හර්ෂගෙයි තනුක්ෂිගෙයි කැදැල්ලට අලුත් අමුත්තෙක් ඇවිත්?
ඔව්. අපිට ලැබුණේ පුතෙක්. එයා ඉපදුණේ අප්‍රේල් 11 වැනිදා.
පුතෙක්ටද හර්ෂගේ කැමැත්ත තිබුණේ?
ස්කෑන් කළාම අපි දැනගත්තා පුතෙක් තමයි අපි අතරට එන්නේ කියලා. බිරිය කොහොමත් පුතෙක්ට ආසාවෙන් හිටියා. පිරිමි පාර්ශ්වයෙන් කැමැතියිනේ තමන්ගේ බිරිය වගේ දුවෙක් ඉන්නවාට. බිරිය කැමැතියි තමන්ගේ සැමියා වගේ පුතෙක් ඉන්නවාට. ඔය වගේ කැමැත්තක් අපි දෙන්නා අතරෙත් තිබුණා. නමුත් අපිට කවුරු ලැබුණත් කිසි ප්‍රශ්නයක් වුණේ නෑ.
පුතා ලැබෙන වෙලාවේ හර්ෂත් තියටර් එකේ ඉන්න ඇති. එදා පුතා දකිද්දී දැනුණු හැඟීම වචන කරගන්න පුළුවන්ද?
බිරියට පුතා ලැබෙද්දී වේදනාවක් තිබුණනේ. මම එයාට ආදරේ නිසා ඒ වේදනාව දරා ගැනීමේ එක සීමාවක මමත් හිටියේ. අපි දෙන්නා පැය ගණනක් ඒ වේදනාව එක්ක හිටියා. පුතා ලැබුණු ගමන් මට මුලින්ම හිතුණේ "දැන් වයිෆ්ගේ වේදනාව ඉවරයි" කියන එක. වයිෆ් මගෙන් ඇහුවා පුතා ආවා නේද එයා හොඳින් නේද කියලා. අපිට පළමුවැනි විනාඩියේ දැනගන්න ඕන වුණේ පුතා හොඳින්ද කියලා. ඒ වෙලාවේ දැනිච්ච හැඟීම වචනවලින් කියන්න තේරෙන්නේ නෑ.
දරුවෙක් පියෙක්ට ලොකු වගකීමක්. හර්ෂ එහෙම වගකීම් දරන්න ලොකු සූදානමකින් හිටපු කෙනෙක්ද?
මමයි බිරියයි දෙන්නම එහෙම නැහැ. අපි දෙන්නම මේ සිස්ටම් එක ගැන ලොකු ආදරයකින්, කැමැත්තකින් හිටපු දෙන්නෙක් නොවෙයි. මේ වගේ රටක් ඇතුළේ දරුවෙක් හදනවද කියලා අපි ලොකුවට හිතලා තිබ්බේ නැහැ. පුතා කුසට ආවම එයා එන්න තීරණය කරනවා නම් අපි එයාට එන්න ඉඩ හදනවා කියලා හිතුවා. අපි දෙන්නගේ දේවල් එකතු වෙලා හැදෙන දරුවෙක් ලොකු වෙද්දී වගකීම පිළිබඳ අදහස තේරුම් ගනීවි.
අලුත් අමුත්තා ජීවිතයට එකතු වුණාට පස්සේ නම් ලොකු වගකීමක් දැනෙනවා ඇති?
බිරියගේ කුසට පුතා ආවා කියලා දැනගත්ත දවසේ ඉඳන්ම එයා එන එකට අපි ලෑස්ති වුණා. අපි දෙන්නම හිටියට වඩා වගකීම් සහගත දෙන්නෙක් වුණා. විශේෂයෙන් මගේ රස්තියාදුකාර ජීවිතේ අඩු වුණා වගේ දැනෙනවා.
ඒ කියන්නේ හර්ෂගේ ජීවිතයට ඉබේම තහංචි පැනවිලා නේද?
ඔව්. කටින් කෙනෙක් නොකිව්වට මටම එහෙම ඉන්න හිතෙනවා. මම එක තැනක ඉන්න කෙනෙක් නොවෙයි. ඒත් මම කාගෙවත් බලකිරීමක් නැතිවම වැඩ ඉවරවුණු ගමන් අවිස්සාවේල්ලේ යනවා. මොකද බිරියයි පුතයි ඉන්නේ තනුක්ෂිගේ ගෙදර. පුතා ලැබෙන්න ඉද්දිත් මම බිරිය ළඟ හිටියා. පසුගිය 7 වැනිදා ඉඳන් මම වැඩ කළෙත් නෑ. එයාලා ළඟින්ම ඉන්න ඕන නිසා.
රංගනයේ අලුත් වැඩකටයුතු මොනවාද?
පසුගිය කාලේ වැඩ කිහිපයක් ඉවර කළා. ජයලත් මනෝරත්න අයියගේ සූරිය කුසුම නාට්‍ය ධ්ඊව් නාළිකාවේ විකාශය වෙනවා. ගිහාන් රෝහණ අයියාගේ "මාද නුඹම විය" ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. රූගත කිරීම් කළ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. රෂ් කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. තවත් අලුත් ටෙලිනාට්‍ය තුනක වැඩ ඉදිරියේදී පටන් ගන්නවා. අලුත් චිත්‍රපටයකත් රූගත කිරීම් ඉදිරියේදී පටන් ගනියි.
දැන් වෙනදට වඩා වැඩිපුර වැඩ කරන්න වෙයිද?
ඇත්තටම කිව්වොත් පසුගිය ටිකේ මම සමහර වැඩ අතහැරියා. මම කෙහොමත් වැඩ කරන විදියක් තියෙනවා. මම මිනිස්සු තෝරලා බේරලා වැඩ කරන කෙනෙක්. නිර්මාණය හොඳයි කියලා ජරා මිනිස්සු එක්ක මම වැඩ කරන්න ලෑස්ති නෑ. නිර්මාණය නරකයි කියලා හොඳ මිනිස්සු අතහරින්න මම කැමැතිත් නෑ. මම හොඳ මිනිස්සු එක්ක වැඩ කරන්න කැමැතියි.
ඒ කියන්නේ මිනිස්සු තෝරලාද වැඩ කරන්නේ?
වැරැදි එවුන් එක්ක වැඩ කරලා මගේ අතින් වැරැදි දෙයක් සිද්ධ වුණොත් පුතා කවදා හරි අහයි "ඇයි අප්පච්චි එහෙම වැඩක් කළේ කියලා" ප්‍රශ්නවලින් ටිකක් ඈත්වෙන්න කල්පනා කළ නිසා සමහර නරක මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක නැවැත්තුවා. ඒ නිසා සමහර වැඩ මම භාර ගත්තේ නෑ.
ඔය තෝරා ගැනීම් හර්ෂගේ ආර්ථික ශක්තියට ප්‍රශ්නයක් නොවෙයිද?
ඒක ඇතුළේ මට ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. වැඩ කරන්න ගත්ත කාලයේ ඉඳන් මේ වෙනකල් මම හෝ මගේ පවුල කන්න නැතිව හිඟාකාලා නැහැ. මම මේ වෙනකල් රඟපාලා විතරයි හම්බ කරලා තියෙන්නේ. වෙන කිසිම විදියකින් සල්ලි හොයලා නැහැ. ඒත් අපි ජීවත් වෙනවා කාටවත් ණය නොවී. මම හිතපු විදියේ හෝ වැඩ කරපු විදියේ හොඳ නිසා හෝ මම හිඟා කන මට්ටමට වැටිලා නැහැ. ඉස්සරහටත් එහෙම වෙන එකක් නෑ කියලා මම හිතනවා.
පුතා ගැන හිතලා පුතාට උත්තර දෙන්න පුළුවන් වැඩ විතරද දැන් කරන්නේ?
මම ව්භඤඥ රඟපෑවොත් මගේ පුතා ඇහුවොත් "ඇයි අප්පච්චි උඹ ව්භඤඥ රඟපෑවේ කියලා. මම එතකොට පුතාගෙන් අහනවා උඹ මගේ පුතෙක්ද කියලා.
රංගන ශිල්පියෙක් විදියට නිරුවත් රඟපෑම ප්‍රශ්නයක් නැත්නම් ඒක පුතා තේරුම් ගන්න ඕන. මගේ අප්පච්චි නළුවෙක්. ඒ නිසා ඒක කරන එක ප්‍රශ්නයක් නෑ කියලා. ඒක තේරුම් ගන්න එයාගේ ඔළුව හැදෙන්න ඕන. නමුත් මම වැඩක් නැති පජාත මිනිස්සු එක්ක වැඩ කරලා ඒක පුතා දැනගත්තොත් අර වගේ පජාත මිනිහෙක් එක්ක වැඩ කළේ ඇයි කියලා එයා කවදා හරි මගෙන් ඇහුවොත් මට එදාට දෙන්න උත්තර නැති වෙනවා. අන්න ඒ වැඩයි මම මඟහරින්නේ. හෘද සාක්ෂිය ඇතුළේ පුතාට කෙළින් මූණ දෙන්න බැරි තැනකට නොඑන්නයි මම උත්සාහ කරන්නේ.
දරුවන්ගේ අනාගතය ගැන මවුපියන්ට හීන තියෙනවා. පුතාගේ අනාගතය ගැන හර්ෂ හීන දකින්නේ නැද්ද?
ලංකාව වගේ රටක් ඇතුළේ එහෙම හීන දකින්න බෑ. මේ සිස්ටම් එකේ අවුලත් එක්ක අපි කොහොමද ඉදිරිය ගැන හීන දකින්නේ. වඩා හොඳම දේ තමයි එදිනෙදා සැලසුම් කරගන්න එක. අපේ අම්මලා, අප්පච්චිලාට ඕන වෙච්ච හීන පස්සේ පන්නලා එයාලා අපිව හදන්න ට්‍රයි කළා. ඒක ඇතුළේ එයාලටත් අපිව නැති වුණා. අපිටත් එයාලව නැති වුණා. මමයි බිරියයි ගොඩක් දේවල් සම්බන්ධයෙන් ළඟ හිතන්නේ. අපිට ලොකු ලොකු හීන නැහැ. අඩියෙන් අඩිය කරන්න පුළුවන් දෙයට ට්‍රයි කරනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ