගේ සොහොයුරාගේ වෙළෙද කළමනාකාරවරයා. ඔහුට කලා ක්ෂේත්රයේ සම්බන්ධතා තිබුණා. අපි එකතුවෙලා සුහද කතාබස්වල යෙදෙන අවස්ථාවක, ඔහු තමයි මා නැවතත් කලාවට සම්බන්ධ කළේ.
* ටෙලි නාට්‍ය කලාවට පැමිණීමෙන් පසු, ඔබ කළ නිර්මාණ කටයුතු පිළිබඳ කතා කළොත්?
රසිකගේ මිත්‍රයකුව සිටි චරිත් කොතලාවල මහත්මයා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක මට පළමු අවස්ථාව ලැබුණා. ඒ ටෙලි නාට්‍ය විකාශය වුණේ නැහැ.
* පූර්ණ කාලීනව රංගනයට යොමු වෙන්න ඔබ තීරණය කරන්නෙ කොයි කාලෙද?
2012 අවුරුද්දෙ මම ලොකු අවදානමක් අරගෙන, මට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් කියලා හිතාගෙන, අලෙවිකරන ක්ෂේත්රයේ රැකියාවටත් සමු දුන්නා. ඒ, හමුදා නිලධාරියෙක් විදිහටත්, අලෙවිකරණ ක්ෂේත්රයේ තිබුණු පහසුකම් නැතිවීමේ දුෂ්කරතාවත් එක්කයි . මගේ කියලා කාත් කවුරුවත් කොළඹ හිටියේ නෑ. රඟපෑම රැකියාව විදිහට තෝරගෙන, කොළඹ ඉඳන් මම නොවිඳිනා දුක් වින්දා. මගේ කියලා කිසි ම කෙනෙක් ක්ෂේත්රයේ හිටියෙත් නැහැ. ඒ නිසා මේ ගමන මම තනියම යන්න ඕන එකක් වුණා. ඒත්, එක ම දේ, පෙර රැකියාවල ලැබුණු පහසුකම්වලට වඩා, මේ වෘත්තියෙ පුංචි හෝ චරිතයක් කරලා ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් වීමයි. ඒ ලබන ආත්ම තෘප්තිය මිල කරන්න බෑ.
* තමන් රඟපාන්න කැමැති මෙන්න මේ වගේ චරිතයක් කියන අදහස ඔබට තිබුණද?
කවදාකවත් එහෙම චරිත තෝරන්න පුළුවන් තැනක මම හිටියෙ නැහැ. මට එහෙම වැඩ හම්බ වුණෙත් නැහැ. මට මුල් කාලෙ ලැබුණෙ ඉතා සුළු චරිත. එහෙම නැතිනම්, චණ්ඩින්ගෙ, හිඟන්නන්ගෙ, ගුටිකන චරිත තමයි මම මුලින්ම කළේ.
* තරුණ නළුවෙක් විදිහට, පෙම්වතාගේ චරිතයට ඔබගේ කැමැත්තක් තිබුණෙ නෑ කියලද පවසන්නෙ?
පෙම්වතාගෙ චරිතය කරනවා කියලා හීනයක් මට එදත් අදත් නැහැ. නිර්මාණකරුවන් මගේ හැකියාව දැකලා, මා විශ්වාස කරලා චරිතයක් දෙනවා නම්, ඒක මට විඳින්න පුළුවන් නම්, ඒ චරිතය මේ රටේ සංස්කෘතියට අදාළ නම්, ඒක කළු ද? සුදු ද? කියලා මට අදාළ නැහැ. මම ඒක මට පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. අනික කිසි ම චරිතයක් කළුත් නැහැ. සුදුත් නැහැ. අවස්ථානුකූලව තමයි ඒක පාට වෙන්නෙ. රචකයා නිර්මාණයට අනුව චරිතය කළු හෝ සුදු කරනවා.
* ගෙවුණු කාල වකවානුවේ ඔබගේ හද බැඳුණු චරිත පිළිබද ආවර්ජනයක යෙදුනොත්?
මුලින්ම මම කැමැත්තෙන් රඟපාපු චරිතය 'ගිනි අවි සහ ගිනිකෙලි' චිත්‍රපටියේ නාරාහේන්පිට පීටර්ගෙ චරිතය. තිර රචනයේ තියෙන විදිහේ මිනිසෙක්, මිතුරෙක් වැනි චරිත කරලා, ජානක සිරිවර්ධන මහත්මයගෙ නිශ්පාදනයක් වුණු මලී ටෙලි නාට්‍යයේ පියරත්නගේ චරිතය තමයි නමක් තියෙන චරිතය විදිහට කළේ. ඒකට මම හරි ම කැමැතියි. මගේ චරිතයට නමක් තිබුණෙ පළමු වරට ප්රේක්ෂකයො අහන්න ගත්තා ඔයා නේද පියරත්න චරිතයට රඟපාන්නෙ කියලා.
ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් මට මුලින්ම දෙන්නෙ නාලන් මෙන්ඩිස් මහත්මයා. වැඩමුළුවකින් මා තෝරගෙන, නාලන් මෙන්ඩිස් මහත්මයගෙ දූවරු ටෙලි නාට්‍යයේ කොඩිකාර කියන චරිතය මට ලබා දෙනවා. මේ චරිත සේරම දිගහැරලා ගත්තොත්, ගිනි අවි සහ ගිනිකෙලි චිත්රටයේ පීටර්ගෙ චරිතය මට විශ්ෂයි. මට රංගනයේදී වැඩි පරාසයකට යන්න ඉඩක් ලැබුණා පීටර්ගේ චරිතය හරහා . මට පෙම්වතාගෙ චරිතය ලැබෙන්නෙ දේදුන්නයි ආදරේ නිර්මාණයෙන්. සිනමාවේ පැත්තෙන් ගත්තොත්, නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයේ එෆ් .ආර්. සේනානායක මහත්මයගෙ චරිතය කරන්න ලැබීමත් ලොකු සතුටක්.
* බොහෝ දුර ගෙවා ආ ගමනක විඩා නිවන්න පුළුවන් ස්ථිර තැනකට ඔබ දැන් ඇවිදින්ද?
නළුවෙක් විදිහට ස්ථාවරයි කියලා මම හිතන්නෙ නැහැ. මේ ක්ෂේත්රය සාගරයක් වගේ නම්, මම බොහොම පුංචි දෙයයි තවම හඳුනාගෙන තියෙන්නෙ. මම තවම මේ ක්ෂේත්රයේ හරියට ලොකු දෙයක් කරලා නැහැ. රංගනය කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයක් විදිහට ගත්තොත් , මම ඒ ජීවිතයේ පෙරපාසල් යන පුංචි දරුවෙක්. ඒත්, මේ වෙද්දි අධ්‍යක්ෂකවරු මට විවිධ චරිත කරන්න පුළුවන් කියලා විශ්වාසයකට ඇවිත් තියෙනවා.
* ඔබ වේදිකාවට ඔබින නළුවෙක් වුණත්, වේදිකාව සමඟ ගනුදෙනුවක් නෑ නේද?
මම පාසල් වේදිකාවෙන් පටන් අරන්, ටෙලි නාට්‍ය රංගනයෙන් ක්ෂේත්රයට ආව නළුවෙක්. මම වේදිකාවේ වැඩි වාර ගණනක් වේදිකාගත වන නාට්‍යවල නම් රඟපාලා නැහැ. ඒත්, අතුල ජයසිංහ, කළණ ගුණාසේකර, තුසිත ලක්නාත්එක්ක 2010 සිට 2016 දක්වා යෞවන සම්මාන හා රාජ්‍ය සම්මාන උළෙලවලට ඉදිරිපත් කළ නාට්‍යවල රඟපෑවා. ඒත්, ඒවා ප්‍රසිද්ධ නොවෙන්නෙ, එම නාට්‍ය උළෙලවලට ප්‍රසිද්ධියක් දෙන්නෙ නැති නිසයි.
* ඔබට සම්මාන පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවද?
සම්මානවලට නිර්දේශ වෙලා තියෙනවා. සම්මාන නම් ලැබිලා නැහැ. සම්මාන උළෙල කියන්නෙ උළෙලින් උළෙලට, ජූරියෙන් ජූරියට සාපේක්ෂයි. උදා හරණයක් ගත්තොත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම නළුවා වුණා කියලා, ඔහු හෝ ඇය ලෝකයේ හොඳ ම නළුවා හෝ නිළිය වෙන්නෙ නැහැ. හැබැයි ශ්‍රී ලංකාව වැරැදි තැනකින් අල්ලගෙන ඉන්නවා. අපේ අටේ කලාකරුවෙක් මොකක් හරි ජාත්‍යන්තර සම්මානයක් අරන් ආපු ගමන්, ඔහු ලෝකයේ හොඳ ම සම්මානය ලැබුණා කියලා හිතනවා. කැලේ රජා සිංහයා කියලා අපි කිව්වට, ඒක වෙනස් වෙන්න පුළුවන්.
* අද පවතින නළු නිළියන්ගෙ සංකීර්ණ කාලසටහන තුළ හිරවෙලා, සාර්ථක චරිත කරා යන්න අපහසුයි නේද?
මම ප්‍රතිපත්තියක් විදහට උදේ එක තැනක වැඩ කරලා, හවස තව තැනක වැඩ කරන්නෙ නැහැ. හැබැයි, අද එක ටෙලි නාට්‍යයක වැඩ කරලා, හෙට තව තැනක වැඩ කරනවා. මෙහෙම වැඩ කරන එක පහසු දෙයක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. පසුගිය දවසක ප්රවිණ රංගන ශිල්පී සනත් ගුණතිලක මේ තත්ත්වය පිළිබඳ අපූරුවට විග්‍රහයක් කළා." අපට වඩා දැන් ඉන්න ළමයි දක්ෂයි කියලා හිතනවා. මේ අයට අවස්ථා බොහොමයක් නැතත්, අද එක චරිතයක් කරනවා. හෙට තව චරිතයක් තියෙනවා" කියලා ඔහු කිව්වා. අපට දැන් ඉස්සර අයට වගේ නිදහසේ රඟපාන්න අවස්ථාවක් නැහැ. මේ පවතින වාතාවරණය ඇතුළෙ, අපි කරන දේ මාර වැඩක් කියලා අපි හිතනවා.
* ඔබ පවසන්නෙ, අදට වඩා රඟපාන්න හොඳ පරිසරයක් එදා පැවැති බවද?
අදට වඩා ඉස්සර හොඳයි කියලා දෙයක් නැහැ. මේ හැම දෙයක්ම සාපේක්ෂයි. ඉස්සර අපි පොත් බෑග් එකක් අරගෙන පාසලට ගියාට, දැන් ළමයි අයි පැඩ් එකක් අරගෙන පාසලට යනවා. එදාට වඩා අද හොඳයි හෝ අදට වඩා එදා හොඳයි කියලා අපට නිගමනවලට එන්න බැහැ.
* ඔබ මුලින්ම පැවසූ ඔබ උපන් පුංචි ගම්මානය, අද ඔබෙන් ඈතට ගිහින්ද?
අම්මයි, තාත්යි ගමේ ඉන්නෙ. මම අදටත් ඒ අය බලන්න ගමේ යනවා. අදටත් මම කැමැති ගමට. කාර්ය බහුලත්වය නිසා ගමේ යන්න තියෙන වෙලාව අඩුයි. ඒත්, කවදාකවත් ගම අමතක වෙන්නෙ නැහැ. මුල් තියෙන්නෙ එහෙ. මම මේ දේවලට අවශ්‍ය හැම දෙයක්ම ගොඩනගා ගත්තෙ ගමෙන්. මගේ ගමේ මිනිසුන්ට මා දැකීම ලොකු සතුටක්. හැබැයි මම ගමට ගිහින් නළුවකු නඩත්තු කරන්නෙ නැහැ. ගමේ අය ඒ බව දන්නවා. ඒ නිසයි ගම්මු අදටත් මට ආදරය කරන්නෙ.
* ඔබගේ පෞද්ගලික දිවිය දෙසට යොමු වුණොත්?
මගේ එකවුන්ට්වල සල්ලිත් නැහැ. ජීවිතේ රහසුත් නැහැ. මට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. මම තවම තිනිකඩයෙක්.
* ඔබ ආදරය අත්හැරලා, රංගනයටම ජීවිතය දිය කරමින් සිටිනවාද?
ආදරය කරන්න අය නම් හමුවෙලා තියෙනවා. ඒත්, මගේ රැකියාව හා මා තේරුම් ගන්න කෙනෙක් එක්ක ඕනැ විවාහ වෙන්න. විවාහයකට තේරුම් ගැනීම සහ ගැළපීම අවශ්‍යයි. අපට අවුරුදු 16 දි නම් විවාහ වෙලා ජීවත් වෙන්න ආදරය ඇති කියලා හිතනවා. ඒත්, වයසින් මුහුකුරා යද්දි අපි ජීවිතය ගැන තේරුම් ගන්නවනෙ. හමුදාවට කාලයක් ජිවිතය දියවුණා. මේ රැකියාවත් සමඟ කාලයක් ගතවුණා. ඒත් මම හිතනවා, විවාහ වෙන්න නියමිත වයසක් නැහැ කියලා . ඉදිරියෙදි බලමු .
ධමිමිකා සුරංජි පතිරණ