මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම රංගන ශිල්පියා ලෙස පිදුම් ලැබුවේ The Darkest Hour සිනමාපටයේ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය නිරූපණය කළ ගැරී ඕල්ඩ්මන් ය. මේ වනවිට සිය දිවියේ 60 වන කඩඉම පසුකරන ගැරී, හොලිවුඩ්හි ඩොල්බි තියටර්හි පසුගිය මාර්තු 4 වැනිදා පැවැත්වුණු 90 ඔස්කාර් උළෙලේදී සිය සම්මානය ලබාගනිමින් පැවසුවේ,
‘’ඇකඩමි හා එහි සාමාජිකයින් වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා. අද මා මේ ලැබූ සම්මානය වෙනුවෙන් මං බොහෝ දෙනෙකුට ණයගැතියි. මං බොහොම දිගු කාලයක් තිස්සේ ඇමරිකාවේ ජීවත් වෙනවා. ඇමරිකානු සගයින් හා රසිකයින්ගෙන් ලැබෙන ආදරය ඒ වගේම ලැබුණු තෑගි වෙනුවෙන් මේ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. මගේ ගෙදර, වෘත්තිය, පවුල ඒ වගේම ඔස්කාර් මේ හැමදෙයක් ගැනම බොහොම ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.
සර් වින්ස්ටන් චර්චිල්ට මගේ ආචාරය පුදකළ යුතුයි. ඒ වගේම ජීවිතේ මේ දිගු ගමන පුරාවට මගේ ළඟින් හිටිය මගේ බිරිඳටත් ස්තුතිවන්ත වෙනවා. ඔස්කාර් උළෙලටත් වඩා වයස මගේ අම්මාටත් ස්තුතිය පුදකරනවා. ගෙදර සැප පහසු සෝෆාවේ හිඳගෙන ඔස්කාර් උළෙල සජීවීව නරඹන මගේ අම්මා ඊළඟට සමරන්න සූදානම් වෙලා ඉන්නේ ඇගේ 99 වන උපන් දිනයයි. අම්මේ, ඔයා මට දුන්නු ආදරය, සහයෝගය මේ හැමදේටම ස්තුතියි. මං ඔස්කාර් සම්මානේ ගෙදරට ගේනවා. කේතලේ ඔන් කරන්න‘‘ යන්නයි.
ලන්ඩනයේ හැදී වැඩෙන ගැරී ඕල්ඩ්මන් නාට්‍යකරණය පිළිබඳ හැදෑරීමෙන් අනතුරුව සිය 20 හැවිරිදි වියේදී පමණ රංගනයට අවතීර්ණ වූවේය. ඒ 1986 දී පමණය. Sid and Nancy සිනමාපටයේ ප්‍රධාන ශිල්පියා ලෙස පණ පොවන ඔහු පසුකාලීනව අධික මුදලක් දරා නිර්මාණය වූ සිනමාපට වලට දායක වූවේය. JFK (1991), Dracula (1992, The Professional (1994), The Fifth Element (1997) ආදිය ඔහු දායක වූ සිනමාපට අතරින් කීපයකි. Tinker Tailor Soldier Spy (2011) සිනමාපටය වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මානය උදෙසා ද නිර්දේශ වූවේය.
මේ ගැරී ඕල්ඩ්මන් ‘ද ඉන්ටර්වීව්‘ සඟරාව වෙනුවෙන් ජැක් වයිට් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි. (ජැක් සංගීතඥයකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන අතර ඔහු THE WHITE STRIPES නම් රොක් සංගීත හවුලේ ආරම්භක සාමාජිකයෙකු ද වේ)
මුලින්ම The Darkest Hour සිනමාපටයේදී ඔබ නිරූපණය කළ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය ගැන කිව්වොත් ?
රංගන ශිල්පියෙකු විදියට චර්චිල්ගේ චරිතය නිරූපණය කරන්නට හැකිවීම මා ලැබූ භාග්‍යයක් ලෙස සැලකිය හැකියි. ඒ හැඟීම හරියට ශේක්ෂ්පියර්ගේ නාට්‍ය වල ඉන්න ලොකු බඩක් තියෙන Falstaff නැත්නම් King Learගේ චරිතය නිරූපණය කරන්නට ඉල්ලා හිටියා වගෙයි.
Kazuhiro Tsuji, David Malinowski හා Lucy Sibbick මේ සිනමාපටය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම වේෂ නිරූපණය හා හිසකේ සැකසුම වෙනුවෙන් වූ සම්මානයත් දිනාගත්තා. මේ චරිතය උදෙසා ඔබේ බාහිර පෙනුම වෙනස් කරගත් අයුරු ගැන සිහිපත් කළොත් ?
මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක පවතින තත්ත්වය වියවුලක් කරගන්නට මට වුවමනාවක් නැහැ. දැන් මට අවුරුදු 60 ක් වෙන්නත් ළඟයි. මගේ බර 50-60 දක්වා වැඩිකරගන්න වුවමනාවක් නැහැ. මේක් අප් හරහා වෙනසක් කරගන්න බලාපොරොත්තු වෙනවා. Kazuhiro Tsuji මේ සිනමාපටයට සම්බන්ධ කරගත යුතු බව අධ්යක්ෂ වෙන Joe Wright ට මං කෙළින්ම කිව්වා. මේ චරිතය හොඳටම මවන්නට හැකි එකම එක කෙනයි ලෝකයේ ඉන්නේ කියලා මං ඔහුට කිව්වා. ඒ තමයි Kazuhiro.
Tsujiගේ අපූරු වේශ නිරූපණයේ විශේෂත්වයක් තිබෙනවා. මේ වේශ නිරූපණයේදී ඔබේ බඩ මැද්දට යොදා තිබුණු පැඩින් වලින් ඔබව තවත් මහතට පෙනුණා. මේ වෙනස දැනෙන්නේ කොහොමද ?
බොහොම ඉවසිල්ලෙන් හා හාස්‍යයෙන් යුතුව අපි මේ වෙස් ගැන්වීමේ අවසානයක් දකින්න බලාගෙන හිටියා. ඉතිං, ඒ වෙස් ගැන්වීම නිමාවුණාම බොහොම වෙහෙස වෙලා ඉන්න දඩයම් බල්ලෙක් වගේ මාව පෙනෙන්න ගත්තා. රූගත කරන තැනට යනකල් ඉවසිල්ලක් නැතිව හිටියේ. ඇත්තටම, මං ඒ චරිතයට ඇළුම් කළා. ඒ වගේම මං ඒ චරිතය වින්ඳා. ඇත්තටම, රංගනය කියන්නේ ස්වයං වෛරයට තියෙන හොඳ ප්‍රතිවිෂක්.
චර්චිල් වගේ චරිතයක් නිරූපණය කිරීමට ඔබට දැනුණේ කොහොමද ?
වින්ස්ටන් චර්චිල් වැන්නෙකුගේ චරිතය නිරූපණය කිරීම ඇත්තටම එක්තරා අන්දමක හාස්‍යජනක දෙයක් වුණා. මගෙන් මිදිලා තවත් කෙනෙකුගේ චරිතයක ලක්ෂණ හා ගුණාංග ආරෝපණය කරගැනීම වෙනස්ම විදියේ අත්දැකීමක්. අනික චර්චිල් පෙනී ඉන්න වීඩියෝ ගණනාවක් තියෙනවා.ඒ වගේම ඔහු ගැන කියවන්න දේවලුත් බොහොමයක් තියෙනවා. ජෝර්ජ් වොෂිංටන්ට පසුව බොහොමයක් චරිතාපදාන ලියා තිබෙන්නෙත් ඔහු ගැනයි. ඒ වගේම චර්චිල් ඔහුගේ අත්දැකීම් හා ඔහු ගැන කෘතීන් 50 කට අධික ප්‍රමාණයක් ලියා තියෙනවා. ඒ කෘතීන් 50 න් හැම කෘතියක්ම මා කියවා නැති වුණත්, මේ කෘතීන් පරිශීලනය කිරීම පවා අතිශය වටිනා කටයුත්තක් බව පැවසිය යුතුයි.
අද ඉන්න නායකයෝ එක්ක බලද්දි චර්චිල් විශිෂ්ඨ චරිතයක් බව දැකගත හැකියි. අද එවැන්නන් නැතිවීම අඩුවක් නොවේද ?
අවුරුදු 50 ක් පුරාවට දේශපාලනයට දායක වුණු චර්චිල් තමන්ගේ දේශපාලන පක්ෂ දෙවරක් වෙනස් කළා. යුද්ධ හතරකට මැදිහත් වුණා. ඒ වගේම දේශපාලන කටයුතු වලට දායක වුණා.
1953 දී සාහිත්‍ය උදෙසා වූ නොබෙල් සම්මානය දිනාගත්තු ඔහු, චිත්‍ර 500 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරලා ඒවා රාජකීය ඇකඩමියේ ප්‍රදර්ශනය කළා. ඇත්තටම, මේ වගේ වැඩක් කරලා තිබෙන වෙන කෙනෙක් මේ ලෝකයේ ඉන්නවද ?
ඩන්කර්ක් හෝ කියුබානු මිසයිල අර්බුදය වගේ සිද්ධියකදී මානුෂිකත්වය ඒ තරම් වැදගත් වෙලා නැති බව දැකගන්නට හැකියි. අද වෙද්දි උතුරු කොරියාව හා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තැනැත්තෙකු ගැන සැලකිලිමත් වූ විටත් මේ බව හඳුනගන්නට හැකියි. ඇමරිකානු තාරකා විද්‍යාඥයකු වන Carl Sagan නිරන්තරයෙන් පවසන්නේ ‘අහස අපට කතාකරනවා. අප අපවම විනාශ කරනොගත්තොත්, අපිත් දවසක තරු වෙත යාමේ අති දුෂ්කර කටයුත්ත කරාවි‘ කියලයි. මේ කතාවලින් ආකර්ශණය වුණු මිනිස්සු කියන්නේ ‘අපි වෙන ලෝකයන් වලටත් යනවා‘ කියලා. හැබැයි, වැදගත්ම දේ ඔවුන්ට අමතකයි. ඒ ‘අප, අපවම විනාශ කරනොගත්තොත්‘ යන්නයි. මේ කතාව ඔබට දැනෙන්නේ කොහොමද ?
ඇත්තටම, අනාගත වක්තෘවරයෙකු වගේ චර්චිල් මේ හැමදේම ගැන මනාව දැනගෙන හිටියා. තාක්ෂණය අවි බවට පරිවර්තනය වන බව ඔහු දුටුවා. 1924 දී ඔහු රචනා කළ ලිපියක දී ප්‍රශ්න කරන්නේ, ‘අපි හැමෝම සියදිවිනසාගනිමුද ?‘ යන්නයි. ‘‘මරණය අපේ කීකරු බව, බලාපොරොත්තුව හා සේවය ලබාගෙන අවධානය දිනාගන්නවා. ඒ විතරක් නොවෙයි මිනිස් කැළ විනාශ කිරීමේ සූදානමින් පසුවෙනවා.‘‘ යුද්ධය නිමා වුණාට පස්සේ ඒ ගැන සටහනක් තබන චර්චිල්, න්‍යෂ්ටික අවි ගැන සටහනක් තබමින් පවසන්නේ, ‘අපි නිර්මාණය කරන හැමදේම රබර් බෝලයක් වගේ වැදිලා ආපහු අප වෙතටම එනවා.‘‘ යන්නයි.
යුද්ධයේ සදාකාලික නිමාවක් වෙනුවෙන් ඔහු හැකි සෑම ප්රයත්නයක්ම දැරුවත් අපි තාමත් යුද්ධය අත්විඳිනවා.
Darkest Hour සිනමාපටය තුළ ඒ සමයේ මිනිස්සු කුමන අන්දමින් තමන්ගේ ජීවිතය හා රාජකාරි කටයුුතු සිදුකළාද යන්න අපූරුවට නිරූපණය කර තිබෙනවා. චර්චිල් මොනවගේ අරුම පුදුම කෙනෙක් වුණා ද යන්න ඔබේ රංගන ප්‍රතිභාව හරහා දැකබලාගන්නට හැකියි. සමහර වෙලාවට ඔහු අපූරු කථිකයෙක්, තවත් වෙලාවකට ඔහු ඉක්මනින් කුපිත වන බොහොම වයසක කෙනෙක්. ඔබ නිරූපණය කළ චර්චිල් ගැන කතා කළොත් ?
ඇත්තටම, චර්චිල් කියන්නේ මිනිස්සුන්ව බොහොම සමීපව ඇසුරු කළ චරිතයක්. ඒ වගේම බොහොම අවංක, නිහතමානී කෙනෙක්. වරෙක චර්චිල් තමන්ගේ කතාවකදී කියන්නේ, ‘එළඹෙන මාස කිහිපයේදී අපිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙන්නට සිදුවේවි‘ යන්නයි. නමුත්, අපිට කන්න බොන්න නොලැබේබි, කියලා මේ කතාවේ කොතැනකදී වත් ඔහු නොකීවත්, ‘මේ ඉදිරි කාලය අඳුරු කාලපරිච්ඡේදයක් වන බව‘ ඔහු නොකියා කියනවා. මිනිස්සු ඔහුට ආදරය කළේ අන්න ඒ නිසයි.
මං අහලා තියෙන කතාවක් මෙහිදී සිහිපත් කරන්න කැමතියි. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන්ගේ හමුවකදී චර්චිල් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘චර්චිල්ගේ කතා ලිව්වේ කවුද?‘ කියලා එහි හිටපු අගමැතිවරයෙකු අහලා තියෙනවා. ‘චර්චිල්ගේ කතා ලිව්වේ ඔහුමයි‘ කියලා චර්චිල් ගැන හදාරලා තිබුණු නැතැත්තෙකු එහිදී පවසා තිබෙනවා. මේ අතර හිටිය හිටපු අගමැතිවරයෙකු පුදුමයෙන් වගේ අහලා තියෙන්නේ ‘චර්චිල් තමන්ගේම කතා ලිව්වේ කොහොමද ?. ඒ වගේ මනුස්සයෙක්ට කතා ලියන්න වෙලාවක් වත් තිබ්බද ?‘ කියලා. ‘ඔබට අහන්න වුවමනා උත්තරේ මේක නොවුණත්, චර්චිල් කියන්නේ ඇත්තටම බුද්ධිමතෙක්‘ කියලා පෙරළා උත්තර දුන්නු පෙර කී තැනැත්තා පවසලා තිබෙනවා. ඇත්තටම, අරුම පුදුම බුද්ධියක් තියෙන වෙනස්ම විදියේ මිනිස්සු අතරින් කෙනෙක් විදියට චර්චිල්ව හඳුන්වන්නට පුළුවන්.
අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්
slguardian.org