සිය හිමි වෙනුවෙන් ‘සති පූජා’ පවත්වන පතිනියෝ අදටත් ඉන්දියානු සමාජයේ වෙසෙති. සති පූජාවක් නොවූව ද මෙය පති පූජාවක් ලෙසින් හඳුන්වන්නට කැමැත්තෙමි. දිනය හරියටම අප්‍රේල් 05 වනදායි. පති පූජා පවත්වන මේ දයාබර පතිනිය අන් කිසිවකු නොව අපේ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ය. සිය අනූනම වෙනි ජන්ම දිනය සමරන මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජන්ම දිනය වෙනුවෙන් සුමිත්‍රාගේ නවතම සිනමා වියමන ‘වෛශ්ණාවී’ තිරයට පැමිණෙන්නේය.
මේ සිද්ධිය ඓතිහාසිකය. ඉතිහාසයේ කිසිදු දිනයක මෙවන් උපන් දින තිළිණයක් ලද ස්වාමියෙකු මෙන්ම මෙවන් තිළිණයක් පිරිනමන්නට හැකි වූ පතිනියක් පිළිබඳව මට නම් අදහසක් නොමැත. එසේම අනාගතයේ එවැනි සිද්ධියක් මේ ආකාරයෙන්ම සිදු වේ යැයි විශ්වාස කළ හැකි ද නොවේ. අනාගතයේ එවැන්නක් සිදුවනවා නම් සැමියා සහ බිරිඳ යන දෙදෙනාම චිත්‍රපට අධ්‍යක්ෂණයේ නියුතු වූවන් විය යුතුය. එසේම සිය ස්වාමියාගේ කතාවකට බිරිය එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ යුතුය. බිරියගේ වයස අවුරුදු 83 ක් වූවා සේම සැමියාගේ අනූ නව වෙනි උපන් දිනයටම එය තිළිණ කළ යුතු ද වේ. මෙකී වාර්තා සියල්ල ඒ අයුරින්ම සම්පූර්ණ කරමින් සුමිත්‍රාගේ වාර්තාව බිඳ දමන්නට අනාගතයේදී හෝ කිසිවෙකුටත් හැකි වේ යැයි විශ්වාස කළ නොහැකිය. එසේම වර්තමානය වන විට ඇගේ දයාබර සැමියා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෝකයේ සිටින වැඩිමහල්ම සිනමාකරුවාය. ලෝක පුජිත ලෝක වාර්තා තැබූ මෙන්ම ලොවක් වසඟ කළ නිර්මාණ දායාද කළ මේ අපූරු මිනිසා අද ආදරයෙන් බලා කියා ගන්නී ඇයයි. මියෙන තුරු එක්ව යන්නට ශපථ කළ විවාහ බැම්මේ විශිෂ්ටත්වයට පූර්වාදර්ශ ඈ අපට පෙන්වා දෙන්නීය.
සුමිත්‍රා වෛශ්ණාවී නිර්මාණය කරනුයේ මීට වසර 7 -8 කට පමණ පෙරය. විවිධ හේතු කාරණා නිසා ගෙවී ගිය කාල වකවානුව තුළ එය මහජන ප්‍රදර්ශනයට ගෙන ඒමට නොහැකි විය. සමහර විට එය අප කාටත් නොදැනුවත්ව නිසි කළ, නිසි දිනය එළඹෙන තුරු බලා සිටියා වන්නට ඇත. දැන් ඒ දිනය එළඹ ඇත.
‘මීට අවුරුදු හත අටකට ඉහත දී මම චිත්‍රපටයක් කරන්න තිර පිටපතක් හොයමින් සිටියා. ඔය අතරතුර කාලයේදී දවසක් ලෙස්ටර්ගේ ෆයිල් අතර තිබිලා මට පොඩි කතාවක් හම්බ වුණා පිටු 10 - 15 ක ප්‍රමාණයක. ලෙස්ටර් ඒක ලියලා තිබුණේ ඉංග්‍රීසියෙන්. මම කියවගෙන යනකොට මට කැමැත්තක් ඇති වුණා මේ කතාවට. ලෙස්ටර්ට මම කිව්වා ‘මට ආසයි මේ කතාවෙන් චිත්‍රපටයක් කරන්න කියලා’. ලෙස්ටර් කිව්වේ තව ටිකක් හිතලා බලන්න කියලයි. කොහොම හරි ඒ කතාව මගේ හිතට වැදුණා. ඊට පස්සේ මම කල්පනා කරන්න ගත්තේ මම මේකේ පිටපත හදන්නේ කාත් සමඟ ද කියලයි. මම ටෝනිට කතා කළාම ඔහු කැමැති වුණා. ඊට පස්සේ මේ කතාව ඇසුරින් ටෝනි තිර පිටපත ලියන්න පටන් ගත්තා. ටෝනිත් එක්ක මම ‘දුවට මවක මිස’ තිර පිටපතත් කරලා තිබුණා. අපිත් සමඟ හුඟක් සමීපව ඔහු වැඩ කළා. අපි හුඟක් සාකච්ඡා කළා. ඔහු හුඟක් කතාව ඩිවලොප් කළා. අපි නිතරම හමු වුණා. ඔහු ලියනවා. අපි කපනවා. සමහර ඒවා ඔහුම ලියලා ඔහුම කපනවා. ඔය ආකාරයට ‘වෛශ්ණාවී’ තිර පිටපත බිහි වුණා. ඒකට අපි දන්නෙම නැතිව හුඟක් කාලයක් ගියා. නිෂ්පාදකවරයෙක් නැතුවත් හිටියා. ඔය අතරේ මම අසනීපත් වුණා. ඔහොම ඉන්න කොට තමයි මනෝ නානායක්කාර චිත්‍රපටයට මුදල් යොදවන්න කැමැති වුණේ. රූගත කිරීම් කළේ 2012 දී විතර. දින 50 ක විතර දිග ෂූටිං ෂෙඩුල් එකක් තිබුණේ. මට මතකයි ඒ කාලේ මම ‘ගඟ අද්දර’ කලෙත් දින 35 න්ද කොහේද.
සුමිත්‍රා ‘වෛශ්ණාවී’ ආරම්භය පිළිබඳ මතක් කළාය. වෛශ්ණාවී හි ප්‍රධාන නළු නිළි යුවළ වන්නේ තුමිඳු දොඩන්තැන්න සමඟ යශෝධා විමලධර්මය. නවක නළුවෙකු, නිළියෙකු හඳුන්වාදීමේ සුමිත්‍රාගේ සුපුරුදු ක්‍රියාදාමය තුළ මෙවර හඳුන්වා දෙන්නේ නවක නිළි සමාධි අරුණ චායාය. ජයලත් මනෝරත්න, අයිරාංගනී සේරසිංහ, වසන්ති චතුරානි, රොෂාන් පිලපිටිය ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් ද ඊට දායක වෙති. ‘වෛශ්ණාවී’ නිර්මාණ කණ්ඩායම පිළිබඳ සිහිපත් කිරීමේදී ඊට දායක වූ කිහිප දෙනෙක්ම එය තිරගත වන මොහොතේ ජීවතුන් අතර නොමැති වීම පිළිබඳව ද සුමිත්‍රාගේ සිත තුළ බලවත් ශෝකයක් මතුවේ. වෛශ්ණාවී හි සංගීත අධ්යක්ෂ නිමල් මෙන්ඩිස් අද ජීවතුන් අතර නැත. එසේම එහි තිරපිටපත් රචක ටෝනි රණසිංහ මෙන්ම වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහයන් ද මෙලොව හැර ගොස් ඇත.
මට සුමිත්‍රාගේ සිනමා රූප කාව්‍ය මතකයට නැඟේ. ඒවා තුළ වූ ස්ත්‍රී චරිත, පුරුෂ චරිත විවිධාකාරය. 1978 වර්ෂයේදී ‘ගැහැනු ළමයි’ ගෙන් පටන් ගෙන ගඟ අද්දර (1980), යහළු යෙහෙළි (1982), මායා (1984), සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988), ලොකුදුව (1996), දුවට මවක මිස (1997), සක්මන් මළුව (2003), යහළුවෝ (2007) දක්වා මේ ගමන් මඟ දිගු වේ. රිදී තිරය තුළ ප්‍රති නිර්මාණය වූ ‘කුසුම්’, ‘නිර්මලා’, ‘මද්දුමී’, ‘නෙළුම්’, ‘හීන් කෙල්ල’, ‘පුණ්ණා’, ‘තුෂාරි’, ‘ප්‍රේමා’ හා ‘මමෝරාණි’ ද සුමිත්‍රාගේ ස්ත්‍රිත්වයේ විවිධ පැතිකඩ තුළ නිර්මාණය වූවන්ය. මෙවර වෛශ්ණාවී රැගෙන එනුයේ ‘ලක්ෂ්මී’ය.
‘චිත්‍රපටයේ වැඩ නිම වුණ ගමන්ම මට ඕන වුණේ ඉස්සරලම චිත්‍රපටය ලෙස්ටර්ට පෙන්වන්න. ඒක ගෙදරදී ච්ඍච් පටයකින් හෝ නෙවෙයි තියටර් එකක විශාල තිරයේ. ඒක මම කළා. ලෙස්ටර් චිත්‍රපටය බලලා හරියට සතුටු වුණා. එදා ඉඳලා ඔහුගේ සිතේ නිතරම වැඩ කළේ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නේ කවදද කියන එකයි. ඔහු වරන්වර ඒ ගැන මගෙන් විමසන්න ගත්තා. මට මතකයි චිත්‍රපටයේ රූගත කිරීම් කරත්දී කැලණිමුල්ලේ ලොකේෂන් එකට ඔහු ආවා. ෂූටිං බලාගෙන ඉඳලා එයාගේ අදහස් කීවා. ඔහුගේම කතාවකින් නිම වුණු මෙම චිත්‍රපටය ඔහුගේ 99 වැනි උපන් දිනයට ප්‍රදර්ශනය කරන්න ලැබීම මට ලොකු සතුටක්.
‘චිත්‍රපටයේ නළු නිළියන් ගැන සිතීමේදී මට මුලින්ම මතකයට ආවේ තුමිඳුව. අද මට හිතෙනවා මම නිවැරැදිම තෝරා ගැනීම කරලා තියෙනවා කියලා. මේ වෙනකොට ඔහු මේ රටේ ජනප්‍රියම නළුවා වී හමාරයි. ඔහුගේ ජනප්‍රියත්වයත් වෛශ්ණාවී සාර්ථකත්වයට හේතුවක් වේවි කියලා මට හිතෙනවා. මම තෝර ගත්ත අලුත් මුහුණ ඉතාම දක්ෂ තරුණියක්. අරුණ චායා. නමුත් මට කනගාටු චිත්‍රපටය ප්‍රමාද වීම නිසා ඇයට අසාධාරණයක් වුණා කියලා. ඒ දවස්වලම චිත්‍රපටය ආව නම් අද මේ වෙන කොට හිට් වෙලා ඉවරයි.
වෛශ්ණාවී තමයි මම ඩිජිටල් ක්‍රමයට කරපු පළමු චිත්‍රපටය. මම දන්නේ නෑ ඒක කොයි තරම් දුරට සාර්ථක ද කියලා. පුරුදු සීමා මායිම් ඇතුළේ වැඩ කරලා තාමත් හිත ඇතුළේ වාරණ වැඩ කරනවා. ඕන තරම් ෂූට් කරන්න, ඕන තරම් ටේක්ස්වලට යන්න තියෙන ඉඩෙන් මම කොහොම ප්‍රයෝජන අරන් තියෙනවද දන්නෙ නෑ. නමුත් මට හිතෙනවා චිත්‍රපටය මධ්‍යස්ථව ගියා කියලා.’
‘වෛශ්ණාවී’ යනු විෂ්ණු දෙවියන් අදහන්නන් යන අරුත් ගනී. ඒ අරුත ඇතුළත වන කතා ප්‍රවෘත්තිය තුළ සුමිත්‍රා සිය ආත්ම ප්රකාශනය චලන චිත්රයක සනිටුහන් කළාය. හෙට අප නරඹනුයේ අගේ සිත සසල කළ ඇගේ සිත සංවේදී කළ ඈ සිතින් උපන් සිනමා සිත්තමකි.
ගෙවුණු දිවිය පුරා ආපසු හැරුණු විට ඒ තුළ වන්නා වූ සොඳුරු දේ බොහොමයක් වුව ද අද දින ඈට සුවිශේෂී වන්නේ ‘වෛශ්ණාවී’ය. ඒ ඇය මේ නිර්මාණය වසර 50 ටත් අධික කාලයක් දුක සැප සමව විඳිමින් සිනමාව වෙනුවෙන්ම හැම දිනයක්ම කැපකළ විවාහ දිවියක අසිරිය තමන්ට ප්රදානය කළ තම දයාබර සැමියා උදෙසාම පිදෙන පූජාවක් හා සමවන නිසාවෙන්ය.
‘වෛශ්ණාවි මගේ ජීවිතේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ලෙස්ටර් මාත් සමඟ විවාහ වෙලා දැන් වසර 50 කටත් අධික කාලයක් ගත වෙලා. මේ ගෙවුණු කාලය තුළ අපි දෙන්නගේ ජීවිතේ සිනමාව හැර වෙන දෙයක් තිබුණේ නෑ. සිනමාකාරියක් විදියට මේ තරම් දුර ගමනක් එන්න මගේ ජීවිතේට වැඩියෙන්ම බලපෑවේ ලෙස්ටර්. අම්මා තාත්තාගෙන්, පරම්පරාවෙන් මට උරුම වෙන්න තිබුණේ වෙනත් දෙයක්. මම සිනමාව ඉගෙන ගන්න ගියේ ලෙස්ටර් හමුවෙන්න කලින් තමයි. හිතුවක්කාර විදියට පිටරට ගිහින් ඒ ගත කළ ජීවිතේ මේ විදියට වෙනස් වෙන්න හේතු වුණේ ඔහු. ඔහු මුණ නොගැසුණා නම් ලන්ඩන් ස්කුල් එකෙන් සිනමාව ඉගෙන ගෙන එහේ ඉඳලා කාලයකදී මෙහෙ ඇවිත් චිත්‍රපට කරන්නත් ඉඩ තිබුණා. එහෙම නැත්නම් ලංකාවට ඇවිත් ගෙදරින් කියන විවාහයකට කැමති වෙලා වෙනත් දිවියක් ගෙනි යන්නත් ඉඩ තිබුණා. ඒ සියල්ල වැළැක් වුයේ ලෙස්ටර්ගේ හමුවීම. මගේ ඉරණම ලියවිලා තිබිලා තියෙන්නේ ඔහුගේ දැවැන්ත සෙවණැල්ල යට. මම හිතනවා මම හරිම වාසනාවන්තියක් කියලා.
අපි දෙන්නගේ සුසංයෝගය හරිම සරල, නිදහස් එකක්. මම ඔහුගේ චිත්‍රපටවලට උදව් කළා. ඔහු මගේ චිත්‍රපටවලට උදව් කළා. ඒ වගේම ඔහු මට නිදහසේ ඉදිරියට යන්නට අවස්ථාව සලසලා දුන්නා. කොයිම විදියකින්වත් මාව හිර කරලා තියන්න ඔහු උත්සාහ ගත්තේ නෑ. නිර්මාණ ජීවිතේදී ඇයි එහෙම කරන්නේ? ඇයි ඒ විදියට රඟපාවන්නේ කියල කවදාවත් මගෙන් ප්‍රශ්න කරලා නෑ. යමක් වෙනස් වෙන්න ඕන නම් හින්ට් එකක් විතරක් දෙනවා. මම කරන සෑම වැඩකම මගේ පස්සෙන් හිටියා. කොටින්ම කිවුවොත් ගැහැනු ළමයිවලට වසන්ති හොයන්න යන්නත් එයා මාත් සමඟ ආවා. නමුත් කිසිම දේකට ඇඟිලි ගැසුවේ නෑ.’
පූජාසනයක තබා පිදිය යුතු ආදරයක්, සෙනෙහසක්, බැඳීමක් යනු මෙවන් බැඳීමක් යැයි මට සිතේ. එකිනෙකා අතර වන අනේයීන්‍ය ආදරය, ප්‍රේමය, බැඳීම අඩ සිය වසක් ඉක්ම ගිය ද නික්ම නොගිය හැටි මා ඇගේ දෑසෙන් දිටිමි. ඈ ලෙස්ටර් සමඟ පති කුලයට පිවිසෙන විට ඔහුට වඩා වසර 16 ක් පමණ බාල තරුණියකි. දසත පැතිරුණු සවි ශක්තිමක් මුල් ඇති සුවිසල් ගසක් මෙන් සිනමාව සමඟ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද ඈට සෙවණ සැදුවේ ලෙස්ටර් නම් වූ ඒ සුවිසල් මිනිසාය. ආරක්ෂාව, රැකවරණය, ආදරය, සෙනෙහස කැටි කොටගත් ඒ අතීත දිවියේ මතක සැමරුම් අතරින් අද අනූ නම වෙනි වියට පත් සිය දයාබර සැමියාට රැකවරණය සලසන්නී ඇයයි. ඔහුට ඈ මාතු භාර්යාවකි. එසේම සඛී භාර්යාවකි.
‘මම වාසනාවන්ත බිරිඳක් තමයි. ඒත් මට වෙලාවකට ලොකු කනගාටුවක්, දුකක් දැනෙනවා. ලෙස්ටර් සතු සුවිශාල දැනුම් සම්භාරයත් එක්ක අපි දෙන්නා ගත කළේ නිරන්තර සාකච්ඡාමය ජීවිතයක්. ඒත් දැන් දැන් ඒ සාකච්ඡා සීමාසහිත වෙනවා. වෙලාවකට හොඳට කතා කරනවා. වෙලාවකට ඔහුට වෙහෙසයි. එතකොට මට දුක හිතෙනවා. නමුත් මෙච්චර කලක් අපි සතුටින් හිටපු හැටි මතක් කරගෙන දුක අමතක කරන්න උත්සාහ කරනවා. ඇත්තටම දැන් වෙලාවකට ඔහු පොඩි ළමයෙක් වගේ.’
ඇස අග නලියන කඳුළක් ලොකු කතාවක් කීවේය. අඩ සිය වසකටත් වැඩි විවාහ බැඳුමක ආදරයට, සෙනෙහසට, රැකවරණයක අරුමය මේ කඳුළට පමණක් කියා පෑ හැකිද? ඊට වඩා වැඩි රිදුමකින් ඇගේ හදවත හැකිලී යනු මට දැනිණ.
ලෙස්ටර්ට තරම්ම සිනමාවට ද පෙම් බදින ඈ ලෙස්ටර්ගෙන් හෝ සිනමාවෙන් වෙන් කොට ගත් කළ එතැන සුමිත්‍රා පීරිස් කෙනෙක් නොවන්නේය. ගතින් වියපත් වුව ද ඈ තවමත් සිතිවිලි තරුණ සිනමාකාරියකි. ඈ මේ මොහොතේත් ඈ තවත් අළුත් සිනමා කවියකට පද අමුණන්නට වස්තු බීජ සොයන්නීය.
‘මට ආසයි තව චිත්‍රපටයක් හෝ දෙකක් කරන්න . . .’ ඈ බලාපොරොත්තුවේ දෑස් දල්වමින් පවසන්නීය. ඉස්සර වගේ චිත්‍රපට කරන්න දැන් මට වෙහෙස වෙන්න බෑ කියලා දන්නවා. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක ඈත ගම්බද පළාත් දකින කොට මගේ සිතේ සාංකාවක් ඇති වෙනවා. අනේ දැන් නම් මට මේ වගේ පළාතක දර්ශන ගත කිරීම් කරන්න බැරි වෙයි කියලා. ඇත්තටම දැන් මට සාගර ජලය වගේ චිත්‍රපටයක් කරන්න අමාරුයි. ඒත් මගේ සීමාවේ ඉඳගෙන කරන්න පුළුවන් චිත්‍රපටයක් ගැන දැනුත් මම උනන්දුයි.
සිනමාව ජීවිතය කර ගත්තියකට ඉන් බැහැර ලොවක් කොයින්ද?
වෛශ්ණාවීගෙන් පසුත් ඇගේ සිනමා කවියක මිහිර විඳින්නට අපි වාසනාවන්ත වෙතැයි විශ්වාස කරන්නෙමු.
හේමාලි විජේරත්න
ඡායාරූප - නිශ්ශංක විජේරත්න