සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කරන ලද නවතම සිනමා නිර්මාණය වන බිම්බා දේවි හෙවත් යශෝධරා (26දා) සිට ප්‍රදර්ශනය ඇරඹිණි. ශ්‍රී සම්බුද්ධ චරිතාපදානයේ හමුවන සුවිශේෂී චරිතවලින් එකක් වන යශෝධරාවගේ චරිතය කේන්ද්‍ර කර ගනිමින් 'බිම්බා දේවී හෙවත් යශෝධරා' සිනමා සිත්තම නිර්මාණය වී ඇති අතර, එම සිනමා නිර්මාණය පිළිබඳ සහ වත්මන් සිනමා කර්මාන්තයේ අර්බුද සම්බන්ධව ඒ මහතා සමග කළ සංවාදයකි මේ.
‘බිම්බා දේවි හෙවත් යශෝදරා’ චිත්‍රපටය මේ වන විට ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා. මුලින්ම මේ චිත්‍රපටය ගැන සඳහන් කළොත්
අපට එක සතුටක් තියෙනවා මේ චිත්‍රපටය තිරගත කරන්නේ සිංහල සිනමාව විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙන අවස්ථාවක. මොකද දැනට තියෙන සංඛ්‍යාලේඛනවලට අනුව ‘ධර්ම යුද්ධයෙන්’ පස්සේ කිසිම චිත්‍රපටයක් සැලකිය යුතු ආදායමක් උපයලා නෑ. ඒක නිසා මේ වෙනකොට සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලා සියල්ලම විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. එබඳු මොහොතක තමයි අපි මේ චිත්‍රපටය මුදා හරින්නේ. ඒ හේතුව නිසාම සිනමා ශාලා හිමියන් විශ්වාස කරනවා මේ චිත්‍රපටය යම් විදියකට රසිකයන් අතර පිළිගැනීමක් ඇතිවෙයි කියලා. ඔවුන්ගේ ඉල්ලීම නිසා අපට සිනමා ශාලා අසූවක මේ චිත්‍රපටය මුදා හරින්න සිදුවෙලා තිබෙනවා. සිංහල සිනමාවේ ප්‍රථම වතාවට තමයි මේ තරම් සිනමා ශාලා සංඛ්‍යාවක සිංහල චිත්‍රපටයක් මුදා හැරෙන්නේ. ඒ ගැන අපට සතුටත් තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා සිනමා ශාලා හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවේවා කියලා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකම නිරූපණය කරන්නේ විදේශීය රංගන ශිල්පීන් දෙදෙනෙක්. මේ චරිත පණපෙවීම සඳහා ලංකාවේ රංගන ශිල්පීන් නැතිද, එහෙමත් නැතිනම් ඔවුන්ගේ චරිතය පිළිබඳ ගැටලුවක් තිබෙනවාද
ඇත්තටම තිබෙන ප්රශ්නය තමයි මේ චරිත දෙකම පූජනීය චරිත. එතකොට අපි ඉතාමත් පරිස්සම් වෙන්න ඕන මේ සඳහා නළුනිළියන් යොදාගන්න කොට. මොකද එක පැත්තකින් එම නළුනිළියන් මීට පෙර මොනවගේ භූමිකාදූ , මොනවගේ චරිතද, ඊට පසුව යශෝදරා සහ සිද්ධාර්ථ යන දෙදෙනා මේ චිත්‍රපටයෙන් පසුව නිරූපණය කරන්නේ මොනවගේ චරිතද කියන කාරණා දෙකම වැදගත්. ඉතින් අපට කිසි කෙනෙකුට අණපනත් පනවන්න බෑ, ඔබට මේ චිත්‍රපටයෙන් පසු මෙවැනිම චරිත හැරෙන්න වෙන චරිත නිරූපණය කරන්න එපා කියලා. මොකද වෘත්තීය නළුනිළියන් තමන්ගේ රැකියාව සඳහා තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම චරිතයක් රඟ දැක්විය යුතු වෙනවා.
මෙන්න මේ ප්රශ්නය නිසාම තමයි අපි ලංකාවෙන් පිටතට යන්න හිතුවේ. එතැනදී මම, පල්ලවි සුභාෂ් කියන චරිතය දැක්කේ මුල් වතාවට අධිරජ ධර්මාශෝක කියන ටෙලිනාට්‍ය මාලාවෙන්. ‘රානි ධර්මා’ කියන චරිතයෙන් මට හිතුණා ඇය අපගේ ‘යශෝදරා’ කියන චරිතයට ගැළපෙයි කියලා.
ඒ අනුව කෞෂල්‍යා වික්‍රමසිංහ නමැති ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික අපේ හිතවතිය හරහා මේ නිළිය සම්බන්ධ කර ගත්තා. එහිදී අපට පෙනීගියා ඇය නිරන්තරයෙන් නිරූපණය කරලා තියෙන්නේ මෙබඳු චරිත. ‘මහාභාරත’, ‘රාමායන’ වගේ ටෙලිනාට්‍යවලත් ඇය නිරූපණය කරලා තියෙන්නේ මෙබඳු චරිත. මට පොඩි විශ්වාසයක් ආවා ඇයට මේ චරිතය ගැළපෙයි කියලා. සිද්ධාර්ථ සම්බන්ධයෙනුත් එහෙමයි. ඇත්තටම ඒ අය උතුරු ඉන්දියාවෙත් ටෙලිනාට්‍ය නළුනිළියන් විනා සිනමා නළුනිළියන් නෙමේ. ඉතින් මට යම් කෙනෙක් මේ චිත්‍රපටය තිරගත කරන්න කලින් යම් චෝදනාවක් නැගුවා නම්, සම්පූර්ණ වැරදි දෙයක් කළේ ඉන්දීය නළුනිළි දෙපළක් යොදා ගත්තා කියලා, මම හිතන්නේ හිතේ කහටක් නැති ලංකාවේ නළුනිළියන් මාව නිදොස් කොට නිදහස් කරයි. ඒ අය පිළිගනියි ඔවුන් දෙදෙනා එම චරිත ඉතා මැනැවින් නිරූපණය කර ඇති බවට.
ඒ නිසා මම හිතනවා මේ තාක් මේ චිත්‍රපටය දැක්කේ ඉතාම සීමිත පිරිසක්. සංඝයා වහන්සේලා සියයක් පමණ මේ චිත්‍රපටය නැරඹුවා. මාධ්‍ය දැක්මක් තිබුණා. ඒ කාගෙත් අදහස වුණේ ඔවුන් දෙදෙනාම මේ චරිතයට නිසි ආකාරයෙන් සාකල්‍යමය යෝග්‍ය වන අය, ඒ වගේම ඒ අය මේ චරිත හරියටම නිරූපණය කර තිබෙන බව.
බොහෝ විට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් වටා සියල්ල ගෙතී යනවා. නමුත් මෙම චිත්‍රපටයේ බෝසත් චරිතය සහ යශෝදරා කියන චරිත දෙකම ඇතැම් විට ප්‍රධාන චරිත බවට පත්වෙනවා. අධ්යක්ෂවරයා හිතාමතාම මේ දේ සිදු කළාද
ඔව්, ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාගෙන් තොර යශෝදරා දේවීන් වහන්සේ කෙනෙක් නෑ. එක නිසා අනිවාර්යයෙන්ම ‘යශෝදරා’ චරිතය නිරූපණය කරන කොට එහි අනෙක් පාර්ශ්වය වන සිද්ධාර්ථ කියන චරිතය නිරූපණය කළ යුතුමයි. නමුත් අපි සිද්ධාර්ථ චරිතයේ තිබෙන වැදගත්ම අවස්ථා අත්හැරලා තියෙනවා. මොකද මේ චිත්‍රපටය යශෝදරාව ගැන නිසා උදාහරණයක් හැටියට කිව්වොත් සිද්ධාර්ථ කුමාරොප්පත්තිය කියන එක අපි රූපමය වශයෙන් ඉදිරිපත් කරන්නේ නෑ. එතකොට සිද්ධාර්ථ කුමාරයා වප්මඟුල අවස්ථාවේදී ප්රාතිහාර්ය පාපු එක අපි ගෙනහැර දක්වන්නේ නෑ. බුද්ධත්වයෙන් පස්සේ පෙළහර පාපු අවස්ථාවන් අපි විදහා දක්වන්නේ නෑ. හැකිතාත් අපි ‘යශෝදරා’ චරිතය, විශේෂයෙන්ම චිත්‍රපටයේ දෙවැනි හරියේදී සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේ යශෝදරාව පමණමයි මේ චිත්‍රපටය ඉදිරියට ගෙන යන්නේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ චරිතය චිත්‍රපටයට ගේන්නත් බෑ. ඒ නිසාම හුදෙක් යශෝදරා දේවියගේ පමණක් චිත්‍රපටය බවට පත්වෙනවා චිත්‍රපටයේ දෙවැනි භාගයේදී,
පසුගිය කාලවකවානු තුළ ඉතිහාස කතා විශාල වශයෙන් සිනමා නිර්මාණ බවට පත්වුණා. රැල්ලක් විදියට මෙය පැමිණියා. ‘බිම්බා දේවි හෙවත් යශෝදරා’ මේ රැල්ලට ආපු ඉතිහාස කතාවක් වෙයිද
ඔව්. නිසැකයෙන්ම ඒ රැල්ල තුළ මමත් ඉන්නවා. ඒ රැල්ලේ එක සාමාජිකයෙක් තමයි විශේෂයෙන් ‘කුසපබා’, ‘පත්තිනි’ සහ ‘යශෝදරා’. මොකද මම අදටත් ඉතිහාසය ප්‍රිය කරනවා, ජාතක පොතට ප්‍රිය කරනවා, මහාවංශයට ප්‍රිය කරනවා. ඒක නිසා මට ඉතිහාසය ආසාත්මික දෙයක් නෙමේ. ඒක නිසා මම සිනමාකරුවෙක් හැටියට ප්‍රියතම විෂය ලෙස තෝරා ගන්නේ. ඒකට අණපනත් පනවන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට අයිතියක් නෑ. ඒක නිර්මාණකරුවාගේ අයිතිය. කෙනෙකුට ඉතිහාස කතා පෙන්නන්නම බැරි වෙන්න පුළුවන්. ඔහු දිගින් දිගටම නිරූපණය කරන්නේ, ඉදිරිපත් කරන්නේ සමාජ කතා වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ රුචිය. ඉතින් මගේ රුචිය ඉදිරියටත් පවතින්නේ මේ ඉතිහාසය සම්බන්ධ කතා පුවත්වලට. මම චිත්‍රපට නිර්මාණය කරන්නේ මගේ අභිමතය පරිදි මිසක් කිසිවෙකුගේ අභිමතය පරිදි නොවෙයි.
ඒ කියන්නේ ඉදිරියටත් ඉතිහාස කතා නිර්මාණය කරනවා කියන එක
ඔව්. බොහෝ විට මම තාම තීන්දු කරලා නෑ. නමුත් මම ප්‍රිය කරන නිසා මගේ අතින් නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් ඒ ඉතිහාස කතා කිව්වට ඒක ඇතුළෙ යම්යම් වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ‘කුසපබා’ ජාතක පොතෙන් උපුටා ගත්ත කතාවක්. එතකොට නැවත වරක් මම තවත් ජාතක කතාවක් චිත්‍රපටයට නගන්න උත්සාහ කරන්නේ නෑ. ‘පත්තිනි’ කියන්නේ දෙමළ සම්භාව්‍ය සාහිත්‍යයේ තිබුණු ‘චිරප්පතිකාරම්’ නමැති මහා කාව්‍යයේ සිනමා අනුවර්තනයක්. ඒ අනුව මම දෙමළ සම්භාව්‍ය සාහිත්‍යයෙන් කෘති උපුටා ගන්න යන්නේ නෑ. එතකොට ‘යශෝදරා’ කියන්නේ බුද්ධ චරිතයේ තිබෙන ඉතාම වැදගත් වන්නා වූ විශිෂ්ට චරිතයක්. එතකොට මම නැවතත් බුද්ධ චරිතයට අවතීර්ණ වෙයි කියලා මට හිතෙන්නේ නෑ. කොහෙන් හෝ මේ විසි වැනි සියවසෙන් ඔබ්බට ගිය දෙවල් කෙරෙහි මගේ වැඩි උනන්දුවක් ඇති වෙන්න පුළුවන්.
චිත්‍රපටය නැරඹීමේදී දක්නට ලැබෙනවා විශාල පිරිවැයක් යෙදූ බවක්. ඒ වගේම තමයි ශාලා සඳහා පිටපත් මුද්‍රණය, ප්‍රචාරණය සඳහා වූ වියදම්ද මේ අතරට එකතු විය යුතුයි. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසුව හැකිවේද මේ සමස්ත පිරිවැය ආවරණය කිරීමට. විශේෂයෙන් නිෂ්පාදකවරයා රැක ගැනීමට
මේක විශාල අභියෝගයක්. මෙවැනි කාලෙක මේ වගේ අධික පිරිවැයක් යොදලා චිත්‍රපටයක් නිර්මාණය කරලා ඒ මුදල ආපසු ලබා ගැනීම කියන එක අතිශය අභියෝගාත්ම දෙයක්. නමුත් යම් ආත්ම විශ්වාසයක් තිබුණා මටත්, නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහතාටත්. ප්‍රේමසිරි මහතා ගත්තොත් ඔහු ව්‍යාපාර රාශියක නියැළී සිටින කෙනෙක්. ඔහුට චිත්‍රපටයෙන් මුදල් ඉපැයීමේ වුවමනාවක් නෑ. ඇත්තටම ඔහුට අවශ්‍ය වෙන්නේ ඔහුගේ පිරිවැය යාන්තමින් පියවා ගැනීම පමණයි. ඉතින් ඔහුටත්, මටත් ඒ විශ්වාසය තවමත් තිබෙනවා. නමුත් අපි දන්නේ නෑ, ඒ පිළිබඳ තීන්දුව දෙන්නේ මේ රටේ රසික ජනතාව.
ඔබම සඳහන් කරනවා සිංහල සිනමාව විශාල අර්බුදයක පවතින බව. විශේෂයෙන් චිත්‍රපට පෝලිමක් මේ වනකොට නිර්මාණය වෙලා තිබෙනවා ප්‍රදර්ශනය කරගත නොහැකිව
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට මමත් ඇතුළු කමිටුවකින් වාර්තාවත් ඉදිරිපත් කළා. ඒ කමිටුවේ තිබෙනවා දැන් තිබෙන සිනමාවේ දැවෙන ප්‍රශ්නවලට බොහෝ විසඳුම්. මේ සිනමා පෝලිමටත් විසඳුමක් තිබෙනවා. චිත්‍රපට අසූවක් පමණ පෝලිමේ තිබෙනවා. මේකට විසඳුම තමයි මණ්ඩල දෙකක් දාලා ඒ අසූවෙන් තිරගත කිරීමට සුදුසු මට්ටමේ තිබෙන කලාත්ම හෝ වාණිජ චිත්‍රපට තෝරා ගැනීම. ඇතැම් චිත්‍රපට කලාත්මක චිත්‍රපටත් නෙමේ, වාණිජ වටිනාකමක් තිබෙන චිත්‍රපටත් නෙමෙයි. සිනමාව ඩිජිටල් කිරීමත් සමග ඕනෑම කෙනෙකුට ඉතා සුළු මුදලකින් වීඩියෝ කැමරාවකින් චිත්‍රපටයක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒක හොඳයි තරුණයන්ට සිනමාවට අවතීර්ණ වෙන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. නමුත් ඒ නිසාම කලාත්මක නොවන, වාණිජත් නොවන චිත්‍රපට රාශියක් හදලා, ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයට පෙන්වලා ඒවා පොලිමට එකතු වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරපු යෝජනා අතරේ තිබෙනවා කිසියම් ස්වාධීන මණ්ඩලයක් හරහා මේ චිත්‍රපට බලලා තීරණය කරන්න මේ චිත්‍රපට තිරගත කරන්න සුදුසුයි, අනෙක් ඒවා තිරගත කරන්න සුදුසු නෑ කියලා. එහෙම කළාම අනිවාර්යයෙන් මේ පෝලිමෙන් චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් අඩුවන බව ඉතාම පැහැදිලියි.
නමුත් මේ කමිටු ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ නේදූ ආණ්ඩුවෙන් මේ කමිටු ක්‍රියාත්මක කරයිද
මේතාක් නම් මේ ආණ්ඩුවෙන් අබමල් රේණුවකවත් සේවයක් සිනමාව සඳහා සිදුවෙලා නෑ. කිසිම දෙයක් කරලා නෑ. ජනාධිපතිතුමාම තමයි මේ කමිටුව පත්කළේ, එතුමා අපි ඉදිරිපත් කරපු මේ නිර්දේශවලට යම් ප්‍රතිකර්මයක් කරයි කියලා අපි විශ්වාසය තබාගෙන සිටිනවා. මෙතෙක් නම් මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් අපේ මේ සිනමාව වෙනුවෙන් වුණේ නෑ. සිදු වුණේ තිබුණු පහසුකම් කප්පාදු කරලා දාපු එක තමයි.
මේ අර්බුදත් එක්ක ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට ගෙන්වීමත් අර්බුදයක්. ඔබ අධ්යක්ෂවරයෙක් ලෙස කොහොමද මෙයට විසඳුමක් ලබා දෙන්නේ
මේ සඳහා එකම විසඳුමයි තියෙන්නේ. සිනමා රසිකයන් ශාලා තුළට ඇදගන්නා විදිහේ ආකර්ෂණීය චිත්‍රපට නිර්මාණය වෙන්න ඕන. ඒක තමයි එකම විසඳුම.
මීට ඉහත ඔබගේ ‘අලි කතාව’ ප්‍රදර්ශන මණ්ඩලයක් සමග තිරගත වෙද්දි ඔබට යම් අර්බුදයක් නිර්මාණය වෙනවා. ‘බිම්මා දේවි හෙවත් යශෝදරා’ ප්‍රදර්ශනය කරන්නත් ඔබ තෝරා ගන්නේ එම ප්‍රදර්ශන මණ්ඩලයම
දැනට ඇත්තටම මණ්ඩල කිහිපයක් තිබෙනවා. මේ මණ්ඩලයත් සමග මගේ විවිධ ගැටලු තිබෙනවා. නමුත් ඒ ගැටලු තිබුණත් මම මෙතෙක් සියලුම චිත්‍රපට ‘උත්පලවණ්නා’ චිත්‍රපටය හැරෙන්න අනෙක් චිත්‍රපට සියල්ලම මේ මණ්ඩලය හරහා තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. දන්න යකා නොදන්න යකාට වඩා හොඳයි කියලා අපේ සිංහල ගැමි කියමනක් තිබෙනවා. ඒ නිසාම තමයි මම නැවතත් මේ මණ්ඩලය හරහාම මේ චිත්‍රපටය ඉදිරිපත් කරන්නෙ.
ඔබ සම්මානිත චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඒ වගේම මහාචාර්යවරයෙක්. ‘බිම්බා දේවි හෙවත් යශෝදරා’ තිරගත වුණාට පසුව මහාචාර්ය සුනිල් ආරියරත්න කියන චරිතය කොයි විදියටද නැවත ප්‍රේක්ෂකයන් අතරට එන්නේ
මමත් ඒක දන්නේ නෑ. මමත් උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා චිත්‍රපට අධ්යක්ෂවරයාගේ භූමිකාව පිළිබඳ රසිකයන්ගේ තීන්දුව මොකක්ද කියලා.
තිසර ගංගාදර