ළමා නළුවකු සහ සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස එක්ව සිය කලා දිවිය ආරම්භ කරන්නට යෙදුණු හෙතෙම, අනතුරුව පුවත්පත් කලාවේදියකු, සහාය අධ්යක්ෂවරයකු සහ අධ්යක්ෂවරයකු ද වෙමින් දශක කිහිපයක් පුරාවට මෙරට කලා කෙත අස්වැද්දීම උදෙසා සිය නිර්මාණ කාර්යයන් මෙහෙය වූයේ ලෝ ප්‍රකට මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් වැනි කලා ලොව විද්වතුන් රැසකගේද ආභාසයන් ලබමිනි. "එක වහල යට" ඒකාංගික ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරමින් ටෙලි නාට්‍ය කලාවට පිවිසි ඔහු "මහමෙර පාමුල", 'එහා ඉවුර', 'දොළොස් මහේ අපි', "දැකැති මුවහත", සහ "බෝගල සවුන්දිරිස්", ඇතුළු මාලානාටක රැසක් ද සෑම පොහොය දිනකම ජාතික රූපවාහිනියේ විකාශය වන පෝදා දහම් පඬුරක් වන් "සිත නිවන කතා" ඒකාංගික ටෙලිනාට්‍යයන් හීද අධ්යක්ෂවරයා වෙමින් මෙරට පුංචි තිරයට පෙම් බඳින්නන්ගේ සිත් සතන් දිනූ නිර්මාණශීලී කලාකරුවකු විය. නැසී ගිය ප්‍රවීණ ගත්කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ නව කතාවක් අනුසාරයෙන් ටෙලි සිත්තමක්ව පුංචි තිරයට නැඟෙන "කැළෑ හඳ" මාලා නාටකයේද අධ්යක්ෂවරයා වන ඔහු වෙනත් කිසිවකු නොව ප්‍රවීණ කලා ශිල්පී දයාරත්න රටගෙදර ය.
ළමා රංගන ශිල්පියකු ලෙස ගමන පටන්ගත් ඔබ වේෂ නිරූපණ ශිල්පයටත් අත්පොත් තබනවා...
ඇත්තෙන්ම, එය මට ලැබුණු සුවිශාල අවස්ථාවක්. මම මුල්වරට රංගන ශිල්පියකු වන්නේ මහා සිනමාවේදී ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාගේ "මඩොල්දූව" චිත්‍රපටයේ ළමා නළුවකු ලෙස. ඊට පසුව මම සුමිත්‍රා පීරිස් මහත්මියගේ 'ගැහැණු ළමයි' චිත්‍රපටයේ ළමා නළුවකු සහ සහාය වේෂ නිරූපණ ශිල්පියා වෙනවා. ඊටත් පස්සේ ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පීන් වන ඊබට් විඡේසිංහ සහ හිල්ටන් මෙන්ඩිස් මහත්වරුන්ගේ සහාය වේෂ නිරූපණ ශිල්පියා ලෙස චිත්‍රපට ගණනාවකට එකතු වෙනවා. "වීර පුරන්අප්පු" චිත්‍රපටයේත් සහාය වේෂ නිරූපණ ශිල්පියා වුණා. ඔය අතරතුර 1975 දී පමණ "සුරතුර" පුවත්පතට එක් වෙනවා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී ආතර් යූ. අමරසේන මහතා තමයි මගේ මතකයෙහි හැටියට එහි කර්තෘත්වය දැරුවේ. ඊටත් පසු මම සිනමා පුවත්පත් කලාවේදියකු විදිහට "සිත්තර" ට සම්බන්ධ වෙනවා. මේවා මගේ මාධ්‍ය දිවියේ මතක කිහිපයක්. "සරස්වතී" මාවතේ අපි" වැනි කලා නිර්මාණ රැසක් වෙනුවෙන් වේෂ නිරූපණ ශිල්පියකු ලෙස දායක වූ මා 1975 දී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ පළමු නාට්‍ය උත්සවයේ හොඳම වේෂ නිරූපණ ශිල්පියා ලෙස සම්මාන ලබනවා. ඒ වගේ 70 දශකයේ වේදිකා ගත වුණු තරුණ නාට්‍ය කරුවන්ගේ මුල්ම වේදිකා නාටකවල වේෂ නිරූපණ ශිල්පියා වුණෙත් මම. ප්‍රවීණ නිර්මාණවේදීන් වන ජයන්ත චන්ද්‍රසිරි, නාලන් මෙන්ඩිස්, සහ තුසිත ද සිල්වා මහත්වරුන්ගේ නාට්‍ය ගණනාවකදී මම වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළා.
1978 ඔබේ කලා දිවියේ තවත් පියවරක ආරම්භය සනිටුහන් කළා...
ඔව්. ලෝ ප්‍රකට ගත්කතුවරයකු වන ජෝන් අර්නස්ට් ස්ටෙන් බෙක්ගේ 'බර්නින් බයිට්' කෘතිය අනුසාරයෙන් 'ගරුලිසි' නමින් මම වේදිකා නාටකයක් අධ්‍යක්ෂණය කරනවා. නැසීගිය ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විඡේවර්ධනයන් සංගීතය අධ්‍යක්ෂණය කළ එකම වේදිකා නාටකය වුණෙත් මෙයයි. ඊට පසු "ආදර චාරිකා" වැනි වේදිකා නාටක ගණනාවක් එළිදැක්වූවා. ගාමිණී හේවාවිතාරණ, මහාචාර්ය සුනිල් ආරියරත්න, තිස්ස අබේසේකර, සුමිත්‍රා පීරිස් ඇතුළු සිනමා විද්වතුන් රැසක් යටතේ කටයුතු කරන්නටත් ඒ ආභාෂයන් මගේ කලා දිවිය වෙනුවෙන් උකහා ගන්නටත් මට අවකාශ ලැබුණා. 1983 දී මම ජාතික රූපවාහිනිය සමඟ අත්වැල් බැඳ ගන්නවා. මම රූපවාහිනියට එකතු වෙන්නේ පරීක්ෂණයට මුහුණදී ආ පළමු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස. පසුගිය දා මම ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ලැබූවේ අධ්යක්ෂ විවිධ වැඩසටහන් තනතුරේ සිට. එදා මා රූපවාහිනියට සම්බන්ධ වුණේ පුහුණු නිෂ්පාදන සහකාර ලෙස. රූපවාහිනියේ සිටි කාල සීමාවේදී එවකට විශාල ආන්දෝලනයක් ඇති කළ ටෙලි නිර්මාණ රැසක සහාය අධ්යක්ෂවරයා වීමටද මට හැකියාව ලැබුණා.
ඔබ එදා ජනප්‍රිය චිත්‍රපට රැසක සහාය අධ්යක්ෂවරයාද වුණා...
ඔව්. මගේ මුල්ම චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය වුණේ ගාමිණි හේවාවිතාරණ මහතාගේ 'ආදර චාරිකා'. ඊට පස්සේ තිස්ස අබේසේකරයන්ගේ 'මහගෙදර', 'මංමුලා වැල්', සුනිල් ආරියරත්නයන්ගේ 'අහස් මාළිගා'සහ ඊට පසුව මා කළ 'වත්සලා අක්කා', 'ලොක්කේ', 'මැණික් මාළිගා', 'දූ දරුවෝ' මට විශේෂිතයි.
ඔය කාල සීමාවේදීම ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා...
ඔව්. මගේ ප්‍රථම ඒකාංගික ටෙලිනාට්‍ය වූ "එක වහල යට" එළිදැක්වෙනවා. ඊට පසුව මම 'පරමේශ්වරී', 'ගවහලේ සාදය', 'වතුර මල' , 'සීනු ජෝන්' වැනි ඒකාංගික ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළා. බොහොමයකට සම්මානත් හිමි වුණා.
"මහමෙර පාමුල" ඔබේ ප්‍රථම දීර්ඝ මාලානාටක අධ්‍යක්ෂණය. ඒ ගැන...
1991 දී තමයි මේ නාටකය පුංචි තිරයට එන්නේ. මේ නාට්‍යය තමයි මුල්වරට ජාතික රූපවාහිනියේ පෙන්වීම තහනම් කළේ. තවත් එක් නාටකයක් තිබුණා. ඒ සෝමරත්න දිසානායක මහතාගේ නාටකයක්. පස්සේ "මහමෙර පාමුල" පෙන්වීමට අවස්ථාව ලැබුණා. මෙහි පිටපත ලිව්වේ ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනී, ටෝනි රණසිංහ, ජැක්සන් ඇන්තනී, මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රාධා ද මෙල් ඇතුළු ප්‍රවීණයන් මෙහි රංගගත වුණා. ඊට පසු කාලීනව මා අධ්‍යක්ෂණය කළ "බෝගල සවුන්දිරිස්" අපේ රටේ ඉමහත් ජන ප්‍රසාදයක් ලැබුවා. මෙහි අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් රඟපෑවා. ඔය අතරතුර 2006 දී පමණ රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නටත් මට අවස්ථාව උදා වුණා.
"නිල්දිය යහන" ඔබ එතෙක් මෙතෙක් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය...
ඔව්.. 2007 දී තමයි "නිල් දිය යහන" රිදී තිරයට එන්නේ. මම ඒ වන විටත් ජාතික රූපවාහිනියේ වැඩ. මේක නවීන ලෝකයේ ආදර කතාවක්. මම මේ චිත්‍රපටයට තවමත් කැමැතියි. එදා තිබූ යුදමය වාතාවරණය මේ චිත්‍රපටයට යම් ආකාරයක බලපෑමක් කළා. නමුත් මට ඕනෑ වුණේ බයිස්කෝප් කාරයකු වීමට. මම ඒක කර ගත්තා. ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ පළමු චිත්‍රපටය වුණෙත් "නිල්දිය යහන" දැන් මම අලුත් චිත්‍රපටයකට සූදානම්ව ඉන්නවා.
හොඳයි දැන් නුදුරේදීම අපට පෙන්වන්නට සූදානම් කරන "කැලෑ හඳට" යමු....
මම ටෙලි නාට්‍ය සියයකට වැඩිය අධ්‍යක්ෂණය කළත් මෙය මට විශේෂිත අවස්ථාවක්. ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ කෘතියකට අනුකූලව චිත්‍රපටයක් නිර්මාණය වුවත් ඒ පොත ආශ්රයෙන් කරන මේ ටෙලි නිර්මාණය පුංචි පුංචි අලුත් දේවල් ගැබ්වුණු ඉතාමත් හොඳ ටෙලිනාට්‍ය නිර්මාණයක්. ජාතික රූපවාහිනිය සමඟ නිමල් උඳුගොඩ සහ අරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් මෙම නාටකය නිෂ්පාදනය කරනවා. "කැළෑ හඳ" ලක් සේයා ඉදිරිපත් කිරීමක්. එදා රුක්මණී දේවිය රඟපෑ චරිතය අද තාරුකා වන්නිආරච්චි නිරූපණය කරනවා. අරවින්ද දොඹගහවත්ත, චන්ද්‍රසේන බිංදුහේවා, විඡේරත්න වරකාගොඩ, වීනා ජයකොඩි, උදයන්ති කුලතුංග, මැණිකේ අත්තනායක, ජගත් බෙනරගම, භාරත නවරත්න, නන්ද උඩුවිල, ශ්‍යාමා රුක්මලී, සුමිත් මුදන්නායක, උපාලි සමරසිංහ, නාමල් සළුවඩන, නෝමන් පළිහවඩන, කුමාර වඳුරැස්ස, උදේනී නදීකා, රත්නා සුමනපාල ඇතුළු රංගන පරපුරක් මෙහි චරිත මවනවා. කැමරාව, ජගත් මහල්පත්, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක, තිර රචනය වජිර කස්තුරි, නිෂ්පාදන අධිකාරි අජිත් දිසානායක, සංගීතය ප්‍රියනාත් රත්නායක, ළමා චරිතයක් වෙනුවෙන් රෙසාලී ගම්ලත් දායකත්වය දක්වන "කැලෑ හඳ" ටෙලි සිත්තම කොටස් 40 ක් පුරා දිවයන්නක්.
අලුත් ටෙලිනාට්‍ය එළිදැක්වූවාට අද ටෙලියට තියන තැන ලොකු ප්‍රශ්නාර්ථයක් නේද...?
ඔව්. ඔබේ ප්‍රශ්නයට නැහැ කියන්න බැහැ. එවැන්නක් තිබෙනවා. නමුත් අපි එක තැන නොරැඳී මේ කලාව ඇතුළේ "අප්ඩේට්" විය යුතුයි. එදා ටෙලි නාට්‍ය කලාව ආරම්භයේදී ලොකු වටිනාකමක් තිබුණා. මුදල කියන සාධකය වැදගත් කොට සැලකුවෙත් නැහැ. නමුත් ලොකු වටිනාකමක් ලැබුණා. අද තිබෙන්නේ රැල්ලක්. මේ රැල්ල ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවලටත් නරක විදිහට බලපෑම් ඇති කරලා තියෙනවා. නිර්මාණ රසාස්වාදය පල්ලම් බැහැලා. ඉන්දියානු ඇතුළු විදේශ නිර්මාණ වෙනුවෙන් ලොල් වූ මානසිකත්වයක් අපේ ප්‍රේක්ෂකයාට ඇති වෙලා. මේක නිර්මාණවේදියකු හැටියට මා දකින්නේ ඉතාමත් කනගාටුවෙන්. හැබැයි අපි ඒවට ප්‍රේක්ෂකයාට හෝ අර නිර්මාණවලට බැණලා වැඩක් නැහැ. ඒවායේ ඇති යහපත් දේ සමඟ අපි "අප්ඩේට්" විය යුතුයි කියන එකයි මගේ හැඟීම. මම මේ ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක් සමඟ ගනුදෙනු කරලා තියෙනවා. ඒ අත්දැකීම් සුවිශාලයි. නමුත් අද ටෙලි පිටපතේ ඉඳලම ගැටලු මතු වෙලා තියෙනවා. අද ඉන්නේ විෂය ගැන දැනුමක් නැති රංගන පරපුරක්. ඒ අතර යමක්කමක් තේරෙන පිරිසකුත් ඉන්නවා. මගේ "කැලෑ හඳ" වෙනුවෙන් නළු නිළියන් තෝරා ගැනීමේදීත් විශාල කැපකිරීම් කරන්න සිදුවුණා. කොහොම වුණත් මම හිතන්නේ මම මේ කලාව ගැන තවමත් හදාරමින් පවතින්නෙක් කියලා. මම බටහිර ජර්මනියේදී සහ මැලේසියාවේදීත් රූපවාහිනි මාධ්‍ය පිළිබඳව හැදැරීම් කළා. ඒ වුණත් තවදුරටත් මේ තුළ හදාරන්නකු ලෙස යායුතුයි කියන අදහස මා තුළ තිබෙනවා. මේ වසරේදී 'කැළෑ හඳ' අපේ රූපවාහිනි ප්‍රේක්ෂකයාට පෙන්වනවා. මට අවශ්‍ය මේක ජනප්‍රිය මාලා නාටකයක් කිරීමට. ඒ වගේම අසාධාරණයට ලක්වූ යුවතියක වටා ගෙතුණු සිනමා සිත්තමක් කිරීමේ වැඩකටයුතුත් මේ වසරේ ආරම්භ කරනවා. දැන් මගේ මනස නිදහස්. ඒ නිසා හුඟක් වැඩ කරන්න හිතන්න පුළුවන්.
"ශාලිකා රූ ශ්‍රී" ඔබේ නිර්මාණ එළිදැක්වීමේ ආයතනය. ඒ ගැනත් පවුලේ තොරතුරු පිළිබඳවත් පවසමින් අදට අපි නවතිමු...
ඔව්. මගේ "ශාලිකා රූ ශ්‍රී" හරහා රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට වාර්තා වැඩසටහන් ඇතුළු බොහෝ දේ එළිදක්වනවා. 0777-482476 අංකය අමතා තවත් තොරතුරු විමසිය හැකියි. මට දූලාම තිදෙනයි. ජිනාලි, ඉන්දියාවේ සිට ෆැෂන් ඩිසයිනර් කෙනකු විදිහට වැඩ කරනවා. ගයාත්‍රි නවසීලන්තයේ අධ්‍යාපනය ලබනවා. පොඩි දුව චත්රිකාත් තවමත් අධ්‍යාපනය ලබනවා. ඉතින් මගේ අරමුණ වෙලා තියෙන්නේ හැමදාම පවතින, කතාබහට නතුවන, සමාජයට ගැලපෙන යහපත් වැඩක් කිරීම. මම හිතන්නේ මගේ ඉදිරි නිර්මාණ දිවියත් මේ කාරණා පසුපසම ඇදී යයි.
දිවයින