ස්වාධීනරූපවාහිනි නාලිකාවේ විමල් කැටිපෙආරච්චි විසින් මෙහෙයවනු ලබන OVER THE SHOULDER වැඩසටහනට සහභාගී වු උපුල් ශාන්ත සන්නස්ගල සමඟ පැවති `වෙනස් කතාබහ 'මිරර් ආට්ස්' අප ඔබ වෙත ගෙන එමු.
පටන් ගන්න කලින් මම කැමතියි fb එකට ලොග් වෙන්න. උපුල් ශාන්ත සන්නස්ගල කියන fb ගිණුමේ මාර්තු 07 වෙනිදා 12.25 ට. “අසීරුයි එහෙත් නොනැවතී පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිමි”. ෂෙයාර්ස් 23 කමෙන්ට්ස් 262 ලයික්ස් 874. කමෙන්ට්ස් 262 න් 250 කට වැඩිය තිත්ත කුණුහරප. උපුල් ශාන්ත සන්නස්ගල මගේ උරහිස්සට මත්තෙන් සිටින ඔහු පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒ තිත්ත කුණු හරපවලට උත්තර දෙන්න.
මම හිතනවා ලංකාවේ ගොඩක් fb කමෙන්ට් කරන අයගේ ඔය 250 විතරක් නෙවෙයි තව බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගොල්ලන්ගෙ ඔලුව තියෙන්නේ බෙල්ලේ පාලුවට. එච්චරයි.
වෙන උත්තර නෑ?
වෙන උත්තර නෑ.
“අම්මා” ඔබේ පොත. ඔබ අම්මට සැලකුවේ නැද්ද?
හොඳ වෙලාවට අම්මා මිය ගිහිල්ලා. සලකනව කියන එක සාපේක්ෂයි. ඒක මගේ ඉතාම සමීප අය දන්නවා. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට කාටහරි මඩ ගහන්න ඕනෙ වුනාම එක කාලකට මාව NGO කාරයෙක් වෙනවා, එක කාලෙකට අම්මට සලකපු නැති කෙනෙක් වෙනවා, එක කාලෙකට බදු කාරයෙක් වෙනවා, එක කාලෙකට බඩු කාරයෙක් වෙනවා, එක කාලෙකට ටියුෂන් කාරයෙක් වෙනවා. එක්කො කුඩු කාරයෙක් වෙනවා. මම හිතනව ඒක ඒතරම් සැලකිල්ළට ගන්න ඕනේ නෑ කියලා. මම මගේ ගමනක් යනවා. ඒ ගමන යනකොට මට බුරන ඔක්කොම බල්ලන්ට ගගහ යන්නේ නෑ පාරෙදි, මොකද එහෙම වුණොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ නේ. බල්ලො බුරපුදෙන් මම යනවා.
උපුල් ශාන්ත බදුල්ලෙන් සංකල්පීයව කොළඹට ආවා.
සාමාන්‍ය පෙළ කරල මට ගමත් එක්ක ගෙදරත් එක්ක ජීවිතයත් එක්ක තිබ්බ අරගලය නිසා මට ඕනකමක් තිබුණා ගමත් එක්ක තිබුණ ගෙදරත් එක්ක තිබුණ ඥාතීන් එක්ක තිබුණ පෙකනිවැල කපාගන්න. ඒ පෙකනිවැල කපාගන්න තමයි මම ගමෙන් කොළඹට ආවේ.
ඒ කොයිකාලෙද? අන්තිමට ඔබට මතක සලකුන මොකක්ද?
ඒ 1979
ඔබට ෂුවර් ද ඔබ කොළඹට ආව කියලා.
නෑ සංකල්පීයවම ගමෙන් ආවට ගම දිගින් දිගටම මගේ ඇඟේ එල්ලෙමින් ඉන්නවා. ඔබ මට කිව්වේ පටන් ගන්නකොටම කමෙන්ට් දෙසිය ගානක් තියෙනවා කියලා, ඒ තමයි ගම මගේ ඇඟේ එල්ලෙන එක.
ඒ කියන්නේ ලංකාව, ගම ඔබේ පස්සෙන් එනවා කියන එකද?
ලංකාව විතරක් නෙවෙයි මම කියන්නේ ඩයස් පොරාවෙන් පිටරට ගිහින් ඉන්න අය ගත්තහම, සමහර ඇමරිකාවට ගිහින් ඉන්න ලාංකිකයො, ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න ලාංකිකයෝ, ඒ තරුණ අය ඔස්ට්‍රේලියාවේ හිටියත් ඉන්නේ දෙහිඅත්තකන්ඩියේ ඉන්නවා වගේ. ඒකට කරන්න දෙයක් නැහැ.
ඔබ බදුල්ලෙන් කොළඹට එනවා. කොළඹින් විශ්වවිද්‍යාලයට යනවා. මම හරි නේ?
හරි
කොළඹ විශ්වවිද්‍යාල ජීවිතය ගැන ඔබ සිය දහස් වාරයක් කියලා තියෙනවා. ඒ නිසා මට ආයිත් ඒ ඔක්කොම අහන්න ඕනේ නැහැ. ඒත් මට අහන්න ඕනේ එක දෙයක් තියෙනවා. සුසංයෝගී මානවවාදී සමාජයක් කියලා දෙකට තුනට බෙදිලා මරාගත්ත යුගයක ඔබ විශ්වවිද්‍යාලයේ ඉන්නේ.
ඔව්.
ප්රචන්ඩත්වය නවක වදය රැග් එක මේ ඔක්කොම පටලැවිලි ටික නිමා වෙන්නේ නැත්තේ ඇයි? ඇයි ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඇයි?
ඒකට මෙන්න මේ වගේ හේතුවෙක් තියෙනවා. අපි කොළඹ විශ්ව විද්‍යාලය ගමුකො,මට හිතෙනවා ඒ පරිසරයේ නොතිබිය යුතු එකම භෞතික සම්පත කොළඹ විශ්ව විද්‍යාලය කියලා. වටේ කැෆේ තියෙනවා, කැසිනෝ තියෙනවා, ව්‍යාපාර තියෙනවා, එතනින් ගියහම රෙදි සාප්පු තියෙනවා, මිනිස්සුන්ට ඇවිදින්න මංපෙත් තියෙනවා, කෟතුකාගාර තියෙනවා, කොළඹ විශ්ව විද්‍යාලය මේ එකකටවත් ගැලපෙන්නෙ නැහැ. ඔතනින් ඕක අයින් කරන්න වෙනවා. ඔතන භූමියේ ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද ඔතනට එක කිසිම කෙනෙක් ඔතනට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලො කරන්නේ ගමේ ඉස්කොලෙන් A/L පන්තියෙන් පිටවෙච්ච එකාව දානවා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලේ. කොළඹ ආර්ථික මර්මස්ථානය, සංස්කෘතික මර්මස්ථානය කියන තැන කොළඹ විශ්ව විද්‍යාලය තියෙන්න ඕනෙ නැහැ කියන එකයි මගෙ පෞද්ගලික අදහස. ඒකට නුසුදුසු තැනක ඒක තියෙන්නේ.
ඒක දේශපාලන භූමි දොෂයක් ද?
ඔවු ඒක දේශපාලන භූමිදෝෂයක්. ඒක ඔතනින් අයින් කරන්න ඕනේ. කුරුඳුවත්තට විශ්ව විද්‍යාලය ගැලපෙන්නෙත් නැහැ, කොළඹ 7 ට ගැලපෙන්නෙත් නැහැ, ආර්ථික මර්මස්ථානයට ගැලපෙන්නෙත් නැහැ ඕක නිකන් තුම්මුල්ල මහා විද්‍යාලය වගේ.
ඔබ හිටපු විශ්වවිද්‍යාලය
ඔව් මම හිටපු විශ්ව විද්‍යාලය.
ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නැද්ද?
විශ්ව විද්‍යාලය ඇතුලෙ ඉන්න අය හිතාගෙන ඉන්නවා විශ්ව විද්‍යාලය ඇතුලෙන් තමයි ලංකාව පාලනය කරන්නේ කියලා. ඊට පස්සේ තව ටික දුරක් ගියහම හිතනවා ලෝකෙම පාලනය කරන්නෙ විශ්ව විද්‍යාලය ඇතුලෙන් කියලා. ඒකනෙ කියන්නේ “කියුබාවට අත නොතබනු” කියලා. විශ්ව විද්‍යාලය යටතේ පාලනය කරන්න යන්නේ. මෙන්න මේ ගොන් කම අතහරින්න ඕනේ. විශ්ව විද්‍යල දිහා බලන්න ඒ ගොල්ලො අඳින ඇදුම් ටික, සංස්කෘතික කාරණා ටික, කොළඹ විශ්ව විද්‍යාලෙ නීති පීඨයේ අය පිරිත් කියනවා දන්සැල් දෙනවා. බෝධි පූජා කරනවා. චීත්ත ගවුම් ඇඳගෙන එන්න ඕනේ පෙරෙප්පු දාන්න ඕනේ. එහෙම එකක් හදනවා ඒ සංස්කෘතිය ඇතුලේ. ඒක කොළඹට ගෙනාවට ලෝකයට ගැලපෙන්නේ නැහැ.
ඔබ දේශපාලන වීරයන් බොහොමයක් දැකල තියෙනවා. විජය කුමාරතුංගයන්ගේ අවමගුලෙදි උතුරේ සටන් කාමීන් වසින් එවන ලද දෙමළ කතාවක පිටපතක් ඔබ සිංහලෙන් කිවුවා. එතකොට නොමැරුණු දේශපාලන වීරයන්ට දැන් මොකද වෙලා තියෙන්නේ.
මේ වෙද්දි ලංකාවේ දේශපාලන භූමිය ඇතුලේ කිසිම වීරයෙක් නැහැ. වීරයා මැරිලා. රාජිතගේ නාට්‍යය වගේ. වීරයා මැරිච්ච භූමියක් මේක. වීරයෝ මරපු භූමියක් මේක. 88-89 කාලේ මැරිච්ච කොල්ලො කෙල්ලො ටික හිටියනම් ලංකාවට මේක වෙන්නේ නැහැ. වටිනාම සම්පත් ටික මිය ගියා. විචාරකයෝ ටික මිය ගියා, සුහුඹුල් කලාකාරයෝ ටික මිය ගියා. මතයක් දරන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටික මිය ගියා. දැන් ඒ භූමියේ දේශපාලනය වශයෙන් කනාමුට්ටි බිඳපු එවුන් ටික සෙල්ලම් කරනවා. සංවිධානය කරපු අය නැහැ. දේශපාලන අවුරුදු උත්සවයේ සංවිධානය කරපු අය නෙවෙයි කැපී පේන්නේ කණා මුට්ටි බිඳපු එකා. දැන් දේශපාලනය කරන්නේ ඒ කණාමුට්ටි කාරයෝ.
මම කැමතියි දැනගන්න විශ්ව විද්‍යාල ජීවිතයෙන් පස්සේ ටියුෂන් ගුරු වෘත්තියට කොහොමද එන්නේ කියලා?
විශ්ව විද්‍යාලෙ දෙවන අවුරුද්දෙ ඉන්නකොට මගේ මහපොළ නවත්තනවා. ඒ කාලේ මහ පොල 350 යි. ඒ නවත්තන්නේ විශ්ව විද්‍යාලේ ලේඛකාධිකාරිට පේපර් වේට් එකකින් පහරදීමේ චොදනාවකට. ඒ නිසා මගේ මහපොළ අත්හිටුවනවා. මාව ශිෂ්‍ය තහනමකට ලක්කරනවා. මේ කාලෙදි සල්ලි නැති හින්දා මම මිත්රයෙකුට කියලා ඉන්ඩිවිජුවල් ටියුෂන් එකක් හදාගන්නවා. ඒ අවුරුද්දෙම මම හලාවත පංතියක් කරනවා, ඒකෙ ළමයි අට දෙනෙක් හිටියා. ඒකේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායමේ තමයි රාජිත දිසානායක හිටියේ. ඒ පටන්ගත්තු එක දියුණුවෙලා මම ටියුෂන් ගුරුවරයෙක් බවට පත් වුණා.
ටියුෂන් ගරු භූමිකාව ඔබට දැනුනෙ කොහොමද? ඒ කියන්නේ ගුරු භූමිකාව කියන එක ලංකාවේ සාහිත්‍යයේ ස්ථාන ගත කරල තියෙනවා. හැබැයි ටියුෂන් ගරු භූමිකාව නිකන් කාඩ් එක කපලා කීයක් හරි අරගෙන මොනව හරි උගන්වලා ජීවත්වෙන භූමිකාවක් හැටියටනේ අර්තකථනය වෙන්නේ?
ඔබ ඔයදේ කිවුවහම මට හිතෙන එක තමයි උදාහරණයකට නුගේගොඩ රොටරිය ගත්තහම, ඒකේ මම උගන්වපු ශාලාවේ මම ළමයි 1700 ක් දානවා. 1700 ක් දාපු ශාලාවක මම ඉගැන්නුවේ. අවුරුදු 30 ක් මම පොල් ගෑවනම් ඒ පොල්කටු වලින් මේ ශාලාව පිරිලා. ඒ නිසා මම කැමති නැහැ ඒක සිල්ලරට දාගන්න. ඒක ඉතාමත්ම වැදගත් වෘත්තියක්.
ඒ වෘත්තිය ඇතුලේ ඔබට feel වෙච්ච දේවල් මොනවද?
අද වෙද්දි feel වෙච්ච දෙයක් තමයි ගොඩක් ටියුෂන් ගුරුවරු සහ මම කරපු දෙයක් තමයි ඒ ගුරු භූමිකාව නඩත්තු කරන්න ඕනේ. කවුරු කතාකරත් මම ගුරුවරයා. කියන එක ඇහුම්කන් දෙන්නේ නැහැ ඔහේ කියවනවා. උගන්වලා උගන්වලා පුරුද්ද. මේක නඩත්තු කරන්න වෙනවා සහ ළමයා බලාපොරොත්තු වෙන කෙනා නඩත්තු කරන්න වෙනවා. ඒක මමත් අවුරුදු 30 ක් විතර කරා. මේක බාහිරව කරන්න ඉතා අසීරු දෙයක්. ගායකයෙකුට ගායකයෙක් නඩත්තු කරන එක නළුවෙකුට නළුකම නඩත්තු කරන එක ඔය වගේ ටියුෂන් ගුරුවරයාට ඒක නඩත්තු කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ ඔය පීඩනය තමයි මම වෘත්තියෙන් අයින් වෙන්නේ. මේක තවදුරටත් නඩත්තු කරන්න බැරි පීඩනය. මට මම වෙන්න තියෙන ඔනේ කම. සිවුර ගැලෙව්වම තමයි හාමුදුරු කෙනෙකුට තමන් වෙන්න පුලුවන්.
නායක හාමුදුරුවො කෙනෙක් ඇහුවලු පොඩි හාමුදුරුවො කෙනෙක් සිවුරු ඇරියට පස්සේ ඔබ ඉස්සෙල්ලාම මොකක්ද කරේ කියලා? ප්‍රේමයක් හොයාගෙන යන්න පුලුවන්, ඕනෙ වෙලාවක කෑම කන්න පුලුවන්. රෑට බත් කන්න පුලුවන්, හයියෙන් ඇවිදින්න පුලුවන්, ඒවයින් ඔබ ඉස්සෙල්ලාම කරේ මොනවද කියල ඇහුවලු. පොඩි හාමුදුරුවො කිව්වලු මම ඉස්සෙල්ලාම වේගයෙන් දිව්වා කියලා. සිවුර ඇඳගෙන හෙමින් හෙමින් දුවල දුවල මම වේගයෙන් දිව්වා. ඒ විදිහට පීඩනය පිට කරා කියලා.
ඔබ කියන්නේ එතකොට අවුරුදු 30, 40 ක් ඔබ ඔබව මරාගෙන ඔබ සිවුර දාගෙන හිටිය කියලද?
වෙන විදිහකට කිවුවොත් මාව මරාගෙන මම කෑව වගේ වැඩක්. මගේ කලාව නැතිවෙලා ගියා. ඒ කාලේ අමාරුවෙන් තමයි නවකතා කීපයක් ලියාගත්තේ. මම ගුවන් විදුලි වැඩ කරේ හරි අමාරුවෙන්, මම පත්තරවල ලිවුවේ හරි අමාරුවෙන් මේ වෘත්තිය ඇතුලේ, විචාර ටික කරන්න ගියේ හරි අමාරුවෙන්, විවිධ පත්තර ටික කියෙව්වේ හරි අමාරුවෙන් කාලසටහනකට අනුව, ඒ කාලසටහන ඇතුලේ සින්දු දෙකක් තුනක් ලිවුව ඒක ලිව්වේ හරි අමාරුවෙන්. ඒ කියන්නේ මම මාව මරාගෙන කෑව. වටේ හිටපු පිරිස ඊට පස්සේ ඒක භක්ෂණය කරා. මම සිවුර ගැලෙව්වා වගේ එකක් තමයි කරේ. වෙන විදිහකට කිව්වොත් ඒක කියන්න පුලුවන් මම ටියුෂන් හීරළුවා. ටියුෂන් හල, සිවුරු අත්හැරිය කෙනෙක්.
ඔබට කලාව අත්හැරුනද?
අමාරුවෙන් අල්ලගෙන හිටියා.
සම්පුර්ණ කතාබහ මෙතනින්
සැකසුම - සුජීවා බන්ඩාර