ලක්ෂ්මන් විජේසේකරයන්ගේ පළමු ඒකපුද්ගල ගී ප්‍රසංගය 'සඳ කිනිති නැමී' මාර්තු 17දා සවස 7ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ නිර්මාණවේදියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු සහ වෙළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වන ලක්ෂමන් විජේසේකරයන්ගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය 'සඳ කිනිති නැමී' මේ මස 17 වැනිදා සවස 7ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ ඒ පිළිබඳව ඔහු සමග කළ සංවාද සටහනකි.
පැවැත්වීමට සූදානම් වන ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්
මේක මගේ ප්‍රථම ඒකපුද්ගල ප්‍රසංගය. මේක දිගට යන්න හිතාගෙන නෙවෙයි කරන්නේ. කරලම නැති නිසයි එකක් කරන්නේ. මේ ප්රසංගයේදී මගේ ගීත 24ක් ගැයෙනවා. මම ගැයූ ගීතවලට අමතරව මම ටෙලිනාට්‍යවලට නිර්මාණය කළ ගීත කිහිපයක් සුනිල් එදිරිසිංහ සහ කෝලිත බානු ගායනා කරනවා. යුග ගායනා සඳහා නිර්මලා රණතුංග, සමිතා මුදුන්කොටුව, ප්‍රදීපා ධර්මදාස සහ වින්ඩි දායක වෙනවා.
දශක 4කට පසුව ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න අදහස් කළේ ඇයි?
මගේ දුවයි, පුතයි බෑනයි එකතුවෙලා තමයි මේ ප්‍රසංගය සැලසුම් කළේ. හෙට දිනයේ (14දා) මගේ 70 වැනි උපන් දිනය යෙදෙනවා. ඒකට සමගාමීව තමයි මේ ප්‍රසංගය කරන්නේ. මම 1975 වසරේදී තමයි සින්දු කියන්න පටන් ගත්තේ.
දශක හතරකට අධික කාලයක් පුරා ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් විදියට සංගීත ක්ෂේත්රයේ වර්තමානයේ ඇතිවෙලා තියෙන වෙනස්කම් ඔබ දකින්නේ කොහොමද?
කියන්න තියෙන්නේ අපි හිටියේ හොඳම යුගයේ කියලා. අපි ක්ෂේත්රයට ආවේ හොඳම යුගයේ. 70,80 සාහිත්‍යය පැත්තෙන් හොඳම අවධියක්. මොනවා නැතත් සාහිත්‍යය නැත්නම් කිසිවක් සිදුවන්නේ නෑ. අද ටිකක් ඒකාකාරී සහ ගී තනු ගැන ගොඩක් හිතන කාලයක්. අපි ඉන්න කාලේ විවිධත්වයක් තිබුණා. ගායකයෝ වුණත්, හඬවල් වුණත් එකිනෙකට වෙනස්.
මම වැඩිපුර ගීත ගයලා නෑ. වැඩිම වුණොත් විවිධ අවස්ථාවල 75ක් 80ක් කියල ඇති. මම එච්චරම ගායනයට යොමු වුණේ නෑ. මම ඊට වඩා කැමතියි අධ්‍යක්ෂණය පැත්තට. ඒ දවස්වල මම වෘත්තිය කරගත්තේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය. දැන්වීම් නිර්මාණය, අධ්‍යක්ෂණය, ටෙලිනාට්‍ය කරන එකට තමයි මම ගොඩක් කැමති. ඒ නිසයි ඒ තරම් අඩු ගීත නිර්මාණ ප්‍රමාණයක් කරන්න හේතු වෙන්නේ.
විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල මම සංගීත අධ්‍යක්ෂණය සිදුකළා. ඒක මම ආසාවෙන් කරන එකක්.
මේ ක්ෂේත්රයට ඔබ වැනි අත්දැකීම් බහුල නිර්මාණවේදියෙකුගෙන් ගතයුතු ප්‍රයෝජනය ලබා ගත්තාද?
එහෙම ගත්තා කියල හිතන්නත් පුළුවන්. ඒ කාලය තුළ මම වැඩ කළ දේවල් සම්බන්ධව මට සතුටු වෙන්න පුළුවන්. ගායනය පැත්ත ගැන මම ඒ තරම් උනන්දුවක් වුණේ නෑ. ඒ වගේම රඟපෑමත් මම උනන්දුවෙන් කළේ නෑ. ඊට වඩා මම අධ්‍යක්ෂණය පැත්තට ආසයි.
අධ්‍යක්ෂණය පැත්තට යන්නේ ඒක වෙනම වැඩක් හින්දද?
ඒක එහෙම සිද්ධ වුණා. අනික ඒකෙ විශේෂත්වයක් තියෙනවා. වෙළෙඳ දැන්වීම් පැත්තට යනවා කියන්නේ නවීනතම දේ වලින්නේ කරන්නේ. ටෙලිනාට්‍යවල කරනවට වඩා ටිකක් දියුණු විදියටයි ඒ කටයුතු සිද්ධවෙන්නේ. ඒ පැත්ත හොඳයි. මම කැමතියි ඒකට.
ලක්ෂ්මන් විජේසේකර කියන නළුවා ගැන කතා කළොත්
මම රඟපානවා කියල ලොකුවට කරන්නේ නෑ. වෙළෙඳ දැන්වීම් වල යම් යම් අවස්ථාවල පෙනී ඉන්නවා විතරයි. දත් කැකුළු පාලා ටෙලිනාට්‍යයෙන් පස්සේ ටෙලිනාට්‍යයක රඟපෑවේ නෑ. ටෙලිනාට්‍ය 6ක, 7ක වගේ රඟපාලා තියෙනවා.
මේ ක්ෂේත්රාගමනය සිදුවුණේ මොන විදියටද?
මම පාසල් යන කාලේ රඟපාන්න ආසයි. ප්‍රියංකර කියන චිත්‍රපටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒකට ගියාට පස්සේ තේරුණා ඒක ටිකක් බරපතළයි කියලා. ඒකෙන් අයින් වෙලා ඉන්නකොට රේඛා ටෙලිනාට්‍යයට ඩී.බී. නිහාල් සිංහයන් විසින් මාව සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ නාට්‍ය කිහිපයක මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ අතර ගංගා සහ නිශ්ශංක, ඉර පායා, දත් කැකුළු පාලා ටෙලි නාට්‍ය විශේෂයි. ඊට අමතරව පොඩි පොඩි චරිතත් කළා. ඊට පස්සේ ඒක සාර්ථක නැති නිසා මම ඒක අතඇරලා දැම්මා.
රටේ ගැටලුකාරී තත්ත්වයන් තුළ ඊට එරෙහිව ඉදිරියට ආ කෙනෙක් විදියටයි අපි ඔබව පහුගිය කාලේ දැක්කේ?
ඔව්, දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්නත් බෑනේ. රටේ වෙන සිදුවීම් ගැන කලාකාරයෙක් වුණාම අවධානයෙන් ඉන්න ඕනෙනේ. මම දකින්නේ අපි සම්බන්ධ වුණු දේ නරක දෙයක් විදිහට නෙවෙයි. අවස්ථාවේ හැටියටයි එහෙම කළේ.
නමුත් ඔබලා අපේක්ෂා කළ දේ සිද්ධ වුණාද
අපිට අවශ්‍ය වුණේ ලංකාවේ ඒ වෙලේ තිබුණු තත්ත්වය ගැන හිතන්නයි. නමුත් අපි බලාපොරොත්තු වූ දේම නොවුණත් එහෙම නොවුණා කියල හිතන්නත් බෑ. නිදහස ඇතුළු යම් යම් දේ මිනිස්සුන්ට හම්බ වුණා. ඒක ඇතුළේ දෙපාර්ශ්වයක් එකතුවෙලා ආණ්ඩු කිරීමට යාම නිසයි ගැටලු මතුවෙලා තියෙන්නේ කියලයි මම හිතන්නේ. අපි කරපු දේ ගැන මගේ කිසිම කලකිරීමක් නෑ. ඒක අපෙන් සිදුවිය යුතුව තිබුණු දෙයක් කියලයි තවමත් මගේ හැඟීම.
එම ජනාධිපතිවරණයේදී ජනතාව දැනුවත් කරමින් සිටියදී ඔබ ඇතුළු කලාකරුවන් පිරිසකට පහරදුන් පළාත් සභා මන්ත්‍රීවරයාව වත්මන් ජනාධිපති විසින්ම තම සංවිධායෙකු ලෙස පත් කළා නේද?
ඔහුව සංවිධායක ලෙස පත්කළ අවස්ථාවේදීම ඒ ගැන අපේ අප්‍රසාදය අපි සිදුකළා. ඒ ගැන අපට වෙන කළ හැකි දෙයක් නැහැ.
කලාව වෙනුවෙන් යමක් කරන්න බලපෑම් කරන්න ඔබලාට අවස්ථාවක් නැද්ද?
අපි හැම කාලෙකම ඒ සඳහා උත්සාහ කරනවා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ අපි හිටිය කාලෙත් බලපෑම් කළා. කිසිදෙයක් සිදුවෙන්නේ නෑ. හැම රජයම එහෙම තමයි. ගිය රජයෙනුත් රන්මිහිතැන්න කියලා එකක් හැතැම්ම ගාණක් දුර හැදුවා. ඒකෙනුත් වැඩක් වුණේ නෑ. ඒවයින් සාමාන්‍ය කෙනාට කිසි වැඩක් නෑනේ. යෝජනා ඉදිරිපත් කරනවා. අපිව ගෙන්නනවා, කතා කරනවා. එච්චර තමයි. ලොකුවට සිද්ධවෙන්නේ නෑ. දැන් ඉන්දියාවේ නාට්‍ය ගෙන්නලා පෙන්නනවා. ඒවා ගැන කතා කළාට විසඳුම් නෑ. ඒ ගැන කලකිරීමක් තියෙනවා.
අපේ රටේ කලාව, ගීතය, ටෙලිනාට්‍ය ගොඩනංවන්න ඔබේ විකල්ප මොනවාද
දැන් ඉතින් 70-80 දශකවල තිබුණු ප්රබෝධය නැවත එන්න ඕනේ. මේ රටම දැන් වාණිජකරණය වෙලා තියෙන්නේ. විවෘත ආර්ථිකය පාලනය නොකර කරපු එකෙන් තමයි මේක සිද්ධ වුණේ කියලයි මම හිතන්නේ. පාලනයක් නැතිව කළාම ලෝකෙ තියෙන සියලුම ජරාව මේකෙ තියෙනවා. මේවා මීට වැඩිය පාලනයකින් කළා නම් හොඳ සාර්ථකත්වයක් ලබාගන්න තිබුණා. රටට ඔරොත්තු නොදෙන මට්ටමට නාළිකා පවත්වාගෙන යාම නිසා ඒවා පත්වාගන්න ඒ මිනිස්සුන්ට හොඳ නරක දෙකම ...