‘කූඹියෝ’ යනු ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ටෙලිනාට්‍යයකි.
එය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවැති රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියම නාට්‍යයට හිමි සම්මානය ‘කූඹියෝ’ ටෙලිනාට්‍යට හිමිවිය. මේ වන විට විකාශය අවසන්ව තිබෙන ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය ගැන එහි අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න සමග මෙලෙස කතා කළෙමු.
කාලයක් සමාජගත කරන්න විදියක් නැතිව තිබුණු ටෙලිනාට්‍යක් මේ මොහොතේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වෙලා තියෙනවා. ඒ ගැන තිබෙන අදහස මොකක්ද?
සම්මානය කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ලංකාවේ සමාජ මාධ්‍යය හැසිරීම සහ අනෙකුත් දේශපාලනික කාරණා එක්ක එක්තරා කුලකයක් තුළ කූඹියෝ ඉතා ජනප්‍රිය නාට්‍යයක් බවට පත්වෙලා තිබෙනවා. එස්.එම්.එස්. ලැබුණේ නැතත් පසුගිය කාලය තුළ බලද්දි ෆේස්බුක් මාධ්‍යයන්හි පවා ජනප්‍රිය නාට්‍යයක් බවට පත්ව තිබුණා. සම්මානයක් ලැබීම ගැන ලොකු හැඟීමක් නැත්තේ අපේ නිර්මාණ කණ්ඩායමට තේරුණ දෙයක් තිබුණා, ඒ අපි ලංකාවේ ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් අතරට ගිහින් කියන දේ.
එහෙම බොහෝ ප්‍රේක්ෂක පිරිසක් වැලඳ ගත් නිර්මාණයට මාධ්‍යවල ඉඩක් හැදුණේ නැති හේතුව ලෙස දකින්නේ මොකක්ද?
සරලව ඒ ගැන කතා කළොත් අපි සපත්තු වෙළෙඳ පොළ ගමු. එහි සපත්තුවල නිශ්චිත හැඩයක් තිබෙනවා. වම් කකුලේ සපත්තුවේ හැඩය හා දකුණු කකුලේ සපත්තුවේ හැඩය නිශ්චිතයි. මේ හැඩයට පරිබාහිරව යම්කිසි දෙයක් වෙළෙඳ පොළට එනවා නම් අනිවාර්යයෙන් එයට චැලේන්ජ් එකක් එනවා. කාටවත් වරදක් කියන අදහසක් නෙමෙයි මා තුළ තිබෙන්නේ. ඒ මොහොතේ වෙළෙඳ පොළේ අලෙවි වන දේ හා වෙළෙඳ පොළට අලුතින් එන දෙයක හැඩය කියන දේ ඇතුළේ චැලේන්ජ් එකක් තියෙනවා. ලංකාවේ රූපවාහිනී නාළිකාවලට රිසච් එකක් නැහැ. ඔවුන් ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරය හඳුනන්නේ නැහැ. මේ වන විට වෙනස් වෙමින් තිබෙන ප්‍රේක්ෂකාගාරයේ හැඩය ඔවුන් හඳුනන්නේ නැහැ. එහෙම වුණාම ඔවුන් එකම ෆෝමියුලා එකක දේවල් තමයි ටෙලිකාස්ට් කරන්නේ. ඒ ෆෝමියුලා එකට පිටින් ආවම ඔවුන් වෙල්කම් කරන්නේ නැහැ. කූඹියෝ කියන්නේ ඒ ෆෝමියුලා එකෙන් පිට දෙයක්. නමුත් අපි ඉතා විශ්වාසයෙන් කිව්වා මෙය ලංකාවේ මාකට් එකට වැඩ කරනවා කියලා. දමිතට හා මට ඒ ගැන රිසර්ච් එකක් තිබුණා. නමුත් රූපවාහිනී නාළිකා අපේ රිසර්ච් එක විශ්වාස කරන්න ලෑස්ති වෙලා හිටියේ නැහැ. ඒක තමයි සිදු වුණේ.
ස්වාධීන රූපවාහිනිය මෙය ලබා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කෙබඳුද? නාට්‍යය විකාශය වන අතරතුර ඒ ක්‍රමවේදය වෙනසක් වුණාද?
ස්වාධීන රූපවාහිනිය කියන්නේ රාජ්‍ය නාළිකාවක්. රාජ්‍ය නාළිකාවක මෙවැනි නාට්‍යයක් විකාශය වීමේ ඉඩකඩ සීමිතයිනේ. නමුත් ස්වාධීන රූපවාහිනියේ අපි නාට්‍යයක් බාරදීමේදී මට රිසිට් එකක් ලැබුණු එකම චැනල් එක. මම මේ කියන්නේ කිසි අර්ථයක් නැතුව. මේ නාට්‍යය මේ දිනයේදී බාර ගත්තා කියලා ඔවුන් රිසිට් එකක් මට ලබා දුන්නා. මොනිටරින් පැනල් එකක් හරහා ගිහින් ඔවුන් අපට නිර්දේශයක් ලබා දෙනවා. එහි පරිදි නාට්‍යයට ලැබෙන සාමර්ථය අනුව විකාශය කිරීම සිදු කරනවා. එයට ලැබෙන මුදල සහ විකාශය වන වේලාව කියනවා. ‘කූඹියෝ’ නාට්‍යය ඉතා ඉහළ සාමර්ථයකින් ඉන් සමත් වුණා. සමත් වූ පසු තමයි ඔවුන් අපි සමග වැඩිදුරටත් කතා කළේ. ඔබ බැලුවොත් කූඹියෝ නාට්‍යයේ අවසානයේදී නාට්‍යය හරහා මතු කරන දේශපාලන අදහස සහ රටේ පවතින දේශපාලනය ‘කූඹියෝ’ තුළින් විවේචනය කරන විදිහත් සමග රාජ්‍ය නාළිකාවක ‘කූඹියෝ’ විකාශය කරන්න බෑ. අපි සමහර දේවල් නිර්මාණශීලී ලෙස ඇඟිල්ල දිගුකළා. එවන් නාට්‍යයකට ඉඩක් ලැබුණේ ඒ ක්‍රමවේදය පැහැදිලිව පැවතුණු නිසා. එය තෝරා පත්කර ගත් මණ්ඩලය ඉතා මධ්‍යස්ථව ගත්ත තීරණයක් කියලා තමයි මට හිතෙන්නේ. එහෙම නැත්තම් මේ නාට්‍යය විකාශය කරන්නේ නැහැ.
මේ විකාශන කාලය මිලදී ගෙන නාට්‍යය විකාශය කරා කියන කතාවත් ඇතිව තිබුණා
එහෙම දෙයක් සිදු වුණේ නැහැ. නාළිකාව විසින් ගෙවනු ලැබූ මුදල අපි හිතපු මුදලට වඩා අඩුයි. නමුත් අපට ස්වාධීන රූපවාහිනියෙන් අවස්ථාව ලැබුණු නිසා මමත්, නිෂ්පාදකවරයාත් කතා කරලා ගත්ත තීරණයක්. මේ මොහොතෙත් ‘කූඹියෝ’පාඩුයි. මම හිතන්නේ මූල්‍යමය පාඩුවට වඩා නිෂ්පාදක අසංක දොඩන්තැන්න හිතන්නේ මිනිසුන්ගේ දැක්ම, ප්‍රේක්ෂක ආදරය ගැන. ස්වාධීන රූපවාහිනියේ බෙල්ට් එකක් සල්ලි දීලා ගන්න තියා නාට්‍යය අලෙවි කරන්න යන විට මගේ හා දමිතගේ අතේ ත්‍රිරෝද රථයක යන්නවත්, ඩී.වී.ඩී. ගහගන්නවත් සල්ලි තිබුණේ නැහැ.
මේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් එවන් අභියෝගයක් නැවත ගන්න සූදානම්ද?
අනිවාර්යයෙන්ම. ‘කූඹියෝ’දෙක නොවුණත්, වුණත් මේ ප්‍රේක්ෂකාගාරයට අප තුළ ලොකු ගරුත්වයක් තිබෙනවා. අපිව ප්‍රශ්න කරපු හැටි, අපිව විවේචනය කළ හැටි, නිර්මාණයට ආදරය කළ හැටි විශේෂයි. අපේ ඊළඟ නිර්මාණයේදී සමහර විට ඔවුන් බණියි. අපි එයට පවා ලෑස්තියෙන් තමයි නිර්මාණය කරන්නේ. අපි ‘කූඹියෝ’ලිව්වෙම ලංකාවේ මෙවන් ප්‍රේක්ෂකාගාරයක් සිටින බව උපකල්පනය කරලා. අපේ උපකල්පනය සියයට සියයක් සාර්ථක වුණා. අපි ඒ කියපු දේ නාළිකාවත් ලංකාවේ හිටපු බොහෝ අය පිළිගත්තේවත් නෑ. දමිතයි, මමයි දිගටම වැඩ කරන්නේ ඕඩියන්ස් එකට ආතල් එකක් දෙන්න. අපි සම්මාන බලාපොරොත්තු වෙන්නෑ. අපේ ආතල් එක මිනිස්සු ඒක බලලා එකෙන් ආතල් වෙන එක.
මේ වන විට නාට්‍යය අවසන්. මේ ආතල් එක විඳින ගමන් එහි යටිපෙළ ප්‍රේක්ෂකාගාරය කියවූ ආකාරය ගැන ඔබේ අදහසක් ඇති?
ආතල් එකේ ලේයර්ස් තියෙනවා. අපි හැමවිටම හිතන්නේ බහුතර ප්‍රේක්ෂකයන්ට ළංවිය හැකි මූලික මතුපිටක් ඒ තුළ නිර්මාණය කරන්න. හැබැයි ඒ තුළ තවත් ලේයර්ස් බොහෝ ප්‍රමාණයක් එකතු කරනවා. මේ ලේයර් තුළින් ඇතුළට යන්න ප්‍රේක්ෂකයෙකුට හැකි නම් එයට අවශ්‍ය ප්‍රතිපාදන නිර්මාණය ඇතුළෙ සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. ‘කූඹියෝ’තුළත් අපි එය කළා. එහි අරුත මහා ප්‍රේක්ෂකාගාරයට රස විඳින්න බැරි තැනක නෙමෙයි ඊළඟ ලේයර්ස් තියෙන්නේ කියන එක. ඒ රසය එහෙම තියෙද්දිම නිර්මාණයේ ගැඹුර අධ්‍යයනය කරමින් ආතල් ගන්න ප්‍රේක්ෂකයෙකුට ඒ ස්පේස් එක අපි තියලා තියෙනවා. ඒ නිසා තමයි ‘කූඹියෝ’ගැන දෙවැනි, තුන්වැනි, හතරවැනි කියවීම් ආවේ. එහෙත් අපේ මූලික පර්පස් එක තමයි මහා ප්‍රේක්ෂකාගාරයට මේ තුළ ආතල් එක දීම
එහි ඇරඹුම මේ ‘කුඹියෝ’නාට්‍යය අවසන් කළ තැනද? එහෙම නැත්නම් වෙනත් නිර්මාණයක්ද?
ගොඩක් අය හිතනවා අපි ‘කූඹියෝ’ඉවර කර තැනත් එක්ක සීසන් ටූ එකකට ගේට් එකක් ඕපන් කරගත්තා කියලා. එහෙම එකක් නැහැ. ලංකාවේ කවුරුත් මීට කලින් ‘කූඹියෝ’වගේ කතාවක් අත්විඳලා තිබුණේ නැහැ. අපි ඒක ගෙනාව. ජෙහාන් ප්‍රනාන්දු
.